Sunday, October 16, 2016

ගෞරවණීය සොඳුරු ප්‍රේමය

මහනුවර ඉඳලා ගම්පහට සේන්දු වුන මගේ පාසැල් ජීවිතයේ ඊළඟ නවාතැන වුනේ ගලහිටියාව සෙන්ට්‍රල් එකයි. පහේ පන්තියේ ඉඳලා ඉස්කෝලේ හිටපු හැමෝම අභිබවමින් අටේ පන්තියේදී ඉස්කෝලෙට ආපු මම එකොළහ වසර වනවිට  පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා බවට පත් වෙන්න  සමත්වුනා.
එකොළහ වසරට අලුතෙන් පාසැලට ආපු ලස්සන ගැහැණු ළමයෙක් ගැන මගේ හිතේ උනන්දුවක් ඇතිවුනා. ලස්සන කවියක් ලියලා මගේ හිතේ ඇය ගැන තිබුන අදහස දන්වලා යැවුවා. මුතුකැට වගේ ලස්සන අත් අකුරු වලින් මට පිළිතුරක් ලැබුණා. එයින් කියවුනේ ඒ වනවිටත් ඇයට පෙම්වතෙක් සිටින බවයි. පාසලේ බාහිර වැඩ වල කාර්යබහුල මා එක්ක ඇය කිසි අමුත්තක් නැතිව සිනහමුසු මුහුණින් යුතුව වැඩ කලා. හිතේ විශාල දුකක් තිබුනත් අමුත්තක් නැතිව මමත් පාසලේ වැඩ කටයුතුවල නිරතවුණා.

ඒත් ටික දවසක් ගතවෙනකොට ..........
“ ඉස්කෝලේ මේන් හෝල් එකට ඔයා ඇතුල් වෙනකොටම ඒ වෙනතෙක් කෑ කෝ ගහ ගහ හිටපු  දාහක් විතර ළමයි ඇල්පෙනෙත්තක් බිම වැටුනත් ඒ ශබ්දේ ඇහෙන තරමට නිශ්ශබ්ද වුණා. මම නම් වශී උනේ ඔයාගේ ලස්සන හිනාවට.  ඒත් මුළු ඉස්කෝලෙම වශී කර ගන්න සමත්වුණ ඔයාගේ පෞරුෂය ගැන මට හරි ආඩම්බරයි.”
ඒ වගේ ලියුම් ලියන තරමට ටික දවසක් ගතවෙනකොට ඇය මට ගොඩාක් සමීප වුනා. පාසැලේ ප්‍රධාන ශිෂ්‍යනායකයා වූ නිසා ඇගේ ඇසුර මට මදහසින් දක්වන හැගීමකටත් ඇස් වලින් කරන කතාවකටත්  පමණක් සීමා වුණා. එක දවසක් ඒ සීමිත ආදරය නවත්වමු යැයි ඇය යෝජනා කළා. ඊට හේතුව ඇය  ඇගේ  ප්‍රථම ප්‍රේමයට පිටුපෑමට තිබූ අකමැත්තයි.
උසස්පෙළ පළමුවරට ලියා සරසවි වරම් නොලැබුන නිසා දෙවනවර විභාගයට සුදානම් වෙමින් සිටි මට මේ තීරණය දරා ගැනීමට ඉතා අපහසු වුණා. පාසලේ ප්‍රධාන ශාලාව ඉදිරිපිටදී ඇය හමුවූ වේලාවකදී මම ඇගෙන් ඉල්ලීමක් කළා. “මගේ එග්සෑම්  එක ඉවරවෙනකම් ඔයාගේ තීරණය කල්දාන්න පුලුවන්ද ? ඊට පස්සේ ඔයාගේ ඕනෑම තීරණයකට මම කැමති වෙන්නම්”.  ඇය හා කිව්වා. මට මුළු ලෝකෙම ලැබුණා වගේ දැනුනා.

එදාට පස්සේ අපි දෙන්නා කවදාවත් මුහුණට මුහුණ හමු වුනේ නෑ. ඒත් ඇය මගේ ආදරවන්තිය කියලා හිතින් හිතාගෙන මම ඉතා කැපවීමෙන් අධ්‍යාපන කටයුතු කරගෙන ගියා. උසස්පෙළ ප්‍රතිඵල අනුව මම වෛද්‍ය විද්‍යාලයට සමත්වූ බව මුළු පාසලටම දැනගන්න ලැබුණා. මගේ ජයග්‍රහණය ගැන ඇයට කියන්න මග බලන් හිටියත් මට ඇයව  හමුවුනේ නෑ.

එක දවසක් ගම්පහ දුම්රියස්ථානයේ විරුද්ධ දිශාවේ වේදිකාවේ ඇය සිටිනවා මම අහම්බෙන් දැක්කා. සෙනග අතරින් කොහොම හරි ඇය සිටින තැනට මම යනවිට ඇය එතැනින් මාව මගහැර ගොස් තිබුනා. ඊට පස්සේ කවදාවත් ඇය මට හමුවුනේ නෑ. වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන කාලය තුල හැමදාම මට ඇයව මතක් වුණා. ඉතා සංවේදී මානසික තත්වයකදී එක වචනයකින් ඇය මා වෙනුවෙන් කල කැපවීම නොවන්නට මම අද මෙතැන නැති බව මට අදටත් හිතෙනවා. මුළු ජීවිත කාලය තුලම ඇයගේ ඒ කැපකිරීමට මගේ හිතේ ඇති ගෞරවය නැතිවෙන්නේ නෑ. නපුරු නොවී මගේ හිත සතුටින් තැබූ ඇය අද කොහේ හෝ ඉතා සතුටින් ජීවත් වෙනවා ඇතැයි මට හිතෙනවා.



Sunday, October 9, 2016

වෙද හකුරු

උඹේ අකුරු හරියට හකුරු වගේ යයි අපේ ගුරුවරු කියවීමට නොහැකි අකුරු ලියන එවුන්ට කිව්වේ ඉතා කෝපයෙනි. ඒ උතුම් ගුරුවරු කෝපාවිෂ්ඨ වුයේ මොළේ අමාරුවකට නොව තමාගේ ගෝලයන්ගේ කැත අත් අකුරු මගින්  තම නම්බුවට හානිකර වේ යැයි තිබු වෘතීය අභිමානය හේතුවෙනි.

“ ශ්‍රී ලංකාවේ වෛද්‍ය වරුන් විසින් ලියන ඖෂධ  වට්ටෝරු 50% පැහැදිලිව කියවිය නොහැකි බව අප  විසින් කල සමීක්ෂණයකදී හෙළිවී තිබෙන අතර මෙම තත්වය වැරදි ඖෂධ රෝගීන් වෙත ලැබීමට ඉඩ කඩ විවර කිරීමෙන් ඔවුන්ට මාරාන්තික ප්‍රතිඵල අත්වීමට ඉඩ සලසනවා” -  කොළඹ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ප්‍රියදර්ශනී ගලප්පත්ති - සේනක බිබිලේ අනුස්මරණ දේශනය - පදනම් ආයතනය කොළඹ - 23/09/2016.

ඒ කාලේ වටකුරු පැහැදිලි අත් අකුරු ලියන්න පුළුවන් එකා මාර වැඩ කාරයෙකි. දැන් නම් සක්කරයාටවත් කියවීමට නොහැකි ලෙස කුරුමිණි අඬු අකුරු ලයන එකා සිරා පොරකි.

ඔබේ දරුවාගේ පන්ති භාර ගුරුතුමිය ඉතා අපැහැදිලි අත් අකුරෙන් ගුරු දෙගුරු පොතේ දරුවා ගැන පණිවිඩයක් ඔබට ලියා එව්වොත් ඒ ගුරුවරියගේ ප්‍රොෆෙෂනල් කොලිටි එක ගැන ඔබට ඇති වන්නේ මොන වගේ හැගීමක්ද? මේ සටහන ගැන මා පිලිබඳ කෝපාවිෂ්ඨ හැගීමක් ඇතිවන කවර හෝ වෘතීය සගයෙකුගෙන් මා අසන සරළ ප්‍රශ්ණය එයයි.

පාසලේ ලස්සනම අත් අකුරු ඇති සිසුවා මා බව සනාථ කරමින් අත් අකුරු තරඟයේ හැම වසරේම පළමුවැනියා වුයේ මා බව පවසන්නේ ඉතා ආඩම්බරයෙනි. එමෙන්ම වෛද්‍ය පීඨයේද ලස්සන අත් අකුරුකාරයෙක් වූ මා අදටත් පැහැදිලි පොල්ගෙඩි අකුරෙන් ලිවීම රසවිඳිමින් සිටිමි.

ඒ කාලේ එවැනි තරඟ පැවැත්වුයේ වෘතීය ජීවිතයේදී ඒවා ප්‍රායෝගිකව භාවිතා කිරීමට බව මා විශ්වාශ කරමි. ඒත් ඉතිං මාත් එක්ක සහ මට පෙර මෙඩිකල් කොලීජියෙන් වෙදකමට වරම් ලැබූ උත්තමයන්ට (හැමෝටම නොවේ) මේ ගැන ගුරුහරුකම් දීමට යාම ඇදගෙන නෑමක් වෙන බැවින් මෙන්ම නොකෙරෙන වෙදකමක්ද වෙන බැවින් එකම බලාපොරොත්තුව අනාගතය පමණි. ( මේ සටහන දකින මගේ උගත් මිත්‍රයන් මේ පිලිබඳ තම සැලකිල්ල යොමු කරනු ඇතැයි සියුම් බලාපොරොත්තුවක් හිතේ නැතුවාම නොවේ)

අද දවසේ කියවන්නට බැරි බෙහෙත් තුන්ඩු වලින් පීඩා විඳින ඒ ලෙවල් කරන කොල්ලනි කෙල්ලනි, හෙට දවසේ වෙද නලාව අතට ගන්න ඉන්නා දොස්තර පැටවුනි, කාටත් කියවිය හැකි ලස්සන අත් අකුරින් වට්ටෝරුව ලිවීම ආඩම්බරයක් ලෙස හිතාපල්ලා!



පහේ ශිෂ්‍යත්වයේ මගේ ලකුණු

පහේ ශිෂ්‍යත්වයට සුදානම්වීමටත් එක්කම තාත්තා මාව අක්කත් එකක් ගිහින් ඇරලුවේ බලන්ගොඩ, රාස්සගල මහගෙදරට. වාවින්නේ පදිංචි වෙලා හිටපු අපි වත්තේගම ස්ටේෂන් එකෙන් කෝච්චියට නැගලා මහනුවරට ඇවිත් එතැනින් පේරාදෙණිය ස්ටේෂමට තව කෝච්චියකින්  ඇවිත් පේරාදෙණියේදී බදුලු කෝච්චියට ගොඩ වෙන්නේ රෑ එකොලහයි ගානකට. මුළු රෑ පුරාම බදුලු කෝච්චියේ සුන්දර ගමනක යෙදිලා හපුතලේ දුම්රිය ස්ථානයෙන් බැහැගන්නා මායි අක්කයි තාත්තයි හපුතලේ ටවුමේ ඉඳලා බලංගොඩට ලංගම බස් එකෙන් ඇවිත් තවත් බස් එකකින් රාස්සගල මහ ගෙදරට යනවා.

රාස්සගල සුන්දර පරිසරයට මුදා හැරුණු මගේ දෛනික ජීවිතයේ වැඩි කාලයක් ගතවුනේ වෙල්යායේ දන්ඩි කොරලි පස්සේ දුවන එකයි. ගුණරත්න බාප්පාට හේනට තේ කහට සමග කොචිචි සම්බෝල එක්ක මයියොක්කා බතල ආදී තේ වෙලාවේ අඩුම කුඩුම රැගෙන යාම තවත් රාජකාරියකි . හේනට යන අක්කාත් මමත් මුහුණ දෙන බරපතලම ගැටලුව වන්නේ ඒ දණ්ඩෙන් එතෙර වීමයි. ගේ පිටුපස ඇති කුඩා දොළ පාර හරහා වැටී ඇති ඒ දණ්ඩ උඩින් කේතලය සහ අනිත් අඩුමකුඩුම රැගෙන එතෙරවීමේ ක්‍රියාවලිය ගඟට නොවැටී ජය ගැනීමට අපට හැකිවිය.
හේනට යන ගමන් මාර්ගයේ ඇති විශාල තුඹසේ නාගයෙකු වාසය කරන කටකතාව නිසා ඒ අසලින් ගමන්කරද්දී වේගයෙන් දුවගෙන යාමට අප දෙදෙනා පුරුදුවී සිටි අතර කිසිදිනෙක නාගයා නම් දුටුවේ නැත.

හේනේ වැඩ නිමවා හවසට ගෙදර එන ගුණරත්න බාප්පා සමග හුලන් පෙති බැඳීමට හවුල්වීම අපුරු අත්දැකීමක්. ෆුල් ඔප්ශන් ස්නානය සඳහා දිය පිහිල්ලක්, සීතල දිය බුබුලක් සහ දොළ පාරක් තුන් දිශාවකින් පිහිටා තිබුනේ පයින් ඇවිද යන දුරකිනි. (මේවා තවමත් මේ ගමේ තිබේ)

රාස්සගල ප්‍රදේශයේ සැප සීතලට උදේ සවස ලිප්බෝක්කේ ගිණි තැපීම අනිවාර්යය කාරියකි. පාන්දරින්ම අවදිවෙන කිරිඅම්මාගෙන් ලැබෙන එළකිරි ජෝග්ගුවයි කිතුල් හකුරු කෑල්ලයි සප්පායම් වෙලා ඊළඟට මග බලන් ඉන්නේ පොල් සම්බෝලයි බතලයි එක්ක බෙදන රතු කැකුළු හාලේ බත්පිගාන අතට ලැබෙන තුරුය.

මගේ දඩි බිඩි දිවිල්ලට හට්ටි මුට්ටි කිහිපයක් කුඩුපට්ටන් වූ තැන කිරි අම්මා වසවර්තියා යන අන්වර්ථ නාමයෙන් මා අමතන්නට පටන් ගත්තේ මගේ වේගවත් ක්‍රියාකාරකම් ඇගේ හීන්සැරයට බාධාවක් වූ නිසාවෙනැයි මට සිතේ. රූස්ස ඇඹරැල්ලා ගහ බදූ  අරන් සිටි සුන්දර දඬුලේනා දිහා බලා සිටිනවා හැර කල හැකි දෙයක් නොවීය. වේගයෙන් දුවන වළි කුකුල් පැටවුන් අල්ලා ගැනීමට කල උත්සාහය කිසිදින සඵල වුයේ නැත. පිනි වරුසාවට වැහිලිහිනියන් පියාසර කරන සුන්දර දසුන දුටුවොත් මිස විද ගැනීම උගහටය.

අප්‍රේල් නිවාඩුවට සිදුවූ දෙයම අගෝස්තු නිවාඩුවටත් එසේම සිදුවිය. වෙනසකට තිබුනේ අප්‍රේල් නිවාඩුවේ කතුරු ඔන්චිල්ලා, කැට පොළවල් හා බජව් දාන තැන්වල අබේ අයියා සමග වැඩිපුර රෝන්දේ ගැසීමත් ලවක් දෙවක් නැතුව කඳු පල්ලම් තරණය කරමින් ආච්චියෙ, පුංචි අම්මේ බාප්පේ කියමින් නෑ ගෙවල් වලට ගොඩ වීමත්ය.
මේ දෙවන්ගියේම  ශිෂ්‍යත්ව ව්‍යාපෘතියට තාත්තා විසින් මාව ලොකු නැන්දාට බාර කල අතර දිනපතාම ලොකු නැන්දාද මා හට පාඩමක් බැගින් කියා දුන්නාය. මා වඩාත්ම ආදරය කල ලොකු නැන්දාගේ හුරතලය විදීම ඉගෙන ගැනීමට වඩා බලවත් වූ අතර විභාගයක් පාස් කිරීමේ සිතිවිල්ලක් මගේ තුන් හිතකවත් නොවීය.
ශිෂ්‍යත්ව විභාගය දා මා නොයිවසිල්ලෙන් සිටියේ කොයි වෙලාවේ මේ කරුමය ඉවර වේදෝයි සිතාය. කෙසේ නමුත් මා  ශිෂ්‍යත්ව විභාගය සමත් වුවන්ගේ ලැයිස්තුවට ඇතුලත් නොවූ අතර ශිෂ්‍යත්ව විභාගය සමත්වූවන් දක්ෂයන් හා මට වඩා වැඩ කාරයන් ලෙස හැඟුනි. මම නිතරම ඔවුන් දෙස ගෞරවයෙන් යුතුව බැලුවෙමි. එදා සිට මා කල්පනා කලේ මෙදා පාර මට ඉස්සර වූ එවුන් කවදා හෝ පසුකර යන්නේ  කෙසේද යන්නයි . මා  එම අරමුණ ජයගත්තේ වෛද්‍ය විද්‍යාලයට සමත්වීම දක්වා  නොපසුබස්නා උත්සාහයෙන් ඉතා කැපවීමෙන් අධ්‍යාපන කටයුතු වල නිරතවීමෙනුයි. ජය  ලැබුවන්ට සුභ පැතූ මා, මට වැරදුන තැනින් ජයග්‍රහණයට අඩිතාලම දැමුවෙමි.

කනගාටුවට කාරණයක් වුයේ පනහක් පමණ වූ ශිෂ්‍යත්ව පාස් කල්ලියේ බහුතරයක් මීටර් දෙසීයේ තරගයක් දුවා අතරමගදී හැලී ගොස් තිබුන අතර මගේ මැරතන් ෆිනිෂ් එකේදී එයින් ඉතුරු වී සිටියේ දෙදෙනෙක් පමණක් වීමය.