Tuesday, January 24, 2017

ඩු ඕ ඩයි -DO OR DIE- (මැට්ටා මෙඩිකල් කොලේජ් ගිය කතාව -4 )


සාමාන්‍යයෙන් සෙනග රැස් වන්නේ ජයග්‍රාහකයින් වටා ය. පරාජිතයන් හුදකලා වේ. විකල්පය කෝච්චියට පැනීම නොව තමාද ජයග්‍රාහකයෙකු වීමයි.  පරාජය සමග හුදකලා වූ මා තවත් දින තුන්සිය හැටපස් දවසක් ඇවෑමෙන් ජයග්‍රාහකයෙකු ලෙස මතුවන අයුරු කල්පනා කළා මිස වටේ ඉන්න අයගේ ගුණදොස් විචාර පිළිබඳව සැලකිල්ලක් නොදැක්වුයෙමි. මේ අතර එතෙක් කල් පාසැල් යාමට මට තිබු එකම වාහනය වූ පා පැදිය සොරකම් කරන ලද අතර සාමාන්‍ය ගමන් බිමන් පයින්ම යාමට පුරුදු වුනෙමි.

මගේ නිවස අසල  ගණිත අංශයෙන් උසස් පෙළ ලියා විෂයන් 3ක් පමණක් සමත් වූ මිතුරෙක් විය. ඔහුද ඊළග වතාවේ නැවත විභාගය ලිවීමට සුදානම් වෙමින් සිටියේය. ගණිත අංශයේ විෂයන් දෙකම අහේතුවකට අසමත් වුවත් ඔහු හොඳ ගණන් කාරයෙක් බව මා දැන සිටියෙමි. මා  මෙන් නොව ඔහු පළමු වර සියලුම විෂයන් සදහා ටියුෂන් පන්ති වලට සහභාගී වුයේය. මේ නිසා සියලු සටහන් හා නිබන්ධන ඔහු සතු විය.

මේ මිතුරාගේ නිවසට දිනපතා යාම පුරුද්දක් කර ගත් මා ඔහුගේ රසායන විද්‍යාව සටහන් කියවා අලුතෙන් සටහන් නිර්මාණය කරගෙන පරණ ප්‍රශ්ණ පත්‍ර වලට පිළිතුරු ලිවීම පුහුණු වුනෙමි. කැලේ කොලේ කරක් ගසා තිබුණු මට උද්භිද විද්‍යාව තනිවම ඉගෙන ගැනීම එතරම් අපහසු වුයේ නැත. ජීව විද්‍යාවද  තනියෙම පොත් කියවා නැවත ඉගෙන ගත්තෙමි. භෞතික විද්‍යාව මේ ක්‍රමයට හැදෑරීමට තරම් මා හට මුලික දැනීමක් නොවීය.
මේ අතර නුගේගොඩ රේල්වේ ඇවනියු හි මොහාන් ලාල් ග්‍රේරෝ මහතාගේ එක් වසරක කඩිනම් භෞතික විද්‍යාව පාඨමාලාවක් ආරම්භ කරන බව ආරංචි වී ඒ පන්තිය සඳහා සහභාගී වීමට තීරණය කලෙමි. මේ පන්තියේ දී එක සතියකදී ගණන් 200 ක් සහිත පොතක්ම ලැබෙන අතර සෙනසුරාදා දිනයේ මෙම පන්තියට සහභාගී වන මම ඊළඟ දවස් හතේම තටම තටමා මුළු ගණන් පොතම හදන්නේ මගේ ගණන්කාර මිත්‍රයාට පින් සිදු වන්නටය. (දැන්නම් පැයට රුපියල් 6000 ක් වත් අය කරනු ඇත)

ජංගම දුරකථන හෝ ස්ථාවර දුරකථන කිසිවක් නොවූ මේ වකවානුවේ මා ගත කල ඇඩ්‍රස් නැති ජීවිතය කාලය කළමනාකරණය සඳහා විශාල ආශිර්වාදයක් වුයේ අනවශ්‍ය සබඳතා කිසිවක් නොවූ බැවිණි. උවමනාවට වඩා මුදල් හදල් නොමැති වූ බැවින් ගුරුවරුන් හූනියම් පෙට්ටිය ලෙස හැදින්වූ රුපවාහිනි යන්ත්‍රයක් ද නිවසේ නොතිබුණි. ඇති තරම්  කාලය තිබු බැවින් වතුර බේසම් වල කකුල් ඔබා ගෙන නිදි මරමින් පාඩම් කරන්නට සිදු වුයේ නැති අතර දිනපතාම රාත්‍රී 11 වන විට නින්දට ගොස් උදෑසන 6 වෙනතුරු හොඳට නිදා ගත්තෙමි. උදෑසන 7 ට පමණ අධ්‍යාපන කටයුතු පටන්ගෙන සවස 4 වෙන තුරු එක දිගට එම කටයුත්තේ යෙදීමෙන් අනතුරුව පරණ පුරුද්ද අත්හැර ගැනීමට නොහැකිව කමතේ සහ වෙලේ බෝල ගැසීම නම් නතර කලේ නැත.


ගණන්කාර මිතුරාගේ ගෙදර ඔහුගේ සටහන් භාවිතා කරමින් රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාව හැදෑරූ අතර සත්ව විද්‍යාව සහ උද්භිද විද්‍යාව නිවසේදී තනිවම වනපොත් කලෙමි.

ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි අරගලය ලියලමින් තිබුන අතර මා ඉතා අප්‍රසිද්ධ ජීවිතයක් ගතකරමින් සිටි බැවින් කාගේවත් අවධානයට යොමු නොවීම විශාල වාසියක් විය. මේ වන විට අප පදිංචිව සිටියේ ගනේමුල්ල ප්‍රදේශයේ කුලී නිවසක වූ බැවින් අසල්වැසියන්ටද මා පිලිබඳ සොයා බැලීමට උනන්දුවක් නොවීය.
කුලී නිවසට නල ජලය නොවුයෙන් ඇලුමිනියම් කලේ උරහිස මත තබා ගෙන නිවසට අවශ්‍ය පානීය ජලය කිලෝමීටර් භාගයක් පමණ දුර සිට නිවසට ගෙනැවිත් ප්ලාස්ටික් භාජන වලට පුරවා සහෝදරියන් සිව් දෙනාට උදව් කිරීම මගේ දෛනික රාජකාරියක් විය. මීට අමතරව තාත්තා විසින් ළඟ පාත තැනක අඳ ගොවි ක්‍රමයට වගා කල කුඹුරේ තාත්තා සමග කුඹුරු කෙටීම, සහෝදරියන් සිව් දෙනා සමග එක්ව ගොයම් කැපීම සහ ගොයම් මිටි කමතට ඇදීමට සහයෝගය දැක්වීම ද සාමාන්‍ය කටයුත්තකි. ගෑස් ලිප් නොතිබුණු අපේ ගෙදර ලාබදායි ලී කුඩු ලිපට ගනේමුල්ලේ පිහිටි ලී මෝල් වල සිට ගෝනි වල පටවා ලී කුඩු ගෙන ඒමද මා විසින් කරන ලද රාජකාරියකි. බොරු සෝබන ලජ්ජාවෙන් තොරව අප ගත කල මේ උත්සාහවන්ත ජීවිතය නිසා අපේ පවුල ණයත් නැතිව බයත් නැතිව ජීවත් විය.

ඕවිටක් අද්දර තිබු නිතරම උතුරා යමින් තිබු ළිඳකින් බාල්දියෙන් ගණන්කර දිනපතා නා ගන්නා මම සුදු කමිස දෙකේ පඩු පැහැය සැඟවීමට රොබින් නිල් යෙදීම මනා ලෙස ප්‍රගුණ කර තිබුණි. මේ කිසිවක් දුප්පත් කම නොවූ අතර මේ යුගයේ මධ්‍යම පාන්තික දරුවෙකුගේ අල්පේච්ච සරළ ජීවන රටාව විය.
දැනුම්  තේරුම් ගිය දින සිට අප කිසිදාක අපේ ඇඳුම් පැළඳුම් දෙමව්පියන් ලවා සෝදවා  ගත්තේ නැත. ගෙවල් දොරවල්  අස්පස් කිරීමේ සිට දර පැලීම දක්වා සියලු කටයුතු කිසිඳු පැකිලීමකින් තොරව ඉටු කලෙමි. සහෝදරියන් සිව් දෙනා හා මා අතර බරපතල මතභේද කිසිදා ඇති නොවූ අතර පොඩි එකා ලොකු එකාට ගරු කිරීම තාත්තා  විසින් ස්ථාපිත කරන ලද නීතියකි.  අදටත් බලන්ගොඩ පිහිටි අපේ  මහ ගෙදර කිසිවෙකුගේ නමින් ලියවාගෙන නැති අතර තාමත් එය අප සියලු දෙනාටම අයිති පොදු නිවහනකි.

සාමාන්‍ය පෙළ ඉතා උසස් ලෙස සමත්වන බොහෝ සිසුන් කරන වැරද්දක් නම් තමා පිළිබඳ ඇති කර ගන්නා අධිතක්සේරුව මත උසස්පෙළ ඉබේම සමත් වෙතැයි සිතා අතරමැද උත්සාහයකින් උසස්පෙළ විභාගයට මුහුණ දීමයි. ප්‍රතිඵලය වන්නේ අතරමැද ප්‍රතිඵලයක් ලබා සරසවි වරම් අහිමි වීමයි.  
අනෙක් අයට සාපේක්ෂව මගේ තැන බින්දුව යැයි සිතා ගෙන උපරිම ජවයෙන් දින 365 තුලම විභාගයට සුදානම් වීම මගේ ක්‍රමය විය. සටන ඉවර වෙන්නේ අන්තිම ප්‍රශ්ණ පත්‍රයේ අන්තිම තත්පරයේදීය. එසේ නොමැතිව අතිශයින් තරඟකාරී විභාගයක පළමු පොකුරේ සාමාජිකයෙකු ලෙස තරඟය නිම කල නොහැකිය.  
මාත් මගේ ගණන්කාර මිතුරාත් සැලසුම් සහගතව දියත් කල අධ්‍යාපන සංග්‍රාමය අවසන් වුයේ ඔහු මොරටුව ඉංජිනේරු පීඨයටත් මා කොළඹ වෛද්‍ය පීඨයටත් සමත්වීමෙනි.



   

4 comments:

  1. great doctor,,

    mage daruwantath meka kiyawanna mama print kara gatta

    ReplyDelete
  2. අප්‍රතිහත ධෛර්යයේ කතාව.. අනුගමනය කළාට පාඩු නැති..
    -Buddhinie

    ReplyDelete
  3. අඩු වැඩි වශයෙන් අපි හැමෝගෙම කතාව.. මටනං ඔච්චර ගැම්මක් හිතට ගන්න බැරි උනා උසස්පෙල ඉවර්ස් වෙනකම්ම.. ඊට පස්සේ තමයි ගැම්ම ආවේ..

    ReplyDelete
  4. මට කවමදාවත් උ.පෙ. උගන්වන දේවල් වල ප්‍රයෝගිකත්වයක් දැක්කේ නැහැ ... ඒ හන්දමද කොහෙද මම කරපු එකම දේ අවුරුදු දෙකක් නාස්ති කරපු එක විතරයි :)

    කැම්පස් යන්නත් ලකුණු දෙසීයක් - දෙසිය පනහක් විතර මදි උනා :) :) :)

    නමුත් අන්තිමේදී මිනිස්සු විවිධ විදිහට ජීවිතය ගොඩ නගා ගන්නවා !

    ඔය වගේ කට්ට කාල ගොඩ ගිය බොහොම තියුණු අධිෂ්ඨානයක් තිබ්බ කොල්ලෝ සෑහෙන දෙනෙක් අපිත් එක්කත් හිටිය ... !

    ReplyDelete