සුපිරි ගුරුවරු- (මැට්ටා මෙඩිකල් කොලේජ් ගිය කථාව - 3 )
ඒ කාලේ පාසැලකට ගුරු පත්වීමක් ලබා ගැනීමට පෙර මහරගම ගුරු අභ්‍යාස විද්‍යාලයේදී ඉගැන්වීම
පිළිබඳව පුහුණුවකට යටත් විය යුතුය. පසු කලෙකදී විශ්ව විද්‍යාල සමතුන්ට රැකියා
සැපයීමේ ඇබෑර්තු මධ්‍යස්ථාන ලෙස පාසැල් යොදා ගැනීම නිසා ගුණාත්මක බවින් යුතු ගුරුවරුන් බිහිවීමේ අවස්ථාව මග හැරී ගිය බව මගේ පෞද්ගලික
මතයයි.
තමන්ගේ දේශනයට ශ්‍රාවකයන් සියල්ල නතු කර ගැනීමට
උපන් හැකියාව මෙන්ම පුහුණුවද අවශ්‍ය වේ. වෛද්‍ය පරිපාලනය පිලිබඳ ශාස්ත්‍රපති
උපාධිය හදාරන අවධියේ මෙවැනි අභ්‍යාසයක් ලබා දී එය වීඩියෝ කර නැවත අපට පෙන්වා අපේ
මොට්ට වැඩ අපිටම නැවත පෙන්වා අඩු පාඩු සකස් කරන වැඩමුළු වලට සහභාගී වීමේ අවස්තාව
මට ලැබුණි. අපේ පාසැල් ගුරුවරුන් කීයෙන් කී දෙනාටද මෙවැනි පුහුණුවක් ලැබෙන්නේ?
මගේ ජීවිත ඉරණම වෙනස් කල ජයසුරිය මහතා මේ සියලු
අංගයන්ගෙන් පරිපුර්ණ වූ උතුම් මානුෂික ගුණාංග වලින් හෙබි ගුරු භවතෙකි. ගනේමුල්ල ප්‍රදේශයේ
පැවති ටියුෂන් පන්තියක දී මට හමුවූ මේ අපුරු ගුරුවරයා ඒ වනවිට ගුරු උපදේශකයෙකුද
විය. ළමුන් 60 ක් පමණ සිටි මේ පන්තියේ සෑම ළමයෙකු ළඟටම යන ඔහු ගැටලුවකට මැදිවී
සිටින ඕනෑම ළමයෙකු කෙරෙහි තම පෞද්ගලික අවධාණය යොමු කරයි. කෑ කෝ ගහන සිසුන් ගැන
නොතකන ඔහු එවැනි සිසුන්ට දෙන දඬුවම ඔවුන්
වෙත නොයා සිටීමයි. මේ බ්‍රහ්ම දණ්ඩ ක්‍රමය නිසා කෑ ගහන එවුන්ද ඉබේ දමනය වෙයි. ඕනෑම
ගැටළුවක් ඔහු විසදන්නේ “අයියෝ සුළු දෙයක් නේ හරි ලේසිනෙ” කියමිනි. ළමයින් 60 දෙනාම
ගණන් 60 ක් බෑ කිව්වොත් ගණන් 60 ම කළු ලෑල්ලේ හදා පෙන්වීමට ඔහු මැලි කමක්
නොදක්වයි. කිසි විටෙක ඔහු ළමුන්ට පිටු පා කළු ලෑල්ල වසාගෙන ගණන් හදන්නේ නැත.
මේ අපුරු ගුරුවරයා සමග වැඩි ඇඳුනුම් කමක්
ඇගෑලුම් කමක් නැතත් ඔහු කෙරෙහි වූ දැඩි ආදරයකින් හා විශ්වාශයකින් යුතුව මේ ගණිත
පන්තියට නොවරදවා සහභාගී වුයෙමි. මට මේ ගුරුවරයා හමු වන විට සාමාන්‍ය පෙළ විභාගය
සඳහා ඉතිරිව තිබුනේ පාසැල් වාර දෙකක් පමණි. මේ නිසා මට කාලය කලමනාකරණය කර ගැනීමට
මහත් සටනක් කිරීමට සිදුවිය. වසර කිහිපයක් ගණිතය මග හැරී තිබු නිසා හයේ පන්තියේ සිට
දහයේ පන්තිය දක්වා පොත් වල අභ්‍යාස හැදෑරීමට සිදුවූ අතර එතෙක් පවත්වා තිබු විභාග
සියල්ලේ ප්‍රශ්ණ පත්‍ර කටපාඩම් වෙනතුරු නැවත නැවත අභ්‍යාස කෙරුවෙමි. මේ සියල්ලේ
හිර වෙන තැන් ලකුණු කරගෙන ජයසුරිය සර් ලඟට ගෙන ගොස් විසඳා ගැනීමට හැකි හැම විටම
උත්සාහ කෙරුවෙමි. (ළමුන් 60 ක් අතරින් ඔහුව අල්ලා ගැනීම එතරම් පහසු වූයේ නැත).
මගේ දැඩි උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස දෙවන වාර
විභාගයේදී ගණිතයට ලකුණු 45 ක් ලැබුණු අතර අවසාන වාර විභාගයේදී ලකුණු 54 ක් ලැබුණි.
දැන්නම් ගණිතය අසමත් වීමේ අවදානමක් නොමැති යැයි දැඩි විශ්වාශයෙන් යුතුව එවර සාමාන්‍ය
පෙළ විභාගයට මුහුණ දුන්නෙමි. විභාගයේදී ද ගණිත ප්‍රශ්න පත්‍රයට මුහුණ දීමේදී එතරම් ගැටළුවක් ඇති නොවිණි.
සාමාන්‍ය පෙළ විභාගය නිම වී දින කිහිපයක්
ගතවිණි. එක දිනක රාත්‍රී 8 රුපවාහිනි ප්‍රවෘති වලින් කියවුනේ එම වසරේ ගණිත ප්‍රශ්න
පත්‍රය එක්තරා ටියුෂන් පන්තියක ගුරුවරයෙකු විසින් කලින් පිටකර ඇති බැවින් වහාම ක්‍රියාත්මක
වන පරිදි ගණිත විභාගය අවලංගු කරන බවත් REPEAT විභාගය පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙන
බවත්ය. “අපි නැග්ගොත් ඉතිං පුවක් ගහෙත් දෙබලක්” කිව්වලු. ඊට පස්සේ වෙච්ච දේ කියන්න
“මතු සම්බන්ධයි” නොකියා වෙන මොනවා කියන්නද?
සාමාන්‍ය පෙළ ගණිත විභාගය අවලංගු වී නැවත
විභාගයක් පැවැත්වීම එකම ඉනිමේ දෙවරක් ක්‍රීඩා කිරීමට ලැබුනාක් වැනි සුපිරි චාන්ස්
එකකි. මම වගේ පිදුරු ගහෙත් එල්ලෙන එකෙකුට එය දෙකේ දෙකේ කඹයකි. විය යුතු පරිද්දෙන්ම
ගණිතයට සම්මානයක් සහිතව සාමාන්‍ය පෙළ සමත් වීමට මට හැකියාව ලැබුණි.
උසස්පෙළ ජීව විද්‍යාව හදාරමින් සිටි ජ්‍යෙෂ්ඨ
සිසුන් ඉතා විශාල පොත් උස්සාගෙන යනු දුටු විට මට ගණිත අංශයෙන් උසස් පෙළ හැදෑරීම
හොඳ යැයි සිතුනි. දවස් දෙකක් ගණිත අංශයේ පන්තියක වාඩි වී සිටියෙමි.
“ඔයා දැන් ඒ ලෙවල් වලට මොනවද කරන්නේ?” අම්මා
මගෙන් ඇසුවාය. “මම මැත්ස් පන්තියට ගියා”.කිසිවක් කථා නොකල අම්මා කොටු රූල් කොලයක්
මගේ ඇත තැබුවාය. “මේ දරුවා විද්‍යා අංශයෙන් උසස් අධ්‍යාපනය හැදෑරීම ඉතා සුදුසුයි.
ඔහුට ඉතා ඉහල ජයග්‍රහණයක් ලැබෙනු ඇත”. කැලණිය විහාරයේ වැඩ සිටි ජ්‍යොතිෂය කටයුතු
පිලිබඳ සුප්‍රසිද්ධ හිමිනමකගේ අත්සන පහලින් යොදා තිබුණි.
පසුවදාම මම ජීවා විද්‍යා පන්තියේ වාඩි වුනෙමි.
උසස් අධ්‍යාපනයට සියලු පහසුකම් සහිත ඉතා හොඳ ප්‍රදේශයක් වූ ගම්පහ නගරයේ සියලු විෂයන්
සඳහා අති දක්ෂ ටියුෂන් ගුරුවරු සිටියත් ටියුෂන් පන්ති යාම සඳහා මවගෙන් මුදල්
ඉල්ලීමට මගේ හිත දුන්නේ නැත. දරුවන් පස් දෙනෙකුගෙන් යුත් මගේ පවුලේ සියලු
සාමාජිකයන්ට බෙදී යන දෙමව්පියන්ගේ ආදායම මට විතරක් වියදම් කලොත් අනිත් අයට යන කල කුමක්ද?
එසේ සිතු මා විකල්ප ක්‍රමයක් කල්පනා කලෙමි. ( මෙය සොරකමක් හෝ වංචාවක් ලෙස නොසිතන
මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. සියලු සැප සම්පත්
මව්පියන්ගෙන් ලබා ගෙන ජීවිතය අයාලේ
යවන පොඩි එවුන්ට පාඩමකට හොඳ බැව් සිතෙන නිසා ලියමි)
ගම්පහ ගල් පල්ලිය පාරේ අයි. එස්. එම්. ආයතනයේ
ටියුෂන් පන්තියේ ළමුන් දහස් ගානක් වුහ. එක විෂයකට රුපියල් 60 ක් අය කෙරුණි. රුපියල්
හැටක් අතේ නොතිබූ මා හට ටියුෂන් පන්තියේ කාඩ් එක මිළ දී ගත නොහැකි වූ අතර කිසිඳු
නිබන්ධනයක්ද නොලැබුණි. කාඩ් එක නොමැති මා පිටුපස කෙටි බිත්තියෙන් පැන පන්තියේ
අන්තිම බංකුවේ වාඩිවී අනවසරයෙන් අධ්‍යාපනය ලැබුවෙමි. පන්තියේ සූ ගාලා සෙනග සිටි
බැවින් මා වැන්නන් ගැන සොයා බැලීමට ගුරුවරයාට හෝ පන්තියේ හෝල් අයිතිකාරයාට ඉඩ කඩක්
නොවීය. ගෙදරින් මුදල් නොඉල්ලා මගේ සහෝදරියන් වෙනුවෙන් මා කල මෙම කැප කිරීම මගේ
දෙමව්පියන් දැන සිටියේ නැත. අම්මා මේ බව දැන සිටියානම් කෙසේ හෝ මුදල් සොයා දෙන්නටද
ඉඩ තිබුණි. එහෙත් හොඳින් ඉගෙන ගන්නා සහෝදරියන් සිව් දෙනා ගේ දියුණුව දැක සියලු
හිත් වේදනා අමතක කර මගේ ඉලාක්කය හඹා ගියෙමි.
කිසිඳු මුද්‍රිත නිබන්දනයක් නොලැබුන නිසා මා ළඟ
සිටි ළමුන්ගේ නිබන්ධනය දෙස බලාගෙන ඒවා අතින් පිටපත් කර ගැනීමට මා පුරුදු වුනෙමි.
මේ ක්‍රමය නිසා ඇතැම් විෂය කරුණු නිබන්ධනය අයිතිකරුවාට වඩා හොඳින් මගේ හිතේ ධාරණය විය. ෆොටෝ කොපි ක්‍රමය සුලභ නොවූ මේ
වකවානුවේ මේ හැර වෙන විකල්පයක් නොවීය.
ජීව විද්‍යා පන්තියේදී ද පරණ අකරතැබ්බය මා
පසුපස හඹා ආවේය. සෑම වාර විභාගයකදීම භෞතික විද්‍යාවට ලකුණු 10 කට වඩා ලබා ගත නොහැකි විය. ඒ අස්සේ
පාසලේ ප්‍රධාන ශිෂ්‍යනායකයා ලෙස බරපතල වගකීමක් ද ලැබුණි. කුඩා කල ගණිත විෂයට සිදු
වූවාක් මෙන්ම උසස්පෙළ භෞතික විද්‍යාව විෂයටද
මා හට සුදුසු ගුරුවරයෙක් හමු නොවීය. අදටත් මගේ ජනප්‍රියම භෞතික විද්‍යාව ආචාර්ය
වරයා වූ මොහාන් ලාල් ග්‍රේරෝ මහතා එකල ගම්පහ ප්‍රදේශයේ ඉගැන්වුවත් එම පන්තියට මුල
සිටම සහභාගී වීමට මා අත මුදල් තිබුනේ නැත. තාප්පයෙන් පනින ක්‍රමය ඔහුගේ පන්තියේදී
කල නොහැකි විය.
පළමුවර උසස්පෙළ විභාගයේදී මා බලාපොරොත්තු වූ
පරිදිම භෞතික විද්‍යාව සමත්විය නොහැකි විය. තැවීම දුක් වීම පලක් නොවන දෙයකි. ළිඳේ
වැටුණු එකා ළිං කටෙන්ම ගොඩවීමේ න්‍යායට
අනුව ඊළඟ මෙහෙයුම ආරම්භ කලෙමි.
මතු සම්බන්ධයි (පාසැල් නොයා ටියුෂන් නොයා
මෙඩිකල් කොලේජ් ගිය හැටි ඊළඟට කියවන්න --ජීවිත පාඩම දැනගන්න -ඉවසීම පුරුදු කරන්න)
මේක දෙවෙනි කොටස නේද ? බ්ලොග් එක පෙරල පෙරල මම දෙක කොටස හෙව්වා.. දාල තියෙන්නේ 3 කියල නේ
ReplyDeleteMe too
Delete