Wednesday, August 31, 2016

මට වෙච්ච දේ

සාමාන්‍යයෙන් බදාදා දින රාත්‍රී 8.30 වන තුරු සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවැත්වෙන, මුළු රටේම ඖෂධ සැපයුම් තත්ව සමාලෝචන රැස්වීමට සහභාගී වීම මගේ සුපුරුදු රාජකාරීයයි. එසේ ප්‍රමාදවී නිවසට පැමිණි මා බ්‍රහස්පතින්දා උදේ වැඩට යාමට නැගිට්ටේ ඉතා නිරෝගීවය.
උදේට කොළ කැඳ කෝප්පයක් පානය කරන මා හට එදින ඒ සඳහා ප්‍රියමනාප ගතියක් නොවුයෙන් ජීවනී වතුර බෝතලයක් හදාගෙන මගේ රියදුරා සමග වැඩට ගියේ ඖෂධ ෆයිල් 20 ක පමණ වැඩ කටයුතු නිම කිරීමට යොදාගෙන තිබුන බැවිණි.  උදේ වරුවේ කාර්යාලය තුලදී මට ඉතා දරුණු උදරාබාධයක් වැළඳුන අතර ඒ බව කිසිවෙකුට නොහඟවා මා විසින් සැලසුම් කරගත් වැඩ සියල්ල නිම කලෙමි.
උදරාබාධය කිසිලෙසකින් වත් අඩු නොවූ බැවින් රියදුරා සමග ආපසු නිවසට පැමිණි මා පැය කිහිපයක් නිදාගෙන ආපසු සවස් වරුවේ අන්තරායකාර ඖෂධ පිලිබඳ රැස්වීමට ඉතා අපහසුවෙන් සහභාගී වී සවස 5 ට පමණ නිවසට පැමිණ රියැදුරාව ආපසු පිටත් කර යැව්වෙමි.
උදේ පටන්ගත් උදරාබාධය වැඩි උනා මිස අඩුවුයේ නම් නැත. රාත්‍රී 7 ට පමණ මගේ රියදුරාට මා ජාතික රෝහලට රැගෙන යාමට පැමිණෙන ලෙස දැන්වුයෙමි. (මගේ අසනීප තත්වය ගැන දැනගත් මගේ ආයතන ප්‍රධානියා උදරාබාධ, හෘදයාබාධ වෙන්කර හඳුනා ගැනීමට නොහැකිව අලකලංචියක් ඇති වීමට ඉඩ නොදී වහාම රෝහල් ගත වන ලෙස මට උපදෙස් දුන්නේය. අසල්වාසී තරුණයෙකු මගේ ළඟ තනි රැකීමට ස්වේච්චාවෙන් ඉදිරිපත් වුයෙන් ඔහුත් කැටුව ජාතික රෝහලට ගියෙමි.  
ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වෙත මා රැගත් කැබ් රථය ඇතුල් කර විනාඩි කීපයක් බලා සිටියත් එතැන වාඩිවී සිටි 6 දෙනෙක් පමණ වූ සුදු ඇඳගත් පිරිමි සේවකයන් එකෙක්වත් නිකමටවත් මේ ආවේ බෝම්බ පටවපු වාහනයක් දැයි සිතා හෝ නැගිට්ටේ නැත. බැරිම තැන මා තනිවම වාහනයේ දොර ඇරගෙන එලියට බැස උන් හය  දෙනා ලඟට ගියෙමි. දෙයියම්පා! ඒත් උන් එකෙක්වත් වාඩිවී සිටි බංකුවෙන් නැගිට්ටේ නැත.
ඔන්න එතකොට තමයි මම දැරණියගල යකා මහත්තයාට ආරුඪ උනේ. (මෙහිදී උන්ගේ අම්මා මුත්තාගෙන් වත් නොඇසූ මම උන්ට කියූ දේ නොලියා සිටිමි) හය දෙනාම ඉද්ද ගැසුවා සේ නැගිට ඉතා වේදනාවෙන් වුවත් සිංහ පාර්ට් එකෙන් සිටි මාව රෝද පුටුවක තබා හදිසි ප්‍රතිකාර ඒකකය වෙත යොමු කලේ විදුලි වේගයෙන්. (මට  වගේ  සිවිල් බලයක් නැති සාමාන්‍ය මිනිසුන්ට තිස්තුන් කෝටියක් දෙවියන්ගේම පිහිටයි. මොකා තරහ උනත් මට වෙච්ච දේ ලියන්න මගේ කොන්ද පන තියෙනවා. මාත් එක්ක වාද නොකර වරද නිවැරදි කරපල්ලා, දෙයියන්ගේ නාමෙන්)
හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරයා ඉතා කාරුණිකයි, කාර්යක්ෂමයි. ඔහු මට වැළදී ඇත්තේ ගස්ට්‍රෛටිස් ද නැතහොත් හෘදයාබාධයක්ද යන්න වෙන්කර හඳුනා ගැනීමට අවශ්‍ය මුලික රෝග විනිශ්චය පියවර ගනිමින් සිටින බව වෛද්‍යවරයෙකු වූ මට දැනුනා.
ඒ එක්කම ඉතා තරුණ ලස්සන හෙදියක් ඉතා උස්‌ හඬින් මගේ නම අසාගෙන මා වෙත ආවේ යක්ෂ දිෂ්ටියෙන් .  “I am doctor A.T.Sudarshana, Deputy Director MSD ඇය වෙත දබර ඇඟිල්ල දිගුකර මගේ තාලෙන් මම ඇයට කිව්වා. ඊට පස්සේ යක්ෂ දිස්ටියේ ෆියුස් ගියා. ( මා ඇතුළු සාමාන්‍ය  ජනතාවට ආයෙත්  දෙවියන්ගේ පිහිටයි, වරද නිවැරදි කර ගනිල්ලා, නැතිනම් අපායේ පලයල්ලා )
ඊලඟට ආවේ මගේ පරණ පින් පලදෙන වාරේ. එදින කැෂුවල්ටි වාට්ටුවේ Senior Registrar මාව පරීක්ෂා කරන්න මා ලඟට ආවා. “සර් ගේ ලිපි මම  ෆේස් බුක් එකේ කියවල තියෙනවා. සර් කුලියාපිටිය ඉස්පිරිතාලේ හිටියා නේද?  සර් කුලියාපිටිය ඉස්පිරිතාලෙන් ගිය අලුත මම මාස හයක් කුලියාපිටිය ඉස්පිරිතාලේ පශ්චාත් උපාධි පුහුණුව ලැබුවා”. මේ තරුණ වෛද්‍යවරයා මුණ ගැසීමෙන් පස්සේ මගේ වේදනාවෙන් භාගයක් ඉබේම සුව උනා.   

හදිසි ප්‍රතිකාර නිම වීමෙන් පසු අංක 14 වාට්ටුවට ඇතුලත් වූ මා හට කිසිඳු ප්‍රමාදයකින් තොරව සියලු ප්‍රතිකාර ලැබුණු අතර එක දිගටම තිබු උදර වේදනාව යාන්තම් අඩු වූයේ පාන්දර යාමයේය. ඔන්න පාන්දර යාමේ ආයෙත් දිෂ්ටි වෙච්ච එකෙක් ආවා. මිනිහා ඊ. සී. ජී . පටියක් ගන්න ආපු තරුණ දිශ්ටියක්. අනෙක් රෝගීන්ට කතා කරන සුපුරුදු සද්දෙන් මට කතා කරපු මිනිහගේ දිෂ්ටියේ හුලන් බහින්න දබර ඇඟිල්ල දික් කරලා මම කවුද කියලා මිනිහට කියනවා ඇරෙන්න වෙන විකල්පයක් තිබුනේ නෑ. (අම්මපා මුන්ගේ මොළ හෝදන්න මට චාන්ස් එකක් ලැබෙන්නේ නැති හැටි ) මගේ ඇඟ පුරා ගාපු ජෙල් ටික පිහ දාන්න වාට්ටුවෙන් ගෝස් එකක් ඉල්ලගන්න කියලා ගෝලයත් එක්ක මිනිහා යන්න ගියා. ඒ ඇරුනහම වාට්ටුවේ කිසිවෙකු මා සිටින කාලේ දිෂ්ටි උනේ නෑ

දැන් කවුරු හරි කියයි, මේව හරි සුළු දේවල්නේ. ලියන්න තරම් දේවල්ද කියලා. එහෙනම් අහගනිල්ලා. බිලියන ගණන් නිදහස් සෞඛ්‍යට මහජනතාවගේ මුදල් යොදවන්නේ, සුපිරි සැලකිල්ලක් ලබන්න මිසක් එක එකාගේ අත පල්ලෙන් වැටුනා වගේ සැලකිලි ලබන්න නෙවෙයි. වාචික විනය නොමැති කම රජයේ ආයතන වල උපන්ගෙයි අයිතිවාසිකමක් වෙලා. ඉස්පිරිතාලේ ඒ ලෙඩේ සීයට අසුවයි.මගේ ලෙඩේ තවම නිට්ටාවට සුව වෙලා නැහැ. කොයි වෙලාවේ හරි ආයෙත් ඕනෑම ඉස්පිරිතාලෙකට එන්න ඉඩ තියෙනවා. මම අපේක්ෂා කරන වෙනස දකිනතුරු යකා මහත්තයාගේ රෝල් එක නවත්වන්නේ නැ. කවුරු කැමති  උනත් අකමැති උනත් කරන්න දෙයක් නෑ.


(අංක 14 වාට්ටුව ඉතා පිරිසිදුව පියකරුව පවත්වාගෙන යන වාට්ටු භාර හෙද සොයුරිය ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයට විශේෂ ප්‍රනාමයක් පුද කල යුතුයි).

2 comments:

  1. //බිලියන ගණන් නිදහස් සෞඛ්‍යට මහජනතාවගේ මුදල් යොදවන්නේ, සුපිරි සැලකිල්ලක් ලබන්න මිසක් එක එකාගේ අත පල්ලෙන් වැටුනා වගේ සැලකිලි ලබන්න නෙවෙයි. වාචික විනය නොමැති කම රජයේ ආයතන වල උපන්ගෙයි අයිතිවාසිකමක් වෙලා. // කතාව ඇත්ත. මේක අනිවාර්යයෙන් හැදෙන්න ඕනෑ දෙයක්...

    ReplyDelete
  2. ලෙඩේ නිසා ශාරීරිකව පිරිහිලා,මානසිකව වැටීගෙන එන ලෙඩා දණිස් පොතු ලෙලියන්න මානසිකව වට්ටන්න දෙපාරක් හිතන්නෙ නෑ ගොඩක් ස්ටාෆ් එකේ අය.
    විකලාංග ශල්‍ය ඒකක වල ඉන්න රෝගීන්ට වැසිකිලි භාවිතය සෑහෙන අමාරු දෙයක්.අඩු ගානෙ අල්ලගන්න පොල්ලක් වත් නෑ..ඒ මදිවට ලිස්සනවා.විවිධ අසම්මත ඉරියව්වෙන් ක්‍රියාව කරන්න වෙන්නෙ ලෙඩේ නිසා.ඉතින් එතන අපිරිසිදුයි.. වාට්ටුවල ලොක්කො වැසිකිලිය ලංවෙනකොට නහය තදකරගන්නවා මිසක විසඳුමක් හිතන්නෙ නෑ.. මෙව්ව දැන් සාමාන්‍යකරණය වෙලා.. ඔබ වගේ දහයක් ලංකාව වටේ කෑ ගැහුවොත් ටිකක් වත් හරියයි.අපි කෑ ගැහුවොත් සදා සොත්ති තමා..
    (ඉක්මන් සුවය පතනවා.)
    ජයවේවා..!!

    ReplyDelete