Thursday, August 4, 2016

වෑල්ඩින් කඩෙන් ඔක්සිජන් ලබාගැනීම හෙවත් සුදර්ශනගේ චීප් (Cheap) වැඩ

සමස්ථ රාජ්‍ය සේවයම නඩත්තු නඩුවක් වැනිය. පාසැල්, රෝහල් විශ්ව විද්‍යාල පමණක් නොව උසාවි ගොඩනැගිලිවලත් කපුටු බෝගස් ඉවත්කරන ක්‍රම වේදයක් අහලකවත් නැත. රාගම ශික්ෂණ රෝහලට ඇතුළුවන ස්ථානයේ ඇති දේවමාතා පිළිරුව අසල සිට කන්ද මුදුනේ වැඩසිටින බුදු පිළිම වහන්සේගේ මායිම් වැට දක්වා කිරිසුදු පාටින් ඔපවත් කලේ සෑම් සමරසිංහ මහතාගේ පූර්ණ ආශිර්වාදයෙන් මා විසින් මෙහෙයවූ රෝහල් නඩත්තු අංශය විසින් බව පවසන්නේ ෂෝ මෑන් වීමට නොව ඒ තරුණයන්ට උපහාර පිණිස මෙන්ම මට පුලුවන්නම් අනිත් එවුන්ට බැරි ඇයි කියන අභියෝගයද සමගයි. ගොඩනැගිලි නඩත්තුවේ ප්‍රමාදය රෝගියෙකුගේ ජීවිත අවදානමකට ඍජු හා ක්ෂණික බලපෑමක් ඇති නොවෙනවායයි සිතමු. එහෙත් රෝගියෙකුට අවශ්‍ය අවස්තාවක ඔක්සිජන් සැපයුම අඩාල වුනොත් තත්වය කෙතරම් බරපතල වනු ඇත්ද ?
කාගේ හෝ රෝගියෙකුගේ ප්‍රතිකාර පිලිබඳ උපකාරයක් අවශ්‍ය වූ විට අදාළ රෝගියාගේ ඥාතියා සමග එම රෝගියා සිටින වාට්ටුවට යාම මගේ සිරිතයි. දඹුලු ගිහින් තලගොයි මරාගෙන එන න්‍යායට ඒ ගමන්ම වාට්ටු රවුමකුත් කරගෙන ඒම සාමාන්‍ය දෙයක්. මට මතක හැටියට මේ සිදුවීමට අදාළ වුනේ වාට්ටු අංක 11 යි.  මෙම වාට්ටුවේ හෙද සොයුරිය ඉතා කාර්ය ශුර අයෙක්. එතුමියගේ පැමිණිල්ල වුයේ තම වාට්ටුවේ ඔක්ශිජන් ටැංකි වලට සවිකරන රේගියුලේටර්ස් 6 ක් භාවිතයට ගත නොහැකිව අබලන් වී ඇති බවයි. මට දවල් තරු එෆ් එම් ඇහුනා.(මට චීප් ශේම් ෂෝමෑන් කියලා අපහාස කරණ එවුන්ට් මේවා ඇහෙන්නේ නෑ). 

මේ කාර්ය ශුර හෙදි සොයුරිය මෙම ගැටලුව විසඳා ගැනීමට සියලු උත්සාහයන් සිදු කර තිබුනා. විසඳුම කෙතරම් දුරදැයි බලන්න. විසඳුම කල් යන විට පීඩාවට පත්වන්නන්ගේ සංඛ්‍යාව කෙතරම් ඉහල යනවාද? ඔක්සිජන් සැපයුමට කල්මරණ විසඳුම් දෙන එවුන් වහා ගෙදර යා යුතුය. නීතිය මටත් එකය. එක්කෝ මා ගෙදර යා යුතුය. නැත්නම් ගෙදරින් හෝ ඔක්සිජන් ගෙනත් දිය යුතුය. උපන්ගෙයි මොලේ අමාරුකාරයෙක් වූ මගේ ඔලුවට ආවේ එවැනි අදහසකි. සෙනසුරාදා දිනයක් වූ එදින සුගත් නමැති නඩත්තු අංශයේ සේවකයා පමණක් පැමිණ සිටි හෙයින් මා ඔහුව වාට්ටුවට ගෙන්වා ගෙන මේ පිලිබඳ ඔහුට කල හැකි දේ විමසුවෙමි. “සර් මේ රේගියුලේටර් හය මම භාර ගත්තේ දවස් තුනකට කලින්.ඒත්  මේවා හදන්න තව මාසයක්වත් යනවා.” ඒක අහපු ගමන් මට හීන් දාඩිය දැම්මේ එතකොට ලෙඩ්ඩුන්ට ඔක්සිජන් බොන්න කියලද කියන්නේ කොල්ලෝ කියලා සුගතයගෙන් අහන ගමන්ය. ඉතින් සර් මම මක් කරන්නදැයි සුගත් මගෙන් ඇසුවේ ඉතා අසරණ විලාශයෙනි. “සුගත් මල්ලි මට කියපන් මේකට මාසයක් ගතවෙන හේතුව මොකක්ද කියලා” මේකනේ සර් මේ  රේගියුලටෙර්ස්  අබලන් ඒවා නෙවෙයි. හැබැයි හැම එකෙන්ම ඔක්සිජන් ලීක් වෙනවා. ඒ ලීක් එක හදන්න පිත්තල වෑල්ඩින් තියන්න ඕනේ. පිත්තල වෑල්ඩින් කරන්න මට පුළුවන්. ඒත් ඒකට ඔක්සි අසිටලින් ගෑස් එක ඕන. මේ දවස් වල මේ ගෑස් එක ඔක්සිජන් කොම්පැනියේ නෑ. ඒව අපේ ඉස්පිරිතාලෙට එන්න තව සුමාන දෙකක් යනවා  කියලා දැනුම් දීලා තියෙනවා. හැබැයි සර් මට අවසර දෙනවනම් ටවුමේ තියෙන වෙල්ඩින් ෂොප් එකෙන් මේ හයම හදාගෙන එන්න මට පුළුවන්. එතැන ඔක්සි අසිටලින් වායුව තියෙනවා. මම ළඟ ඉඳලා හදාගෙන එන්නම්. හැබැයි මට සල්ලි ඕනේ. කීයක් ඕනෙද කියලා මම ඇහුවා. ගාන හරියටම දන්නේ නෑ. කෝකටත් රුපියල් දාහක් විතර දෙන්න. හවස දෙකට කඩේ වහනවා. කරන දෙයක් ඉක්මනට කරමු සර්. මම සුගත් ඉල්ලු මුදල දුන්නෙමි.පැය 2 ක්  ඇතුලත රේගියුලේටර්  හයම අලුත්වැඩියා කර වාට්ටුවට භාර දුන්නෙමි. 

මේ මුදල ආපසු රෝහලෙන් අයකර ගත් බවක් මතක නැත (දැන් ඉතින් මේක කියවලා මෙන්න මූ රුපියල් දාහක් වියදම් කරලා ලක්ෂෙක පබ්ලිසිටි ගන්නවා කියලා අර මඩ ගහන ගොයියලා කිව්වට පුදුම වෙන්න එපා ). මම දන්නා පරිදි මෙම රේගියුලේටර්ස් තවමත් හොඳට වැඩ කරයි. පණ අදින ලෙඩුන් සුවපත් කරයි. මට ඕනැ එච්චරයි. මේ සුදර්ශන මෙතඩ් එක  හරි චීප් තමයි. හැබැයි ඉතින් ශේම් ෆුල් වෙන්නේ මම ඔක්සිජන් නොදුන්නනම් විතරයි .
මෙතනින් මම අවධාරණය කරන්නේ සැපයුම් සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යෑමේදී අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු කෙරෙහි අප විසින් දැක්විය යුතු කැපවීම හා සූදානම පිළිබඳවයි. එවැනි අඩුපාඩුවක් අහම්බෙන් හෝ ඇසැ ගැටුණු විට එය බෝනස් එකක් ලෙස සලකා විකල්ප ක්‍රමයකින් හෝ අදාළ අඩුපාඩුව නිවැරදි කිරීමට හැකිනම් එය මට නම් අතිවිශාල ජයග්‍රහණයකි. මේ සඳහා මහපොළවේ පය ගසා සිටීම හා අහුමුලු වල කරක් ගසා තිබීම අමතර සුදුසුකමකි. එවැනි අයට ඉබේම ගණදෙවි නුවණද පහලවේ. මධ්‍ය මහා විද්‍යාල වල තාක්ෂණ විෂය හැදෑරූ දොස්තර කෙනෙකු වීමද වාසනාවකි. කරුමෙට හුඟක් එවුන් ඉගෙනගෙන ඇත්තේ මැටි වැඩ පමණකි. ලෝහ වැඩ දන්නෙම නැත. ඉතින් කොහෙද පිත්තල වෑල්ඩින් ගැන දන්නේ? හුඟක් එවුන්ට තමන්ගේ වෘතිය හැර අනිත් ඒවා නොදැන සිටීම නම්බුවකි. ශ්‍රී ලංකාව දියුණුවෙමින් පවත්නා රටක් ලෙස රචනාව අපි තවමත් ලියන්නේ ඒ නිසාය.      
(සාමාන්‍ය ජනතාවගේ  දැනගැනීම පිණිස ඔක්සිජන් සිලින්ඩරයට සවිකරන රේගියුලටරයක චායාරුපයක් මගේ චායාරුපය වෙනුවට පලකරමි )                  


3 comments:

  1. ඔබේ බ්ලොග් එක ගැන විස්තර දැන ගත්තේ වෙනත්කෙනෙක් මග පෙන්වීම නිසයි. මහපොලවේ පය ගසා ජිවත්වන ඔබ වැනි අය කරන සේවය අගය කරමි. ඔබටම හරියන තවත් කෙනෙක් මෙන්න මෙතන ඉන්නවා.
    4s7sw.blogspot.com.au

    ReplyDelete
  2. හොද බාස් කෙනෙක් වාගේ . අතින් කයිට් උනත් වැඩේ ඉවර කරනවා

    ReplyDelete