Sunday, October 9, 2016

පහේ ශිෂ්‍යත්වයේ මගේ ලකුණු

පහේ ශිෂ්‍යත්වයට සුදානම්වීමටත් එක්කම තාත්තා මාව අක්කත් එකක් ගිහින් ඇරලුවේ බලන්ගොඩ, රාස්සගල මහගෙදරට. වාවින්නේ පදිංචි වෙලා හිටපු අපි වත්තේගම ස්ටේෂන් එකෙන් කෝච්චියට නැගලා මහනුවරට ඇවිත් එතැනින් පේරාදෙණිය ස්ටේෂමට තව කෝච්චියකින්  ඇවිත් පේරාදෙණියේදී බදුලු කෝච්චියට ගොඩ වෙන්නේ රෑ එකොලහයි ගානකට. මුළු රෑ පුරාම බදුලු කෝච්චියේ සුන්දර ගමනක යෙදිලා හපුතලේ දුම්රිය ස්ථානයෙන් බැහැගන්නා මායි අක්කයි තාත්තයි හපුතලේ ටවුමේ ඉඳලා බලංගොඩට ලංගම බස් එකෙන් ඇවිත් තවත් බස් එකකින් රාස්සගල මහ ගෙදරට යනවා.

රාස්සගල සුන්දර පරිසරයට මුදා හැරුණු මගේ දෛනික ජීවිතයේ වැඩි කාලයක් ගතවුනේ වෙල්යායේ දන්ඩි කොරලි පස්සේ දුවන එකයි. ගුණරත්න බාප්පාට හේනට තේ කහට සමග කොචිචි සම්බෝල එක්ක මයියොක්කා බතල ආදී තේ වෙලාවේ අඩුම කුඩුම රැගෙන යාම තවත් රාජකාරියකි . හේනට යන අක්කාත් මමත් මුහුණ දෙන බරපතලම ගැටලුව වන්නේ ඒ දණ්ඩෙන් එතෙර වීමයි. ගේ පිටුපස ඇති කුඩා දොළ පාර හරහා වැටී ඇති ඒ දණ්ඩ උඩින් කේතලය සහ අනිත් අඩුමකුඩුම රැගෙන එතෙරවීමේ ක්‍රියාවලිය ගඟට නොවැටී ජය ගැනීමට අපට හැකිවිය.
හේනට යන ගමන් මාර්ගයේ ඇති විශාල තුඹසේ නාගයෙකු වාසය කරන කටකතාව නිසා ඒ අසලින් ගමන්කරද්දී වේගයෙන් දුවගෙන යාමට අප දෙදෙනා පුරුදුවී සිටි අතර කිසිදිනෙක නාගයා නම් දුටුවේ නැත.

හේනේ වැඩ නිමවා හවසට ගෙදර එන ගුණරත්න බාප්පා සමග හුලන් පෙති බැඳීමට හවුල්වීම අපුරු අත්දැකීමක්. ෆුල් ඔප්ශන් ස්නානය සඳහා දිය පිහිල්ලක්, සීතල දිය බුබුලක් සහ දොළ පාරක් තුන් දිශාවකින් පිහිටා තිබුනේ පයින් ඇවිද යන දුරකිනි. (මේවා තවමත් මේ ගමේ තිබේ)

රාස්සගල ප්‍රදේශයේ සැප සීතලට උදේ සවස ලිප්බෝක්කේ ගිණි තැපීම අනිවාර්යය කාරියකි. පාන්දරින්ම අවදිවෙන කිරිඅම්මාගෙන් ලැබෙන එළකිරි ජෝග්ගුවයි කිතුල් හකුරු කෑල්ලයි සප්පායම් වෙලා ඊළඟට මග බලන් ඉන්නේ පොල් සම්බෝලයි බතලයි එක්ක බෙදන රතු කැකුළු හාලේ බත්පිගාන අතට ලැබෙන තුරුය.

මගේ දඩි බිඩි දිවිල්ලට හට්ටි මුට්ටි කිහිපයක් කුඩුපට්ටන් වූ තැන කිරි අම්මා වසවර්තියා යන අන්වර්ථ නාමයෙන් මා අමතන්නට පටන් ගත්තේ මගේ වේගවත් ක්‍රියාකාරකම් ඇගේ හීන්සැරයට බාධාවක් වූ නිසාවෙනැයි මට සිතේ. රූස්ස ඇඹරැල්ලා ගහ බදූ  අරන් සිටි සුන්දර දඬුලේනා දිහා බලා සිටිනවා හැර කල හැකි දෙයක් නොවීය. වේගයෙන් දුවන වළි කුකුල් පැටවුන් අල්ලා ගැනීමට කල උත්සාහය කිසිදින සඵල වුයේ නැත. පිනි වරුසාවට වැහිලිහිනියන් පියාසර කරන සුන්දර දසුන දුටුවොත් මිස විද ගැනීම උගහටය.

අප්‍රේල් නිවාඩුවට සිදුවූ දෙයම අගෝස්තු නිවාඩුවටත් එසේම සිදුවිය. වෙනසකට තිබුනේ අප්‍රේල් නිවාඩුවේ කතුරු ඔන්චිල්ලා, කැට පොළවල් හා බජව් දාන තැන්වල අබේ අයියා සමග වැඩිපුර රෝන්දේ ගැසීමත් ලවක් දෙවක් නැතුව කඳු පල්ලම් තරණය කරමින් ආච්චියෙ, පුංචි අම්මේ බාප්පේ කියමින් නෑ ගෙවල් වලට ගොඩ වීමත්ය.
මේ දෙවන්ගියේම  ශිෂ්‍යත්ව ව්‍යාපෘතියට තාත්තා විසින් මාව ලොකු නැන්දාට බාර කල අතර දිනපතාම ලොකු නැන්දාද මා හට පාඩමක් බැගින් කියා දුන්නාය. මා වඩාත්ම ආදරය කල ලොකු නැන්දාගේ හුරතලය විදීම ඉගෙන ගැනීමට වඩා බලවත් වූ අතර විභාගයක් පාස් කිරීමේ සිතිවිල්ලක් මගේ තුන් හිතකවත් නොවීය.
ශිෂ්‍යත්ව විභාගය දා මා නොයිවසිල්ලෙන් සිටියේ කොයි වෙලාවේ මේ කරුමය ඉවර වේදෝයි සිතාය. කෙසේ නමුත් මා  ශිෂ්‍යත්ව විභාගය සමත් වුවන්ගේ ලැයිස්තුවට ඇතුලත් නොවූ අතර ශිෂ්‍යත්ව විභාගය සමත්වූවන් දක්ෂයන් හා මට වඩා වැඩ කාරයන් ලෙස හැඟුනි. මම නිතරම ඔවුන් දෙස ගෞරවයෙන් යුතුව බැලුවෙමි. එදා සිට මා කල්පනා කලේ මෙදා පාර මට ඉස්සර වූ එවුන් කවදා හෝ පසුකර යන්නේ  කෙසේද යන්නයි . මා  එම අරමුණ ජයගත්තේ වෛද්‍ය විද්‍යාලයට සමත්වීම දක්වා  නොපසුබස්නා උත්සාහයෙන් ඉතා කැපවීමෙන් අධ්‍යාපන කටයුතු වල නිරතවීමෙනුයි. ජය  ලැබුවන්ට සුභ පැතූ මා, මට වැරදුන තැනින් ජයග්‍රහණයට අඩිතාලම දැමුවෙමි.

කනගාටුවට කාරණයක් වුයේ පනහක් පමණ වූ ශිෂ්‍යත්ව පාස් කල්ලියේ බහුතරයක් මීටර් දෙසීයේ තරගයක් දුවා අතරමගදී හැලී ගොස් තිබුන අතර මගේ මැරතන් ෆිනිෂ් එකේදී එයින් ඉතුරු වී සිටියේ දෙදෙනෙක් පමණක් වීමය.





2 comments:

  1. ඔබේ ලිවීමේ ශෛලිය අපූරුයි සුදර්ශන...සුබ පැතුම්!

    ReplyDelete
  2. පාසල් කාලයේ දී මාත් පහේ පන්තියේ දී උපරිම ලකුණු ලැබ එතැනින් පසු ඩවුන් ද පල්ලම් ගිය එකෙක්. පහේ විභාගයේ දී ලැබූ 87% සාමාන්‍යය උසස් පෙළ දී 69.25% දක්වා අඩු වුණා!

    ReplyDelete