මාරක මල - 2
“මේ ලෙඩා මෙහෙ මැනේජ් කරන්න බෑ. ලෙඩාව
අවිස්සාවේල්ලට මේ විදිහටම ගෙනියන්න ඕනේ. හැබැයි අවිස්සාවේල්ලට යනකම් ලෙඩාව
මගේ අතින් කාටවත් දෙන්නේ නෑ. ජිනදාස(උපස්ථායක) උඹට
පේනවනේ, මගේ අත් දෙකම නිදහස් නෑ. මට උදව් කරපන්. මම කියන දේ විතරක් කරපන්. අනම්
මනම් කතා කරලා මාව තරහ ගස්සන්න එපා”.
“අනිත් දොස්තර මහත්තයා ඩියුටි එන්න ඉස්සෙල්ලා
ඉස්පිරිතාලේ දාලා අවිස්සාවේල්ලේ
ගියහම සර්ගේ රස්සාව?”.
“ජිනදාස මම කියන දේ කරපන්. දැන් ඉක්මනට ගිහින්
බලපන් ඇම්බියුලන්ස් එකයි පාලිතයයි ඉන්නවද කියලා. නඩු කියලා හරි මම මගේ රස්සාව බේර
ගන්නම්. අපි ඉස්සෙල්ලා පොඩි එකා බේර ගන්න ට්‍රයි කරමු.
“සර් බී.එච්. ටී. එක ලියන්නේ කවුද? බී.එච්. ටී.
එක ලියන්න මගේ අත් දෙක නිදහස් කලොත් කොල්ලා මැරෙනවා. ඒ හින්දා බී.එච්. ටී. එක
ලියන්න ඕනේ නෑ. ලෙඩාගේ විස්තරේ උඹ කොළ කෑල්ලක ලියලා මගේ මේසේ උඩින් තියලා වරෙන්.
මම පස්සේ ඒක බැක් ඩේට් කරලා හෙට ලියන්නම්. දැන් මාව අල්ලාගෙන ගිහිල්ලා මේ විදිහටම ඇම්බියුලන්ස්
එකට නග්ගපන්.”
“සකුන්තලා ( සෞඛ්‍ය සේවිකාවකි) ඔයා
අවිස්සාවේල්ල හොස්පිටල් එකට කෝල් එකක් දීලා කියන්න තව පැයකින් උගුරේ මලක් හිර වුන
ළමයෙක් එනවා, තියටර් එක රෙඩි කරලා තියන්න කියලා”
“සර් අවිස්සාවේල්ල රෙඩි නැත්නම්? රෙඩි නැත්නම්
මම කොළඹ යනවා. උඹට ඒ පණ්ඩිතකම් වැඩක් නෑ මම කියන දේ කරපන් කෙල්ලේ”
රස්සාවේ සුරක්ෂිත භාවය හෝ රෝහල අතහැර යාම
පිළිබඳව මට වගේ වගක් නොවිණි. අමාරුම කාරිය වූ ඇම්බියුලන්ස් එක රෝහලේ තිබීමේ
උද්දාමයෙන් රොබෝ ඉරියව්වෙන් ඇම්බියුලන්ස් එකේ රියැදුරාට පිටුපස අසුනේ වාඩි වුනෙමි.
“සර් දැන් වේගෙන් වංගු ගන්න කොට අල්ලගන්නේ
කොහොමද?”
“පාලිත, උඹට තියෙන්නේ පෙරල ගන්නේ නැතිව පුළුවන්
ඉක්මනින් මාව අවිස්සාවේල්ලට ගෙනියන එකයි. මා ගැන මම බලා ගන්නම්”
දැරණියගල සිට දෙහිඕවිට දක්වා අතිශය රළු වංගු
සහිත මාර්ගයේ විනාඩි 45 ක් දරුවා දෑතින් රඳවාගෙන ඇම්බියුලන්ස් එක ඇතුලේ නොවැටී
ගමන් කල හැකි බව මට තද බල විශ්වාශයක් විය. ඒක පුහුණු වුනේ මෙහෙමයි.
[ගනේමුල්ල දුම්රිය පොලේ සිට ගම්පහ දක්වා
දුම්රියෙන් යන විට, දුම්රිය අධික ලෙස දෙපැත්තට වැනෙන යාගොඩ ප්‍රදේශයේදී ඔට්ටුවට දුම්රිය
පෙට්ටියේ මැද පොල්ල අල්ලා ගන්නේ නැතිව නොවැටී ගමන් කිරීමට මට ඇබ්බැහි කලෙත් නමින් පාලිත වූ මගේ පාසැල්
මිතුරෙකි].
මම මෙහිදී එම ක්‍රමය අනුගමනය කලෙමි. කකුල් දෙක BROAD
BASE එකක පවත්වා ගනිමින්
වංගු වලදී සමබරතාවය පවත්වා ගන්නා අතර රළු මාර්ගය නිසා උඩ බිම විසිවීම ද බාගෙට සීට්
එකේ වාඩි වී සිටීමෙන් හා ඩාන්සින් මෝඩ් එකෙන් විසඳා ගත්තෙමි. මනස පාලනය කිරීමට ඉතාම
කරදරකාරී බවක් ගෙනාවේ සීට් එක පාමුල තම දරුවාගේ ජීවිතය බේරා දෙන ලෙස ඉල්ලා හඩන මවගේ
විලාපයයි. කොරේ පිටට මරේ කියා හොඳටම හෙම්බත් වූ දරුවා පිට කල මළ මුත්‍රා වලින් මගේ
සර්වාංගය නැහැවී ගියත් මගේ ඉරියව්වේ හෝ උත්සාහයේ කිසිඳු වෙනසක් කිරීමේ අවශ්‍යතාවයක්
මට නොවිණි.
මාරක මල - 3
දැරණියගල මාර්ගයේ ගමන් දුෂ්කරතාවය එහි අත්
දැකීම ඇත්තෙකුට මිස නිවැරදිව අවබෝධ කිරීම උගහටය. මුල සිටම මගේ දැඩි විශ්වාශය හා උත්සාහය වුයේ අඬු යතුරු නැතිව මගේ ඇඟිල්ලෙන් අල්ලාගත්
ප්ලාස්ටික් මල මගේ අතින්ම ඉවත්කර ගැනීමටයි. “BACK BLOWS, CHEST THRUSTS” න්‍යාය අසා තිබුනත් එය ක්‍රියාත්මක
කිරීමට අල්ලාගත් මලේ GRIP එක අත හැරීමට මගේ හිතේ කිසිම අදහසක් නොවිණි. මගේ ක්‍රියාදාමය “මහා මෝඩ
වැඩක්” ලෙස කාට පෙනුනත් මට වඩාත් වැදගත් වුයේ මගේ අතේ තිබු AIR
WAY CONTROL එක අත්
නොහැර වඩා ආරක්‍ෂිත තැනකට දරුවා රැගෙන යාමයි. ඒ සඳහා මට උපරිම ලෙස ගෙවන්න වෙන්නේ තව
විනාඩි 60 ක් පමණි.
රියදුරු පාලිත විටින් විට “සර්ට අමාරුද?
වේගේ අඩු
කරන්නදැයි” අසමින්
මා ගැන විමසිලිමත් වෙයි. ඔහුට උත්තර දෙනවා වෙනුවට ගැස්සෙන පැද්දෙන වාහනයේදීම මල
එලියට ගැනීමේ කටයුත්ත කිසිවිටෙකත් අත් නොහරින ක්‍රියාවක යෙදෙමින් සිටියෙමි. දරුවාගේ
දත් නැති උඩු හා යටි හනු අතරට දඬු අඬුවකට මෙන් සිරවී තිබු මගේ දබර ඇඟිල්ල වේදනාවක්
නොදැනෙන තරමට හිරිවැටී තිබීම එක්තරා අන්දමකින් වාසියකි. GRIP
එක LOSS
වීමේ අවදානම
අවාසියකි. දරුවා මරු විකල්ලෙන් දැඟලීම අසහනයකි.
(අයියෝ සිම්පල් වැඩක්නේ, පිට පැත්තට තුන් පාරයි
ගහන්න ඕනැ කියලා හිතෙන අය ගොඩක් ඉන්න බව මම දන්නවා. ඒත් නලියන ලේන් පැටියෙක් වගේ
දරුවෙක් බිම වැටෙන්නේ නැතිව දෑතේ රඳවා ගන්න පුරුදු වෙන්න ළමා වාට්ටුවේදී මට
අවුරුදු දෙකක් ගියා. ඔන්න ඕකයි ප්‍රායෝගික තත්වය. තට්ටු කරන හැටි මම දන්නවා. ඒත්
දරුවාගේ ජීවිතේට තට්ටු වෙන වැඩ අත්හදා බලන්න මට ඕනැ වුනේ නෑ)
දැරණියගල
මාර්ගයේ තක්කාලි වංගුවේදී වේගය පාලනය කරගත නොහැකි වූ ඇම්බියුලන්ස් එක දකුනු පැත්තට
විසිවී ගියත් දක්ෂ රියදුරෙකු වූ පාලිත රථය පාලනය කර යලි මාර්ගයට ගැනීමට සමත් විය.
මේ අනපේක්ෂිත JERK එකෙන් පොඩි එකාගේ පිට පැත්තට මගේ උදරයෙන් වැදුණු NATURAL
BACK BLOW එකෙන්
මල එලියට පැන්නේය. ඇතිවූ නිම්හිම් නැති ප්‍රීතියට මට උන් හිටි තැන් අමතක විය.
“පාලිත මල එලියට ආවා. ඇම්බියුලන්ස් එක ආපහු
හරවපන්. දැන් මට ඩියුටි ඕෆ් වෙන්න පුළුවන්”. එසේ කියමින් මම දරුවාව එතෙක් මගේ පය
පා මුල හඬමින් සිටි මවගේ අතට පෑවෙමි.
“මහත්තයාට බුදු බව අත්වෙනවා” කියමින් අම්මා
දරුවාව දෝතින්ම තුරුළු කරගත්තාය.
“සර් මොකද කරන්නේ ආපහු හරවනවද, දිගටම යනවද?” ඇම්බියුලන්ස්
එක පාර අයිනේ නතර කල පාලිත මගෙන් අසයි.
අධික තෙහෙට්ටුවත් ප්‍රීතියත් මුසුවූ හැගීමෙන්
මෙතෙක් දරුවාගේ මුවේ තිබු ප්ලාස්ටික් මල දෙස මම මද වේලාවක් බලා සිටියෙමි. ප්ලාස්ටික් මලේ දරුවාගේ කම්මුලට තදවූ මල් පෙත්තේ
ලේ තැවරී තිබුණි. මල් පෙත්ත කැඩෙන්න ඔන්න මෙන්න වාගේය. මම දරුවා දිහා බැලුවෙමි. ඌ
බස බස ගා අම්මාගෙන් කිරි උරා බොයි. අම්මාටද මාව මතක නැත. දරුවා ආපසු දැරණියගල අරන්
ගියොත් රාත්‍රියේදී යම් අවදානමක් ඇති විය හැකිය. වඩා ආරක්‍ෂිත වූ අවිස්සාවේල්ල
රෝහලට දරුවා භාර දී මළ මුත්‍රා වලින් නැහැවුණු ඇඳුම් පිටින් ගෙදර යාමට තීරණය
කලෙමි. අවිස්සාවේල්ලට යමු. මගේ විධානයට ඇම්බියුලන්ස් එක ඉදිරියට ඇදුනි.
අවිස්සාවේල්ල රෝහලට පැමිණෙන විට රෝහල් කාර්ය
මණ්ඩලය කුඩා දරුවාව භාර ගැනීමට සුදානමින් සිටියේය. කෝ දැන් ඔය අමාරු දරුවා? රෝගීන්
භාර ගන්නා වෛද්‍ය වරිය මගෙන් ඇසුවාය. “මේ ඉන්නේ දරුවා අම්මා අතේ”.
“දරුවට කිසි අමාරුවක් නෑනේ”
“මෙන්න මේ මල දරුවගේ උගුරේ හිරවෙලා තිබුණා. මම
ඒක එලියට ගත්තා. There is little bleeding. Some times you
may get post traumatic bleeding and edema in the throat. You better
admit the child”
මම අදාළ වෛද්‍යවරියට කල යුතු දේ මගේ වෘතීය
භාෂාවෙන් කීවෙමි.
“ඔව් දරුවා ඇඩ්මිට් කරගන්නම් අපි. මේ මල අපිට
දීලා යනවද? දොස්තර නෝනා මගෙන් ඇසුවාය.
“ඒක දෙන්න බෑ. මේ සිදුවීම මතක් වෙන්න මම එක
තියාගන්න ඕනේ”
“පාලිත මල්ලි මාර වැඩේ. මම ඇදන් යන්න හිටපු
කමිස සාක්කුවේ සල්ලි තිබුනේ. ඩියුටි ඕෆ් වෙන්න වුනේ නෑනේ. ඒ කමිසේ සල්ලි එක්ක
රෙස්ට් රූම් එකේ. මම හෙට දෙනකන් මට බස් එකේ යන්න රුපියල් සීයක් දියන්”.
රියදුරාගෙන් රුපියල් සීයක් ඉල්ලාගත් මම ගෙදර
යාමට බස් එකක් ගැනීමට අවිස්සාවේල්ල රෝහල් හන්දියට දිව ගියෙමි. කලාතුරකින් හමුවන
මාර්ග අංක 18 හැටන් කොළඹ ඒ.සී. බස් රථයක් හමුවුනත් මුත්‍රා ගඳ සහිතව එම බසයට නැගීම
අත් හැර දමා තවත් පැයක් පමණ රස්තියාදු වී නෝමල් බස් එකකින් පැය 2 ක් තිස්සේ කොළඹට
ගෑටුවෙමි.
ඇත්තෙන්ම මම සිතුවේ මව්කිරි ද පොවා නිරුපද්‍රිතව
ශල්‍යාගාර කණ්ඩායමට භාර දුන් මේ කොලු පැටියා පසුවදා ටිකට් කපාගෙන ගෙදර යන්නට ඇති
බවයි. නමුත් එය එසේ සිදුවී නොතිබුණි. දරුවාගේ ජීවන ඉරණම විසදී තිබුනේ කොළඹ ළමා
රෝහලේදී බැව් මා දැනගත්තේ දෙවසරකට පසු එම
රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස හෙද නිලධාරීන් සඳහා කළ දේශනයක් අතරතුරදීය.
සතුටු කඳුළු - (මාරක මල 4 )
දැරණියගල දිසා රෝහලේ වසර 5 ක සේවා කාලයකින් පසු
මා කොළඹ පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයට යන්නේ වෛද්‍ය පරිපාලන උපාධිය සඳහා සුදුසුකම්
ලැබීම හේතුවෙනි. තවත් වසර දෙකක් ඇතුලත වෛද්‍ය පරිපාලන උපාධිය සමත්වන මට කොළඹ ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වරයෙකු වශයෙන්
පත්වීමක් ලැබෙන්නේය.
පාසැල් අවධියේ සිටම රාජ්‍ය සෞඛ්‍ය සේවාවන්හි පිරිහුණු ආකල්පමය ස්වභාවය ගැන
කලකිරීමකින් සිටි මා හෙන්ඩුව අතට ලැබුණදාම අලි ඇත්තු මෙල්ල කිරීම ආරම්භ කලෙමි.
වෛද්‍ය වරුන් හෙදියන් කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයන් ඇතුළු කණ්ඩායම් සඳහා ආකල්පමය
සංවර්ධන දේශණ පැවැත්වීම මගේ දින චරියාවේ එක අංගයක් විය.
“සෞඛ්‍ය සේවකයෙකුගේ කැපවීම” නමැති මාතෘකාව යටතේ
පැවැත්වූ මෙවැනි එක් දේශනයකදී මා විසින්
දැරණියගල දරුවාගේ ජීවිතය අවදානම් තත්වයෙන් මුදවාගෙන අවිස්සාවේල්ල රෝහලට භාර දුන්
කතාව කීවෙමි.
දේශනය අසා සිටි තරුණ හෙදියක් එක් වරම නැගී සිට
සිදුකළ මේ කතාවෙන් මගේ ඇඟේ හිරිගඩු පිපී ඇස් වලට කඳුළු පිරුණි. (ඇදහීමට තරමක්
අසීරු කතාවක් ස්ථිර කිරීමට අනපේක්ෂිතව ජීවමාන සාක්ෂිකරුවෙකු ඉදිරිපත්වීම තරම් ආත්ම
තෘප්තියක් කෙනෙකුට තවත් තිබේද?)
“ සර් මම
ඔය මල ගිලුණු දැරණියගල දරුවාව දන්නවා. අවිස්සාවේල්ලේ ඉසපිරිතාලෙන් අපේ ළමා රෝහලට
ට්‍රාන්සර් කරපු ඔය ළමයා මැනේජ් කලේ අපේ ICU එකේ. එදා ඒ ළමයා අවිස්සාවේල්ලට ඇතුල්
කලාට පස්සේ ළමයාගේ උගුර ප්ලාස්ටික් මල තෙරපීම නිසා ඇතිවුන තුවාල නිසා සංකුලතාවයක්
සිදුවෙලා.( Post traumatic edema, bleeding- engorgement)
දරුවට අවිස්සාවේල්ල ඉස්පිරිතාලේදී
TRACHEOSTOMY එකක් කරලා අපේ ICU එකට TRANSFER කරලා තිබුණා. සති දෙකකින් විතර දරුවා සුව වුණා. දරුවාගේ අම්මා
දියවැඩියාවෙන් පෙළුන නිසා ඒ අම්මටත් අපිට ප්‍රතිකාර කරන්න වුණා. ඒ නිසා දරුවා තවත්
වැඩිපුර සතියක් අපේ වාට්ටුවේ හුරතල් වෙවී හිටියා. ලස්සන කොලු පැටියා සර්.”
(සමාප්තයි)
ithaa kapa weemen oba raja karoya karana bawa penenawa doctor.. obata thawa thawath shakthiya labewayi pathanwa
ReplyDeleteහොඳ අවසානයක්!
ReplyDelete