Monday, March 13, 2017

අරගෙන අහන්න

සිරි සඟ බෝධි ගීතය රැප් කරලා කුඩුපට්ටම් කරපු කාලේ මට දැනුන වේදනාව තවමත් එහෙමමයි. අධ්‍යා පනය මෙන්ම සෞන්දර්යද රසවිඳි මම මගේ පළමු ඒක පුද්ගල සංගීත ප්‍රසංගය පැවැත්වුයේ  මීට වසර විසි ගණනකට පෙර කොළඹ වෛද්‍ය පීඨයේ තෙවන වසරේදී. ඒ කාලේම සංගීතවේදී සරත් වික්‍රම මහතා ගේ සංගීතයට මගේ ගී රචනා සහිත ගීත හයක් සහිත කැසට් පටියක් නිර්මාණය කළා. රාජකාරී ජීවිතය සමග කාර්ය බහුල වීම නිසා මේ නිර්මානකරණය  අතහැරුණා.

ම ඉතා ප්‍රිය කරන ප්‍රවීණ සංගීතවේදී ලක්ෂ්මන් හිල්මි මහතා සමග එක ගීතයක් නිර්මාණය කරන්න ගිය මට ගීත 16 ක් ම කරන්න සිදු වුනේ මේ අපුරු සංගීතවේදීයා තුල තිබු පුදුම සහගත තනූ නිර්මාණයට මා වශී වුණ නිසයි.

මෙම ගීත 16 ම රචනා කලේ මා විසින් වුවත් ඒ ඇතැම් ගීත සඳහා මුලාශ්‍ර ලබා ගත්තේ මුහුණු පොතේ ලියවුනු කවි නිර්මාණ වලින් බව කියන්නේ ඉතා නිර් ව්යාජවයි. බොහෝ ගීත සඳහා යොදා ගත්තේ කවි  පද දෙකක් පමණක් වුවත් ගීතයේම නිර්මාණ අයිතිය කවුරු හෝ ඉල්ලා සිටියොත් කොන්දේසි විරහිතව ඒ අයගේ නමින් ගීතය නම් කෙරෙනු ඇති.
“පෞර්ෂය බිඳගෙන හොටු පෙරා ගෙන හඬා වැටෙන ගීත රැල්ලට” පිළිතුරක් ලෙස නිර්මාණය වූ මෙම ගීත 16 පර්යේෂණ මට්ටමේදී සවන් දුන් හැම දෙනාම කිව්වේ “ටොප්” කියලා. (අහලම තමයි බලන්න වෙන්නේ )

මෙහි නිෂ්පාදන පිරිවැය ඉතා ඉහල වුවත් සී. ඩී. තැටියක් රුපියල් 200 කට අලෙවි කරන්නට සැලසුම් කර තිබෙන්නේ, නිකන් දෙන කිසිවක වටිනා කමක් නැති නිසා මෙන්ම කිසිවක් බලෙන් කරේ ගැසීම නොකළ යුතු බැවිණි. (කොපිය 100 ට ගන්නේ මොකටද ඔරිජිනල් එක 200 ට තියෙද්දී )
මේ වන විට පිටපත් නිර්මාණය සඳහා සිංගප්පුරුවට යවා ඇති “මාස්ටර් ටේප්” එකේ වැඩ නිම කර මාර්තු මස අගදී අවශ්‍ය අයට මිලදී ගැනීමට පහසුකම් සැලසීමටයි බලාපොරොත්තුව.
දියනියෙකුට දෙමව්පියන් ගැන කියන්න ලස්සන ගීයක්, බක් මහ අසිරියට නව නිර්මාණයක්, විවාහ වෙන දාට අලුත් වෙඩින් සෝන්ග් එකක් ලක්ෂ්මන් හිල්මි අපුරුවට නිර්මාණය කළා. අහලම බලන්න මගේ මේ සංගීත චිකිත්සාව. (සන්සුන්ව සිටිනු මිස වාද විවාද වල පැටලීමට බලාපොරොත්තු නොවෙමි)
 

මම යන්නේ කොයි පාරේ?

මගේ ෆේස් බුක් ඉන්බොක්ස් එකට ගාල්ල ප්‍රදේශයේ තරුණ නීතීඥ මහතෙකු පහත සඳහන් පණිවිඩය එවා තිබුණා.

“මචං ඩොකා උඹ සිරා පොරක්. මේ ෆේස් බුක් එකේ වැඩක් කරපු එකෙක් කථා කරනවා දැක්කමයි. උඹ වගේ වැඩ කරපු අනිත් එවුනුත් ඉස්සරහට ඇවිත් කතා කරන්න ඕන. ලජ්ජාවෙන් කට වහගෙන හිටියොත් ඒක වැරදියි. එතකොට බොරු පොර ටෝක් දෙන ෆේස්බුක් වීරයන්ගේ කටවල් වැහෙයි. උඹට ජය!”

මගේ ෆේස් බුක් ගිණුමට අලුත් සාමාජිකයන් ඇතුලත් කර ගැනීමට ඇති අපහසුතාවය පිළිබඳව ලියු ලිපියකට අංගොඩ පැත්තේ රෝහලක පරිපාලනයට සම්බන්ධ වෛද්‍ය මල්ලි කෙනෙක් මෙහෙම කමෙන්ට් කරලා තිබුනා.

“වැඩ කරන අය ඒවා කියවන්නේ ලියන්නේ නෑ. ඔයිට වඩා මහා වැඩ කාරයෝ ඕව ලියලා නෑ. ඔය ලියන අය කියන තරම් වැඩ .... මන්දා. මේවා ලියන එක හරිම ඔඩ් වැඩක්. ඕවා ලිව්වා කියලා රෝහල් දියුණු කරන්න බෑ.”

මේ වන විට මේ රටේ රෝහල් 80% ක විතර මුල් පුටුවේ ඉන්නේ මගේ සමකාලීනයෝ. ඒ හුඟක් දෙනා මා කල ඔවුන් නොදැන සිටි වැඩ මේ ලිපි මගින් දැනගෙන මාව ධෛර්යමත් කළා. සමහර මිතුරන් අභිප්‍රේරණ දේශණ සඳහා මට ආරාධනා කළා. (සුළු පිරිසක් අපහාස උපහාස නොකලා නොවේ).

මා වැඩ කල හැම රෝහලකදීම මා කල පළමු කාර්යය වුනේ මට පෙර සිටි ප්‍රධානියාගේ ජායාරූපය කාර්යාලයේ එල්ලීමයි. එයින් මම දුන්නු පණිවිඩය වුනේ මේ තරම් දුරට එම ආයතනය ලැබූ ප්‍රගතියේ ගෞරවය අලුතෙන් ආ මට වඩා මගේ පුර්වගාමියාට හිමි විය යුතු බවයි. (මා විසින් මොන ප්‍රාතිහාර්ය සිදු කලත් මට පෙර සිටි අය කිසිවක් නොකළා යැයි කිසිවෙකු නොසිතිය යුතු බවයි)

මා විසින් ලියු බොහෝ ප්‍රජා මූලික ව්‍යාපෘති ලක්ෂ 10 ට වඩා ඇස්තමේන්තු කර තිබුණු ඒවා. ධර්මද්වීපයේ උන්දැලාගේ කෙරුවාව දන්න නිසා මේ සෑම ව්‍යාපෘතියකම ප්‍රොජෙක්ට් ෆයිල් එකක් හදලා අදාල රෝහලේ ප්ලෑනින් යුනිට් එකේ තිබ්බා. මම ආවට පස්සේ ඒවා අතුරුදන් විය හැකි නිසා පොටෝ කොපිය මා ළඟ තියා ගත්තා. මේවා අධ්‍යනය කරනවා තබා ලියන එකටත් ඇලජික් එවුන් ඉන්න බව මම දන්නවා.(කීර්තිමත් ලයනල් ප්‍රනාන්දු මහතා ඇතුළු නිර්මාණශීලී පරිපාලකයන් හොඳ සංනිවේදකයන් මෙන්ම ලේඛකයන්) එහෙව් රටේ මගේ ලිවීමේ නිදහසටත් සමහරු වෛර කරනවා.  ප්‍රජා සහභාගීත්වය 75% ක් පමණ ඇති මේ ව්‍යාපෘති අමතක කර හැම දේම ආණ්ඩුවේ කොන්ත්‍රාත් කාරයන්ට භාර දුන්නු අපි ණය ගෙවාගන්න බැරියෝ කියලා ලතෝනි දෙද්දීත් ටීම් වර්ක් ආකල්පයට යන්න බහුතරයක් හරිම ලැජ්ජයි. “අයියෝ සල්ලි” (එදා දවසේ මහ පාරේ ඇක්සිඩන්ට් වෙලා මැරිච්ච ගාන බ්‍රේකින් නිව්ස් වෙච්ච රටක මේවත් නිව්ස් ද ? නේද මල්ලි ?)

මම තාම ලිව්වේ මගේ අත්දැකීම් වලින් 10% යි. අවුරුදු 16 ක් තුල රෝහල් 08 ක පරිපාලනයට සම්බධ වූ මට මේ පරිපාලන දොස්තර මල්ලිව මුලිච්චි වෙලා නෑ. එයා තාම පලවෙනි පුටුවේ වාඩි වුණා විතරයි මයේ හිතේ.  

මොනවා වුනත් මේ දෙන්නම අපේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් බිහිවුන ප්‍රාමාණික උගතුන් දෙපලක්නේ. මම ඔවුන් දෙදෙනාගේම අදහස් වලට ගරු කරනවා.

මගේ ලියවිල්ලට  දිනපතා පුවත්පත් කියවන තරමට මේ රටේ  දහස් ගණනක් ඇබ්බැහි වෙලා කිව්වොත් ඒක අතිශෝක්තියක් නෙවෙයිනේ. මේ බහුතරයක් අපේ රටේ යෞවන යෞවනියන් ඒ වගේම දෙස් විදෙස් උගතුන් හා සාමාන්‍ය ජනතාව. තමුන්නාසේලා එක්කෝ ලියන්න තරම් දෙයක් කොරලා නෑ. එහෙම නැත්නම් කොරපු ඩි න්ගිත්තවත් ලියා ගන්න තේරෙන්නේ නෑ. ඒකට ඉතින් මං මක් කොරන්නද?

ඉතින් මට කියන්න මගේ ඉතිරි අත්දැකීම් 90% බෙදා හදා ගැනීමේදී මම වඩා සැලකිල්ලට ගත යුත්තේ මේ දෙදෙනාගෙන්  කවර වෘතිකයා කියන දේද?
(බහුතර අදහස් විමසීමට විවෘතයි- ඊර්ෂ්‍යාව, වෛරය ,ක්‍රෝධය නැති සමාජයක් ප්‍රාර්ථනා කරමු)


Tuesday, January 24, 2017

මැට්ටා මෙඩිකල් කොලේජ් ගිය කථාව 01 ( THE TURNING POINT )

හතේ  පන්තිය වන විට වත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි මා හට ගණිතය විෂය ඉගැන්වීමට පන්තියට මෙන්ම අහල ගම් හතක ගණිත ගුරුවරයෙකු සිටියේ නැත. ගණිතය කාලපරිච්චේදයේදී  ෆුල් ජොලියේ කාලය කා දැම්මේ නොදන්නා ගණිතය ඉගෙන ගැනීමද මහා වධයක් වූ බැවිණි.
පුරා වසරක් ගණිතය එක ඉලක්කමක්වත් හදාරන්නේ නැතිව පන්තියේ පළවෙනියා ලෙස අවසාන වාර විභාගයේදී සහතිකය ලබා ගන්නා මගේ ඊළඟ පාසැල වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ කීර්තිමත් මධ්‍ය මහා විද්‍යාලයක් වූ ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයයි.

අටේ පන්ති පහ අතරින් “ 8 ඊ” පන්තියේ මා සමග සිටි සියලු දෙනා පහේ ශිෂ්‍යත්වය අසමත් වී මගදී විවිධ හේතු මත පාසැලට ඇතුළු වූවන්ය. ඉබ්බෝ දියේ දැම්මාම ඇන්නාවේ කියුවාක් මෙන් ගණන් වලට අකමැති බහුතරයක් වූ අපට මේ අවුරුද්දේ පත් කර තිබු ගණිත ගුරුවරියද  ප්‍රසුත නිවාඩු ලබා සිටියාය. වැඩිපුරම ගම්පහ මේඛලා චිත්‍රපටි හෝල් එකේ ගෙදරට හොරෙන් චිත්‍රපටි බලපු එවුන් හිටියේ මේ පන්තියේ බැවින් පෙරදින බැලු චිත්‍රපටි කතා නැවත විකාශය වුයේ ටීචර් නැති ගණිත පීරියඩ් එකේදීය.

කාල් ලුවිස් ගේ ක්‍රමයට අනෙක් සෑම විෂයකටම ලකුණු 90 න් ඉහල ප්‍රමාණයක් ලබා ගනිමින් BIG LEAD එකක් ගන්නා මා වසර අවසානයේදී පන්තියේ පළමුවැනියා වෙන්නේ ගණිතයට ලකුණු 04 ක් පමණක් හිමි කර ගනිමිනි. ගණිතයට  ලකුණු 04  ක් ලබා ගැනීම පන්තියේ පළමුවැනියාට මදි කමක් බැවින් මම ගෙදර යන්නේ ලකුණු හතරේ බින්දුවට පුංචි ඉරි කෑල්ලක් යොදා එය ලකුණු 94 ලෙස සංශෝධනය කර ගනිමිනි.
මාගේ අධ්‍යාපනික උන්නතිය ගැන නිතර අවධානයෙන් පසු වන මගේ අම්මා අපේ ගෙදර සහෝදරියන් සිව් දෙනාගේ සහ මගේ ප්‍රගති වාර්තා  “චෙක් කිරීම” සාමාන්‍ය සිරිතයි. හෑන්ඩ් ලූම්, පවර් ලූම්, ගුරුවරියක් හා මෝස්‌තර සම්පාදිකාවක වූ මගේ මව රිපෝට් කාඩ් එක හොදින් කියවා බලා දකුණු කන මිරිකා මට හොඳ පොල් ටොක්කක් ඇන්න විටයි මට කල්පනාවට ආවේ, 04 රේ බින්දුවට  ඉරක් ගසා 94 කලාට TOTAL එක වෙනස් කරන්න අමතක වුණ බව.

“මම දන්නවා ඔයා ගණිතයට දුර්වල බව. ඔයාගේ අනිත් ලකුණු කිසි දෙයක් ගැන මගේ සැකයක් නෑ. හැබැයි ඔයාට ලකුණු 94 ක් ලැබෙන්න විදිහක් නෑ කොහෙත්ම” අපි ගණිතයට ටියුෂන් පන්තියකට යමු.
එතෙක් ජීවිතයට ටියුෂන් පන්තියකට ගොස් අත්දැකීමක් නැති මාව ගණිතය විෂය සඳහා ටියුෂන් පන්තියකට යැවීමට අම්මා තීරණය කළාය. ටියුෂන් පන්තියක් සඳහා යාමට සිදුවුනේ ගනේමුල්ලේ සිට බටුවත්තටය. මේ සඳහා තාත්තාගේ හම්බර් බයිසිකලයෙන් රේල් පාරේ පටු තීරුව දිගේ ටියුෂන් පන්ති යාමේ අවදානම් සහිත දින චරියාවට ආරම්භ කලෙමි.


මැට්ටා මෙඩිකල් කොලේජ් ගිය කථාව - (2)

රේල් පාරට සමාන්තරව මිනිසුන් පයින් ගමන් කිරීම නිසා තණකොළ ගොල්ලේ නිර්මාණය වූ පටු අඩි පාරේ බයිසිකලයේ නොවැටී යාම එකළ මට එතරම් දුෂ්කර කටයුත්තක් නොවීය. වඩාත්ම දුෂ්කර කටයුත්ත වුයේ රේල් පාරේ තැනින් තැන ඇති යකඩ පාලම් මතින්  බයිසිකලය පැද යාමයි. මේ ස්ථාන වල මිනිසුන්ට ගමන් කිරීමට අවසර නොමැති බැවින් බොහෝ තැන් වල ඇත්තේ අඩියක් පමණ පළල යකඩ තීරුවකි.
මාසයක් පමණ මේ සංගිලි පාලම් උඩින් කිසිදු උපද්‍රවයකින් තොරව ගනේමුල්ලේ සිට බටුවත්තට රේල් පාර අයිනේ පටු පාර දිගේ බයිසිකලයෙන්  තරණය කලත් එක දිනක් හදිසියේ සමබරතාවය ගිලිහී ගොස් එක් පාලමක් උඩින් බයිසිකලයත් සමග ඇලට පෙරලීමට ගොස් බයිසිකලය ඇලට අතහැර රේල් පාරට බල්ටියක් ගසා ගැනීමට මට හැකිවුයේ ඒ කාලයේ මට තිබු කෙසඟ සිරුරට පින් සිදු වෙන්නටය. පේන තෙක් මානයේ කිසිවෙකු ලඟපාත නොවුයෙන් බඩවැටිය දිගේ පහලට ඇවිද ගොස් දොළ පාරට බැස බයිසිකලය ගොඩගෙන කිසිවක් නොවූ ගානට බටුවත්තේ ගණන් පන්තියට ගියෙමි.
මේ ටියුෂන් පන්තිය මට ගැලපෙන එකක් නොවන බව මට වැටහුනේ මාස දෙකකකට පමණ පසුවය. එහි ඉගැන්වූ ගුරුවරයා තනියෙම කළුලෑල්ලට ගණන් ඉගැන්වූ නිසා මට කිසිවක් තේරුම් ගත නොහැකි විය. බටුවත්ත ප්‍රදේශයේ සිටි ආනන්ද,නාලන්ද ,රෝයල් ,විශාකා ආදී විද්‍යාල වලට ගිය සිසුන් බොහොමයක් මේ පන්තියේ සිටි අතර ඔවුන්ට ගුරුවරයා උගන්වන දේ තේරුම් ගැනීමට අපහසු බවක් නොපෙනුණි. මේ පන්තියේ සිටි උඩඟු කොල්ලන් අන්දමන්දව සිටි මට “මැට්ටා” කියා  උසුළු විසුළු කරන්නට වීම පන්තිය අත්හැර දැමීමට තවත් එක් හේතුවක් විය. (මේ වැඩ්ඩන් කිසිවෙකුත් මට වෛද්‍ය විද්‍යාලයේදී හමු නොවිණි)

ගණිතය නමැති පාලම කඩා වැටුනොත් අධ්‍යාපනයේ සමස්ථ ගමනම අතරමග ඇනහිටින අවදානම ගැන මනාව වටහාගෙන සිටි මා එළැබෙන සෑම තත්පරයකදීම මාගේ ගණිත විෂයේ ගැලවුම්කරුවා සෙවීම නතර නොකලෙමි. ගනේමුල්ල ප්‍රදේශයේ ටියුෂන් පන්තියක විශ්‍රාමලත් ගුරු උපදේශක වරයෙකු වතුර වගේ ගණන් උගන්වන බව මේ අතර මට ආරංචි විය. මේ අපුරු ගුරුවරයා ඇදහිය යුතු වෙනම පරිච්ජේ දයකි.
ඩු ඕ ඩයි -DO OR DIE- (මැට්ටා මෙඩිකල් කොලේජ් ගිය කතාව -4 )


සාමාන්‍යයෙන් සෙනග රැස් වන්නේ ජයග්‍රාහකයින් වටා ය. පරාජිතයන් හුදකලා වේ. විකල්පය කෝච්චියට පැනීම නොව තමාද ජයග්‍රාහකයෙකු වීමයි.  පරාජය සමග හුදකලා වූ මා තවත් දින තුන්සිය හැටපස් දවසක් ඇවෑමෙන් ජයග්‍රාහකයෙකු ලෙස මතුවන අයුරු කල්පනා කළා මිස වටේ ඉන්න අයගේ ගුණදොස් විචාර පිළිබඳව සැලකිල්ලක් නොදැක්වුයෙමි. මේ අතර එතෙක් කල් පාසැල් යාමට මට තිබු එකම වාහනය වූ පා පැදිය සොරකම් කරන ලද අතර සාමාන්‍ය ගමන් බිමන් පයින්ම යාමට පුරුදු වුනෙමි.

මගේ නිවස අසල  ගණිත අංශයෙන් උසස් පෙළ ලියා විෂයන් 3ක් පමණක් සමත් වූ මිතුරෙක් විය. ඔහුද ඊළග වතාවේ නැවත විභාගය ලිවීමට සුදානම් වෙමින් සිටියේය. ගණිත අංශයේ විෂයන් දෙකම අහේතුවකට අසමත් වුවත් ඔහු හොඳ ගණන් කාරයෙක් බව මා දැන සිටියෙමි. මා  මෙන් නොව ඔහු පළමු වර සියලුම විෂයන් සදහා ටියුෂන් පන්ති වලට සහභාගී වුයේය. මේ නිසා සියලු සටහන් හා නිබන්ධන ඔහු සතු විය.

මේ මිතුරාගේ නිවසට දිනපතා යාම පුරුද්දක් කර ගත් මා ඔහුගේ රසායන විද්‍යාව සටහන් කියවා අලුතෙන් සටහන් නිර්මාණය කරගෙන පරණ ප්‍රශ්ණ පත්‍ර වලට පිළිතුරු ලිවීම පුහුණු වුනෙමි. කැලේ කොලේ කරක් ගසා තිබුණු මට උද්භිද විද්‍යාව තනිවම ඉගෙන ගැනීම එතරම් අපහසු වුයේ නැත. ජීව විද්‍යාවද  තනියෙම පොත් කියවා නැවත ඉගෙන ගත්තෙමි. භෞතික විද්‍යාව මේ ක්‍රමයට හැදෑරීමට තරම් මා හට මුලික දැනීමක් නොවීය.
මේ අතර නුගේගොඩ රේල්වේ ඇවනියු හි මොහාන් ලාල් ග්‍රේරෝ මහතාගේ එක් වසරක කඩිනම් භෞතික විද්‍යාව පාඨමාලාවක් ආරම්භ කරන බව ආරංචි වී ඒ පන්තිය සඳහා සහභාගී වීමට තීරණය කලෙමි. මේ පන්තියේ දී එක සතියකදී ගණන් 200 ක් සහිත පොතක්ම ලැබෙන අතර සෙනසුරාදා දිනයේ මෙම පන්තියට සහභාගී වන මම ඊළඟ දවස් හතේම තටම තටමා මුළු ගණන් පොතම හදන්නේ මගේ ගණන්කාර මිත්‍රයාට පින් සිදු වන්නටය. (දැන්නම් පැයට රුපියල් 6000 ක් වත් අය කරනු ඇත)

ජංගම දුරකථන හෝ ස්ථාවර දුරකථන කිසිවක් නොවූ මේ වකවානුවේ මා ගත කල ඇඩ්‍රස් නැති ජීවිතය කාලය කළමනාකරණය සඳහා විශාල ආශිර්වාදයක් වුයේ අනවශ්‍ය සබඳතා කිසිවක් නොවූ බැවිණි. උවමනාවට වඩා මුදල් හදල් නොමැති වූ බැවින් ගුරුවරුන් හූනියම් පෙට්ටිය ලෙස හැදින්වූ රුපවාහිනි යන්ත්‍රයක් ද නිවසේ නොතිබුණි. ඇති තරම්  කාලය තිබු බැවින් වතුර බේසම් වල කකුල් ඔබා ගෙන නිදි මරමින් පාඩම් කරන්නට සිදු වුයේ නැති අතර දිනපතාම රාත්‍රී 11 වන විට නින්දට ගොස් උදෑසන 6 වෙනතුරු හොඳට නිදා ගත්තෙමි. උදෑසන 7 ට පමණ අධ්‍යාපන කටයුතු පටන්ගෙන සවස 4 වෙන තුරු එක දිගට එම කටයුත්තේ යෙදීමෙන් අනතුරුව පරණ පුරුද්ද අත්හැර ගැනීමට නොහැකිව කමතේ සහ වෙලේ බෝල ගැසීම නම් නතර කලේ නැත.


ගණන්කාර මිතුරාගේ ගෙදර ඔහුගේ සටහන් භාවිතා කරමින් රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාව හැදෑරූ අතර සත්ව විද්‍යාව සහ උද්භිද විද්‍යාව නිවසේදී තනිවම වනපොත් කලෙමි.

ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි අරගලය ලියලමින් තිබුන අතර මා ඉතා අප්‍රසිද්ධ ජීවිතයක් ගතකරමින් සිටි බැවින් කාගේවත් අවධානයට යොමු නොවීම විශාල වාසියක් විය. මේ වන විට අප පදිංචිව සිටියේ ගනේමුල්ල ප්‍රදේශයේ කුලී නිවසක වූ බැවින් අසල්වැසියන්ටද මා පිලිබඳ සොයා බැලීමට උනන්දුවක් නොවීය.
කුලී නිවසට නල ජලය නොවුයෙන් ඇලුමිනියම් කලේ උරහිස මත තබා ගෙන නිවසට අවශ්‍ය පානීය ජලය කිලෝමීටර් භාගයක් පමණ දුර සිට නිවසට ගෙනැවිත් ප්ලාස්ටික් භාජන වලට පුරවා සහෝදරියන් සිව් දෙනාට උදව් කිරීම මගේ දෛනික රාජකාරියක් විය. මීට අමතරව තාත්තා විසින් ළඟ පාත තැනක අඳ ගොවි ක්‍රමයට වගා කල කුඹුරේ තාත්තා සමග කුඹුරු කෙටීම, සහෝදරියන් සිව් දෙනා සමග එක්ව ගොයම් කැපීම සහ ගොයම් මිටි කමතට ඇදීමට සහයෝගය දැක්වීම ද සාමාන්‍ය කටයුත්තකි. ගෑස් ලිප් නොතිබුණු අපේ ගෙදර ලාබදායි ලී කුඩු ලිපට ගනේමුල්ලේ පිහිටි ලී මෝල් වල සිට ගෝනි වල පටවා ලී කුඩු ගෙන ඒමද මා විසින් කරන ලද රාජකාරියකි. බොරු සෝබන ලජ්ජාවෙන් තොරව අප ගත කල මේ උත්සාහවන්ත ජීවිතය නිසා අපේ පවුල ණයත් නැතිව බයත් නැතිව ජීවත් විය.

ඕවිටක් අද්දර තිබු නිතරම උතුරා යමින් තිබු ළිඳකින් බාල්දියෙන් ගණන්කර දිනපතා නා ගන්නා මම සුදු කමිස දෙකේ පඩු පැහැය සැඟවීමට රොබින් නිල් යෙදීම මනා ලෙස ප්‍රගුණ කර තිබුණි. මේ කිසිවක් දුප්පත් කම නොවූ අතර මේ යුගයේ මධ්‍යම පාන්තික දරුවෙකුගේ අල්පේච්ච සරළ ජීවන රටාව විය.
දැනුම්  තේරුම් ගිය දින සිට අප කිසිදාක අපේ ඇඳුම් පැළඳුම් දෙමව්පියන් ලවා සෝදවා  ගත්තේ නැත. ගෙවල් දොරවල්  අස්පස් කිරීමේ සිට දර පැලීම දක්වා සියලු කටයුතු කිසිඳු පැකිලීමකින් තොරව ඉටු කලෙමි. සහෝදරියන් සිව් දෙනා හා මා අතර බරපතල මතභේද කිසිදා ඇති නොවූ අතර පොඩි එකා ලොකු එකාට ගරු කිරීම තාත්තා  විසින් ස්ථාපිත කරන ලද නීතියකි.  අදටත් බලන්ගොඩ පිහිටි අපේ  මහ ගෙදර කිසිවෙකුගේ නමින් ලියවාගෙන නැති අතර තාමත් එය අප සියලු දෙනාටම අයිති පොදු නිවහනකි.

සාමාන්‍ය පෙළ ඉතා උසස් ලෙස සමත්වන බොහෝ සිසුන් කරන වැරද්දක් නම් තමා පිළිබඳ ඇති කර ගන්නා අධිතක්සේරුව මත උසස්පෙළ ඉබේම සමත් වෙතැයි සිතා අතරමැද උත්සාහයකින් උසස්පෙළ විභාගයට මුහුණ දීමයි. ප්‍රතිඵලය වන්නේ අතරමැද ප්‍රතිඵලයක් ලබා සරසවි වරම් අහිමි වීමයි.  
අනෙක් අයට සාපේක්ෂව මගේ තැන බින්දුව යැයි සිතා ගෙන උපරිම ජවයෙන් දින 365 තුලම විභාගයට සුදානම් වීම මගේ ක්‍රමය විය. සටන ඉවර වෙන්නේ අන්තිම ප්‍රශ්ණ පත්‍රයේ අන්තිම තත්පරයේදීය. එසේ නොමැතිව අතිශයින් තරඟකාරී විභාගයක පළමු පොකුරේ සාමාජිකයෙකු ලෙස තරඟය නිම කල නොහැකිය.  
මාත් මගේ ගණන්කාර මිතුරාත් සැලසුම් සහගතව දියත් කල අධ්‍යාපන සංග්‍රාමය අවසන් වුයේ ඔහු මොරටුව ඉංජිනේරු පීඨයටත් මා කොළඹ වෛද්‍ය පීඨයටත් සමත්වීමෙනි.



   
සුපිරි ගුරුවරු-  (මැට්ටා මෙඩිකල් කොලේජ් ගිය කථාව -  3   )

ඒ කාලේ පාසැලකට ගුරු පත්වීමක් ලබා ගැනීමට  පෙර මහරගම ගුරු අභ්‍යාස විද්‍යාලයේදී ඉගැන්වීම පිළිබඳව පුහුණුවකට යටත් විය යුතුය. පසු කලෙකදී විශ්ව විද්‍යාල සමතුන්ට රැකියා සැපයීමේ ඇබෑර්තු මධ්‍යස්ථාන ලෙස පාසැල් යොදා ගැනීම නිසා ගුණාත්මක බවින් යුතු ගුරුවරුන්  බිහිවීමේ අවස්ථාව මග හැරී ගිය බව මගේ පෞද්ගලික මතයයි.
තමන්ගේ දේශනයට ශ්‍රාවකයන් සියල්ල නතු කර ගැනීමට උපන් හැකියාව මෙන්ම පුහුණුවද අවශ්‍ය වේ. වෛද්‍ය පරිපාලනය පිලිබඳ ශාස්ත්‍රපති උපාධිය හදාරන අවධියේ මෙවැනි අභ්‍යාසයක් ලබා දී එය වීඩියෝ කර නැවත අපට පෙන්වා අපේ මොට්ට වැඩ අපිටම නැවත පෙන්වා අඩු පාඩු සකස් කරන වැඩමුළු වලට සහභාගී වීමේ අවස්තාව මට ලැබුණි. අපේ පාසැල් ගුරුවරුන් කීයෙන් කී දෙනාටද මෙවැනි පුහුණුවක් ලැබෙන්නේ?
මගේ ජීවිත ඉරණම වෙනස් කල ජයසුරිය මහතා මේ සියලු අංගයන්ගෙන් පරිපුර්ණ වූ උතුම් මානුෂික ගුණාංග වලින් හෙබි ගුරු භවතෙකි. ගනේමුල්ල ප්‍රදේශයේ පැවති ටියුෂන් පන්තියක දී මට හමුවූ මේ අපුරු ගුරුවරයා ඒ වනවිට ගුරු උපදේශකයෙකුද විය. ළමුන් 60 ක් පමණ සිටි මේ පන්තියේ සෑම ළමයෙකු ළඟටම යන ඔහු ගැටලුවකට මැදිවී සිටින ඕනෑම ළමයෙකු කෙරෙහි තම පෞද්ගලික අවධාණය යොමු කරයි. කෑ කෝ ගහන සිසුන් ගැන නොතකන  ඔහු එවැනි සිසුන්ට දෙන දඬුවම ඔවුන් වෙත නොයා සිටීමයි. මේ බ්‍රහ්ම දණ්ඩ ක්‍රමය නිසා කෑ ගහන එවුන්ද ඉබේ දමනය වෙයි. ඕනෑම ගැටළුවක් ඔහු විසදන්නේ “අයියෝ සුළු දෙයක් නේ හරි ලේසිනෙ” කියමිනි. ළමයින් 60 දෙනාම ගණන් 60 ක් බෑ කිව්වොත් ගණන් 60 ම කළු ලෑල්ලේ හදා පෙන්වීමට ඔහු මැලි කමක් නොදක්වයි. කිසි විටෙක ඔහු ළමුන්ට පිටු පා කළු ලෑල්ල වසාගෙන ගණන් හදන්නේ නැත.
මේ අපුරු ගුරුවරයා සමග වැඩි ඇඳුනුම් කමක් ඇගෑලුම් කමක් නැතත් ඔහු කෙරෙහි වූ දැඩි ආදරයකින් හා විශ්වාශයකින් යුතුව මේ ගණිත පන්තියට නොවරදවා සහභාගී වුයෙමි. මට මේ ගුරුවරයා හමු වන විට සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉතිරිව තිබුනේ පාසැල් වාර දෙකක් පමණි. මේ නිසා මට කාලය කලමනාකරණය කර ගැනීමට මහත් සටනක් කිරීමට සිදුවිය. වසර කිහිපයක් ගණිතය මග හැරී තිබු නිසා හයේ පන්තියේ සිට දහයේ පන්තිය දක්වා පොත් වල අභ්‍යාස හැදෑරීමට සිදුවූ අතර එතෙක් පවත්වා තිබු විභාග සියල්ලේ ප්‍රශ්ණ පත්‍ර කටපාඩම් වෙනතුරු නැවත නැවත අභ්‍යාස කෙරුවෙමි. මේ සියල්ලේ හිර වෙන තැන් ලකුණු කරගෙන ජයසුරිය සර් ලඟට ගෙන ගොස් විසඳා ගැනීමට හැකි හැම විටම උත්සාහ කෙරුවෙමි. (ළමුන් 60 ක් අතරින් ඔහුව අල්ලා ගැනීම එතරම් පහසු වූයේ නැත).
මගේ දැඩි උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස දෙවන වාර විභාගයේදී ගණිතයට ලකුණු 45 ක් ලැබුණු අතර අවසාන වාර විභාගයේදී ලකුණු 54 ක් ලැබුණි. දැන්නම් ගණිතය අසමත් වීමේ අවදානමක් නොමැති යැයි දැඩි විශ්වාශයෙන් යුතුව එවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන්නෙමි. විභාගයේදී ද ගණිත ප්‍රශ්න පත්‍රයට මුහුණ දීමේදී  එතරම් ගැටළුවක් ඇති නොවිණි.
සාමාන්‍ය පෙළ විභාගය නිම වී දින කිහිපයක් ගතවිණි. එක දිනක රාත්‍රී 8 රුපවාහිනි ප්‍රවෘති වලින් කියවුනේ එම වසරේ ගණිත ප්‍රශ්න පත්‍රය එක්තරා ටියුෂන් පන්තියක ගුරුවරයෙකු විසින් කලින් පිටකර ඇති බැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි ගණිත විභාගය අවලංගු කරන බවත් REPEAT විභාගය පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙන බවත්ය. “අපි නැග්ගොත් ඉතිං පුවක් ගහෙත් දෙබලක්” කිව්වලු. ඊට පස්සේ වෙච්ච දේ කියන්න “මතු සම්බන්ධයි” නොකියා වෙන මොනවා කියන්නද?

සාමාන්‍ය පෙළ ගණිත විභාගය අවලංගු වී නැවත විභාගයක් පැවැත්වීම එකම ඉනිමේ දෙවරක් ක්‍රීඩා කිරීමට ලැබුනාක් වැනි සුපිරි චාන්ස් එකකි. මම වගේ පිදුරු ගහෙත් එල්ලෙන එකෙකුට එය දෙකේ දෙකේ කඹයකි. විය යුතු පරිද්දෙන්ම ගණිතයට සම්මානයක් සහිතව සාමාන්‍ය පෙළ සමත් වීමට මට හැකියාව ලැබුණි.
උසස්පෙළ ජීව විද්‍යාව හදාරමින් සිටි ජ්‍යෙෂ්ඨ සිසුන් ඉතා විශාල පොත් උස්සාගෙන යනු දුටු විට මට ගණිත අංශයෙන් උසස් පෙළ හැදෑරීම හොඳ යැයි සිතුනි. දවස් දෙකක් ගණිත අංශයේ පන්තියක වාඩි වී සිටියෙමි.
“ඔයා දැන් ඒ ලෙවල් වලට මොනවද කරන්නේ?” අම්මා මගෙන් ඇසුවාය. “මම මැත්ස් පන්තියට ගියා”.කිසිවක් කථා නොකල අම්මා කොටු රූල් කොලයක් මගේ ඇත තැබුවාය. “මේ දරුවා විද්‍යා අංශයෙන් උසස් අධ්‍යාපනය හැදෑරීම ඉතා සුදුසුයි. ඔහුට ඉතා ඉහල ජයග්‍රහණයක් ලැබෙනු ඇත”. කැලණිය විහාරයේ වැඩ සිටි ජ්‍යොතිෂය කටයුතු පිලිබඳ සුප්‍රසිද්ධ හිමිනමකගේ අත්සන පහලින් යොදා තිබුණි.
පසුවදාම මම ජීවා විද්‍යා පන්තියේ වාඩි වුනෙමි.
උසස් අධ්‍යාපනයට සියලු පහසුකම් සහිත ඉතා  හොඳ ප්‍රදේශයක් වූ ගම්පහ නගරයේ සියලු විෂයන් සඳහා අති දක්ෂ ටියුෂන් ගුරුවරු සිටියත් ටියුෂන් පන්ති යාම සඳහා මවගෙන් මුදල් ඉල්ලීමට මගේ හිත දුන්නේ නැත. දරුවන් පස් දෙනෙකුගෙන් යුත් මගේ පවුලේ සියලු සාමාජිකයන්ට බෙදී යන දෙමව්පියන්ගේ ආදායම මට විතරක් වියදම් කලොත් අනිත් අයට යන කල කුමක්ද? එසේ සිතු මා විකල්ප ක්‍රමයක් කල්පනා කලෙමි. ( මෙය සොරකමක් හෝ වංචාවක් ලෙස නොසිතන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. සියලු සැප සම්පත් 


මව්පියන්ගෙන් ලබා ගෙන ජීවිතය අයාලේ යවන පොඩි එවුන්ට පාඩමකට හොඳ බැව් සිතෙන නිසා ලියමි)
ගම්පහ ගල් පල්ලිය පාරේ අයි. එස්. එම්. ආයතනයේ ටියුෂන් පන්තියේ ළමුන් දහස් ගානක් වුහ. එක විෂයකට රුපියල් 60 ක් අය කෙරුණි. රුපියල් හැටක් අතේ නොතිබූ මා හට ටියුෂන් පන්තියේ කාඩ් එක මිළ දී ගත නොහැකි වූ අතර කිසිඳු නිබන්ධනයක්ද නොලැබුණි. කාඩ් එක නොමැති මා පිටුපස කෙටි බිත්තියෙන් පැන පන්තියේ අන්තිම බංකුවේ වාඩිවී අනවසරයෙන් අධ්‍යාපනය ලැබුවෙමි. පන්තියේ සූ ගාලා සෙනග සිටි බැවින් මා වැන්නන් ගැන සොයා බැලීමට ගුරුවරයාට හෝ පන්තියේ හෝල් අයිතිකාරයාට ඉඩ කඩක් නොවීය. ගෙදරින් මුදල් නොඉල්ලා මගේ සහෝදරියන් වෙනුවෙන් මා කල මෙම කැප කිරීම මගේ දෙමව්පියන් දැන සිටියේ නැත. අම්මා මේ බව දැන සිටියානම් කෙසේ හෝ මුදල් සොයා දෙන්නටද ඉඩ තිබුණි. එහෙත් හොඳින් ඉගෙන ගන්නා සහෝදරියන් සිව් දෙනා ගේ දියුණුව දැක සියලු හිත් වේදනා අමතක කර මගේ ඉලාක්කය හඹා ගියෙමි.

කිසිඳු මුද්‍රිත නිබන්දනයක් නොලැබුන නිසා මා ළඟ සිටි ළමුන්ගේ නිබන්ධනය දෙස බලාගෙන ඒවා අතින් පිටපත් කර ගැනීමට මා පුරුදු වුනෙමි. මේ ක්‍රමය නිසා ඇතැම් විෂය කරුණු නිබන්ධනය අයිතිකරුවාට වඩා හොඳින් මගේ හිතේ  ධාරණය විය. ෆොටෝ කොපි ක්‍රමය සුලභ නොවූ මේ වකවානුවේ මේ හැර වෙන විකල්පයක් නොවීය.


ජීව විද්‍යා පන්තියේදී ද පරණ අකරතැබ්බය මා පසුපස හඹා ආවේය. සෑම වාර විභාගයකදීම භෞතික විද්‍යාවට  ලකුණු 10 කට වඩා ලබා ගත නොහැකි විය. ඒ අස්සේ පාසලේ ප්‍රධාන ශිෂ්‍යනායකයා ලෙස බරපතල වගකීමක් ද ලැබුණි. කුඩා කල ගණිත විෂයට සිදු වූවාක් මෙන්ම උසස්පෙළ  භෞතික විද්‍යාව විෂයටද මා හට සුදුසු ගුරුවරයෙක් හමු නොවීය. අදටත් මගේ ජනප්‍රියම භෞතික විද්‍යාව ආචාර්ය වරයා වූ මොහාන් ලාල් ග්‍රේරෝ මහතා එකල ගම්පහ ප්‍රදේශයේ ඉගැන්වුවත් එම පන්තියට මුල සිටම සහභාගී වීමට මා අත මුදල් තිබුනේ නැත. තාප්පයෙන් පනින ක්‍රමය ඔහුගේ පන්තියේදී කල නොහැකි විය.
පළමුවර උසස්පෙළ විභාගයේදී මා බලාපොරොත්තු වූ පරිදිම භෞතික විද්‍යාව සමත්විය නොහැකි විය. තැවීම දුක් වීම පලක් නොවන දෙයකි. ළිඳේ වැටුණු එකා ළිං කටෙන්ම ගොඩවීමේ  න්‍යායට අනුව ඊළඟ මෙහෙයුම ආරම්භ කලෙමි.
මතු සම්බන්ධයි (පාසැල් නොයා ටියුෂන් නොයා මෙඩිකල් කොලේජ් ගිය හැටි ඊළඟට කියවන්න --ජීවිත පාඩම දැනගන්න -ඉවසීම පුරුදු කරන්න) 


Monday, December 26, 2016

මාරක මල - 2
“මේ ලෙඩා මෙහෙ මැනේජ් කරන්න බෑ. ලෙඩාව අවිස්සාවේල්ලට මේ විදිහටම ගෙනියන්න ඕනේ. හැබැයි අවිස්සාවේල්ලට යනකම් ලෙඩාව මගේ අතින් කාටවත් දෙන්නේ නෑ. ජිනදාස(උපස්ථායක) උඹට පේනවනේ, මගේ අත් දෙකම නිදහස් නෑ. මට උදව් කරපන්. මම කියන දේ විතරක් කරපන්. අනම් මනම් කතා කරලා මාව තරහ ගස්සන්න එපා”.
“අනිත් දොස්තර මහත්තයා ඩියුටි එන්න ඉස්සෙල්ලා ඉස්පිරිතාලේ දාලා අවිස්සාවේල්ලේ ගියහම සර්ගේ රස්සාව?”.
“ජිනදාස මම කියන දේ කරපන්. දැන් ඉක්මනට ගිහින් බලපන් ඇම්බියුලන්ස් එකයි පාලිතයයි ඉන්නවද කියලා. නඩු කියලා හරි මම මගේ රස්සාව බේර ගන්නම්. අපි ඉස්සෙල්ලා පොඩි එකා බේර ගන්න ට්‍රයි කරමු.
“සර් බී.එච්. ටී. එක ලියන්නේ කවුද? බී.එච්. ටී. එක ලියන්න මගේ අත් දෙක නිදහස් කලොත් කොල්ලා මැරෙනවා. ඒ හින්දා බී.එච්. ටී. එක ලියන්න ඕනේ නෑ. ලෙඩාගේ විස්තරේ උඹ කොළ කෑල්ලක ලියලා මගේ මේසේ උඩින් තියලා වරෙන්. මම පස්සේ ඒක බැක් ඩේට් කරලා හෙට ලියන්නම්. දැන් මාව අල්ලාගෙන ගිහිල්ලා මේ විදිහටම ඇම්බියුලන්ස් එකට  නග්ගපන්.”
“සකුන්තලා ( සෞඛ්‍ය සේවිකාවකි) ඔයා අවිස්සාවේල්ල හොස්පිටල් එකට කෝල් එකක් දීලා කියන්න තව පැයකින් උගුරේ මලක් හිර වුන ළමයෙක් එනවා, තියටර් එක රෙඩි කරලා තියන්න කියලා”
“සර් අවිස්සාවේල්ල රෙඩි නැත්නම්? රෙඩි නැත්නම් මම කොළඹ යනවා. උඹට ඒ පණ්ඩිතකම් වැඩක් නෑ මම කියන දේ කරපන් කෙල්ලේ”
රස්සාවේ සුරක්ෂිත භාවය හෝ රෝහල අතහැර යාම පිළිබඳව මට වගේ වගක් නොවිණි. අමාරුම කාරිය වූ ඇම්බියුලන්ස් එක රෝහලේ තිබීමේ උද්දාමයෙන් රොබෝ ඉරියව්වෙන් ඇම්බියුලන්ස් එකේ රියැදුරාට පිටුපස අසුනේ වාඩි වුනෙමි.
“සර් දැන් වේගෙන් වංගු ගන්න කොට අල්ලගන්නේ කොහොමද?”
“පාලිත, උඹට තියෙන්නේ පෙරල ගන්නේ නැතිව පුළුවන් ඉක්මනින් මාව අවිස්සාවේල්ලට ගෙනියන එකයි. මා ගැන මම බලා ගන්නම්”
දැරණියගල සිට දෙහිඕවිට දක්වා අතිශය රළු වංගු සහිත මාර්ගයේ විනාඩි 45 ක් දරුවා දෑතින් රඳවාගෙන ඇම්බියුලන්ස් එක ඇතුලේ නොවැටී ගමන් කල හැකි බව මට තද බල විශ්වාශයක් විය. ඒක පුහුණු වුනේ මෙහෙමයි.
[ගනේමුල්ල දුම්රිය පොලේ සිට ගම්පහ දක්වා දුම්රියෙන් යන විට, දුම්රිය අධික ලෙස දෙපැත්තට වැනෙන යාගොඩ ප්‍රදේශයේදී ඔට්ටුවට දුම්රිය පෙට්ටියේ මැද පොල්ල අල්ලා ගන්නේ නැතිව නොවැටී ගමන් කිරීමට මට  ඇබ්බැහි කලෙත් නමින් පාලිත වූ මගේ පාසැල් මිතුරෙකි].
මම මෙහිදී එම ක්‍රමය අනුගමනය කලෙමි. කකුල් දෙක BROAD BASE එකක පවත්වා ගනිමින් වංගු වලදී සමබරතාවය පවත්වා ගන්නා අතර රළු මාර්ගය නිසා උඩ බිම විසිවීම ද බාගෙට සීට් එකේ වාඩි වී සිටීමෙන් හා ඩාන්සින් මෝඩ් එකෙන් විසඳා ගත්තෙමි. මනස පාලනය කිරීමට ඉතාම කරදරකාරී බවක් ගෙනාවේ සීට් එක පාමුල තම දරුවාගේ ජීවිතය බේරා දෙන ලෙස ඉල්ලා හඩන මවගේ විලාපයයි. කොරේ පිටට මරේ කියා හොඳටම හෙම්බත් වූ දරුවා පිට කල මළ මුත්‍රා වලින් මගේ සර්වාංගය නැහැවී ගියත් මගේ ඉරියව්වේ හෝ උත්සාහයේ කිසිඳු වෙනසක් කිරීමේ අවශ්‍යතාවයක් මට නොවිණි.

මාරක මල - 3
දැරණියගල මාර්ගයේ ගමන් දුෂ්කරතාවය එහි අත් දැකීම ඇත්තෙකුට මිස නිවැරදිව අවබෝධ කිරීම උගහටය. මුල සිටම මගේ දැඩි විශ්වාශය හා උත්සාහය  වුයේ අඬු යතුරු නැතිව මගේ ඇඟිල්ලෙන් අල්ලාගත් ප්ලාස්ටික් මල මගේ අතින්ම ඉවත්කර ගැනීමටයි. “BACK BLOWS, CHEST THRUSTS” න්‍යාය අසා තිබුනත් එය ක්‍රියාත්මක කිරීමට අල්ලාගත් මලේ GRIP එක අත හැරීමට මගේ හිතේ  කිසිම අදහසක් නොවිණි. මගේ ක්‍රියාදාමය “මහා මෝඩ වැඩක්” ලෙස කාට පෙනුනත් මට වඩාත් වැදගත් වුයේ මගේ අතේ තිබු AIR WAY CONTROL එක අත් නොහැර වඩා ආරක්‍ෂිත තැනකට දරුවා රැගෙන යාමයි. ඒ සඳහා මට උපරිම ලෙස ගෙවන්න වෙන්නේ තව විනාඩි 60 ක් පමණි.
රියදුරු පාලිත විටින් විට සර්ට අමාරුද? වේගේ අඩු කරන්නදැයිඅසමින් මා ගැන විමසිලිමත් වෙයි. ඔහුට උත්තර දෙනවා වෙනුවට ගැස්සෙන පැද්දෙන වාහනයේදීම මල එලියට ගැනීමේ කටයුත්ත කිසිවිටෙකත් අත් නොහරින ක්‍රියාවක යෙදෙමින් සිටියෙමි. දරුවාගේ දත් නැති උඩු හා යටි හනු අතරට දඬු අඬුවකට මෙන් සිරවී තිබු මගේ දබර ඇඟිල්ල වේදනාවක් නොදැනෙන තරමට හිරිවැටී තිබීම එක්තරා අන්දමකින් වාසියකි. GRIP එක LOSS වීමේ අවදානම අවාසියකි. දරුවා මරු විකල්ලෙන් දැඟලීම අසහනයකි.
(අයියෝ සිම්පල් වැඩක්නේ, පිට පැත්තට තුන් පාරයි ගහන්න ඕනැ කියලා හිතෙන අය ගොඩක් ඉන්න බව මම දන්නවා. ඒත් නලියන ලේන් පැටියෙක් වගේ දරුවෙක් බිම වැටෙන්නේ නැතිව දෑතේ රඳවා ගන්න පුරුදු වෙන්න ළමා වාට්ටුවේදී මට අවුරුදු දෙකක් ගියා. ඔන්න ඕකයි ප්‍රායෝගික තත්වය. තට්ටු කරන හැටි මම දන්නවා. ඒත් දරුවාගේ ජීවිතේට තට්ටු වෙන වැඩ අත්හදා බලන්න මට ඕනැ වුනේ නෑ)
  දැරණියගල මාර්ගයේ තක්කාලි වංගුවේදී වේගය පාලනය කරගත නොහැකි වූ ඇම්බියුලන්ස් එක දකුනු පැත්තට විසිවී ගියත් දක්ෂ රියදුරෙකු වූ පාලිත රථය පාලනය කර යලි මාර්ගයට ගැනීමට සමත් විය. මේ අනපේක්ෂිත JERK එකෙන් පොඩි එකාගේ පිට පැත්තට මගේ උදරයෙන් වැදුණු NATURAL BACK BLOW එකෙන් මල එලියට පැන්නේය. ඇතිවූ නිම්හිම් නැති ප්‍රීතියට මට උන් හිටි තැන් අමතක විය.
“පාලිත මල එලියට ආවා. ඇම්බියුලන්ස් එක ආපහු හරවපන්. දැන් මට ඩියුටි ඕෆ් වෙන්න පුළුවන්”. එසේ කියමින් මම දරුවාව එතෙක් මගේ පය පා මුල හඬමින් සිටි මවගේ අතට පෑවෙමි.
“මහත්තයාට බුදු බව අත්වෙනවා” කියමින් අම්මා දරුවාව දෝතින්ම තුරුළු කරගත්තාය.
“සර් මොකද කරන්නේ ආපහු හරවනවද, දිගටම යනවද?” ඇම්බියුලන්ස් එක පාර අයිනේ නතර කල පාලිත මගෙන් අසයි.
අධික තෙහෙට්ටුවත් ප්‍රීතියත් මුසුවූ හැගීමෙන් මෙතෙක් දරුවාගේ මුවේ තිබු ප්ලාස්ටික් මල දෙස මම මද  වේලාවක් බලා සිටියෙමි.  ප්ලාස්ටික් මලේ දරුවාගේ කම්මුලට තදවූ මල් පෙත්තේ ලේ තැවරී තිබුණි. මල් පෙත්ත කැඩෙන්න ඔන්න මෙන්න වාගේය. මම දරුවා දිහා බැලුවෙමි. ඌ බස බස ගා අම්මාගෙන් කිරි උරා බොයි. අම්මාටද මාව මතක නැත. දරුවා ආපසු දැරණියගල අරන් ගියොත් රාත්‍රියේදී යම් අවදානමක් ඇති විය හැකිය. වඩා ආරක්‍ෂිත වූ අවිස්සාවේල්ල රෝහලට දරුවා භාර දී මළ මුත්‍රා වලින් නැහැවුණු ඇඳුම් පිටින් ගෙදර යාමට තීරණය කලෙමි. අවිස්සාවේල්ලට යමු. මගේ විධානයට ඇම්බියුලන්ස් එක ඉදිරියට ඇදුනි.
අවිස්සාවේල්ල රෝහලට පැමිණෙන විට රෝහල් කාර්ය මණ්ඩලය කුඩා දරුවාව භාර ගැනීමට සුදානමින් සිටියේය. කෝ දැන් ඔය අමාරු දරුවා? රෝගීන් භාර ගන්නා වෛද්‍ය වරිය මගෙන් ඇසුවාය. “මේ ඉන්නේ දරුවා අම්මා අතේ”. 
“දරුවට කිසි අමාරුවක් නෑනේ”
“මෙන්න මේ මල දරුවගේ උගුරේ හිරවෙලා තිබුණා. මම ඒක එලියට ගත්තා. There is little bleeding. Some times you may get post traumatic bleeding and edema in the throat. You better admit the child” මම අදාළ වෛද්‍යවරියට  කල යුතු දේ මගේ වෘතීය භාෂාවෙන් කීවෙමි.
“ඔව් දරුවා ඇඩ්මිට් කරගන්නම් අපි. මේ මල අපිට දීලා යනවද? දොස්තර නෝනා මගෙන් ඇසුවාය.
“ඒක දෙන්න බෑ. මේ සිදුවීම මතක් වෙන්න මම එක තියාගන්න ඕනේ”
“පාලිත මල්ලි මාර වැඩේ. මම ඇදන් යන්න හිටපු කමිස සාක්කුවේ සල්ලි තිබුනේ. ඩියුටි ඕෆ් වෙන්න වුනේ නෑනේ. ඒ කමිසේ සල්ලි එක්ක රෙස්ට් රූම් එකේ. මම හෙට දෙනකන් මට බස් එකේ යන්න රුපියල් සීයක් දියන්”.
රියදුරාගෙන් රුපියල් සීයක් ඉල්ලාගත් මම ගෙදර යාමට බස් එකක් ගැනීමට අවිස්සාවේල්ල රෝහල් හන්දියට දිව ගියෙමි. කලාතුරකින් හමුවන මාර්ග අංක 18 හැටන් කොළඹ ඒ.සී. බස් රථයක් හමුවුනත් මුත්‍රා ගඳ සහිතව එම බසයට නැගීම අත් හැර දමා තවත් පැයක් පමණ රස්තියාදු වී නෝමල් බස් එකකින් පැය 2 ක් තිස්සේ කොළඹට ගෑටුවෙමි.
ඇත්තෙන්ම මම සිතුවේ මව්කිරි ද පොවා නිරුපද්‍රිතව ශල්‍යාගාර කණ්ඩායමට භාර දුන් මේ කොලු පැටියා පසුවදා ටිකට් කපාගෙන ගෙදර යන්නට ඇති බවයි. නමුත් එය එසේ සිදුවී නොතිබුණි. දරුවාගේ ජීවන ඉරණම විසදී තිබුනේ කොළඹ ළමා රෝහලේදී බැව් මා දැනගත්තේ දෙවසරකට  පසු එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස හෙද නිලධාරීන් සඳහා කළ දේශනයක් අතරතුරදීය.


සතුටු කඳුළු (මාරක මල 4 )
දැරණියගල දිසා රෝහලේ වසර 5 ක සේවා කාලයකින් පසු මා කොළඹ පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයට යන්නේ වෛද්‍ය පරිපාලන උපාධිය සඳහා සුදුසුකම් ලැබීම හේතුවෙනි. තවත් වසර දෙකක් ඇතුලත වෛද්‍ය පරිපාලන උපාධිය සමත්වන මට  කොළඹ ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වරයෙකු වශයෙන්  පත්වීමක් ලැබෙන්නේය.
පාසැල් අවධියේ සිටම රාජ්‍ය සෞඛ්‍ය  සේවාවන්හි පිරිහුණු ආකල්පමය ස්වභාවය ගැන කලකිරීමකින් සිටි මා හෙන්ඩුව අතට ලැබුණදාම අලි ඇත්තු මෙල්ල කිරීම ආරම්භ කලෙමි. වෛද්‍ය වරුන් හෙදියන් කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයන් ඇතුළු කණ්ඩායම් සඳහා ආකල්පමය සංවර්ධන දේශණ පැවැත්වීම මගේ දින චරියාවේ එක අංගයක් විය.
“සෞඛ්‍ය සේවකයෙකුගේ කැපවීම” නමැති මාතෘකාව යටතේ පැවැත්වූ  මෙවැනි එක් දේශනයකදී මා විසින් දැරණියගල දරුවාගේ ජීවිතය අවදානම් තත්වයෙන් මුදවාගෙන අවිස්සාවේල්ල රෝහලට භාර දුන් කතාව කීවෙමි.
දේශනය අසා සිටි තරුණ හෙදියක් එක් වරම නැගී සිට සිදුකළ මේ කතාවෙන් මගේ ඇඟේ හිරිගඩු පිපී ඇස් වලට කඳුළු පිරුණි. (ඇදහීමට තරමක් අසීරු කතාවක් ස්ථිර කිරීමට අනපේක්ෂිතව ජීවමාන සාක්ෂිකරුවෙකු ඉදිරිපත්වීම තරම් ආත්ම තෘප්තියක් කෙනෙකුට තවත් තිබේද?)
 “ සර් මම ඔය මල ගිලුණු දැරණියගල දරුවාව දන්නවා. අවිස්සාවේල්ලේ ඉසපිරිතාලෙන් අපේ ළමා රෝහලට ට්‍රාන්සර් කරපු ඔය ළමයා මැනේජ් කලේ අපේ ICU එකේ. එදා ඒ ළමයා අවිස්සාවේල්ලට ඇතුල් කලාට පස්සේ ළමයාගේ උගුර ප්ලාස්ටික් මල තෙරපීම නිසා ඇතිවුන තුවාල නිසා සංකුලතාවයක් සිදුවෙලා.( Post traumatic edema, bleeding- engorgement) 
දරුවට අවිස්සාවේල්ල ඉස්පිරිතාලේදී TRACHEOSTOMY  එකක් කරලා අපේ ICU එකට TRANSFER  කරලා තිබුණා. සති දෙකකින්  විතර දරුවා සුව වුණා. දරුවාගේ අම්මා දියවැඩියාවෙන් පෙළුන නිසා ඒ අම්මටත් අපිට ප්‍රතිකාර කරන්න වුණා. ඒ නිසා දරුවා තවත් වැඩිපුර සතියක් අපේ වාට්ටුවේ හුරතල් වෙවී හිටියා. ලස්සන කොලු පැටියා සර්.”
(සමාප්තයි)

Tuesday, December 20, 2016

මාරක මල

( මෙම සත්‍ය සිදුවීම කෙටියෙන්  පැවසිය නොහැකි බැවින් කොටස් වශයෙන් කියවන්න -අති දුෂ්කර අත් දැකීමක් මිස අතිශෝක්තියක් නොවන බව කරුණාවෙන් සලකන්න)
මේ සිදුවීම සිදුවන අවධියේ මා දැරණියගල දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරියා ලෙස කටයුතු කරමින් සිටියෙමි. ඉතා දුෂ්කර ගමනාන්තයක පිහිටි මෙම රෝහලේ සේවය කලේ මාත් ඇතුළුව වෛද්‍යවරුන් සිව් දෙනෙකු පමණක් වන අතර අප වෛද්‍ය හිඟයට මුහුණ දුන්නේ සේවා මුර ක්‍රමයට රාජකාරී කිරීමෙනි.
දින කිහිපයක් එක දිගට වැඩමුර තුනක් පමණ නිමකර සිටි මම  මෙදින පස්වරු 2 ට මගේ සේවා මුරය නිමකර සවස දෙකේ බස් එකෙන් කොළඹ පැමිණීමේ අපේක්ෂාවෙන් ඊළඟට වැඩ මුරය භාර ගැනීමට පැමිණෙන වෛද්‍යවරයා අපේක්ෂාවෙන් ඕ. පී. ඩී එකේ සවස් භාගයේ එකතු වූ රෝගීන් කිහිප දෙනා පරීක්ෂා කරමින් සිටියෙමි.
හරියටම් වෙලාව පස්වරු එකට පමණ වෙන්න ඇති. ඉතා තරබාරු තරුණ මවක් මහා හයියෙන් විලාප දෙමින් මාස 10 ක් පමණ වූ කුඩා දරුවෙක් වඩාගෙන ඕ. පී. ඩී එකට පැමිණියාය. දරුවාගේ ඇස් උඩගොස් තිබුන අතර ගොර ගොර සද්දෙන් හුස්ම ගනිමින් සිටියේ ය.
ටෙනිස් මලක හැඩය ගත් කුඩා ප්ලාස්ටික් මලක් දරුවාට ගිලී තිබූන අතර දරුවා හුස්ම ගන්න වාරයක් වාරයක් පාසා ෂටලයක් ආකාරයෙන් ප්ලාස්ටික් මල දරුවාගේ උගුර වෙත ඇදී ගොස් ඔහුගේ  හුස්ම හිර කරමින් තිබුණි. හුස්ම ඉහලට අදින සෑම වාරයක් පාසාම දරුවාගේ ඇස් උඩ යමින් ඇස් වලින් කඳුළු පනියි.
වෙද නලාව  කරේ දමා ගෙන  සිටි මා එක වරම දරුවා මගේ දෝතට ගෙන මුනින් හරවා දරුවාගේ කට ඇතුලට මගේ දකුණු අතේ මහපට ඇඟිල්ල ඇතුල් කලෙමි. ඒ වනවිට දත් නොවැඩී තිබු කුඩා දරුවා තම උඩු හනුවට හා යටි හනුවට මගේ දබරඇඟිල්ල තදින් තද කල විට මට තරු පෙනෙන වේදනාවක් දැනුනත් මගේ ඇඟිල්ල එලියට නොගත්තේ, ඒ සමගම මා අමන්දානන්දයට පත් කරමින් මේ පස් පෙති මලේ එක පෙත්තක් දරුවාගේ ඇතුල් කම්මුල හා මගේ දබර ඇඟිල්ල අතරට හසුකර ගැනීමට මට හැකිවූ හෙයිනි.
අධික ලෙස වෑස්සෙන කෙල නිසා ප්ලාස්ටික් මල්පෙති  ලිස්සා යන බැවින් මගේ තනි  ඇඟිල්ලෙන් සම්පුර්ණ මල එලියට ගත නොහැකි විය. මෙහිදී මට එක්වරම සිහියට ආවේ මගේ ගුරු මහාචාර්ය ෂෙරීෆ්ඩීන් මැතිදුන්ගේ අවවාදයකි. “ ජීවිත අවදානම වැඩිවන ආකාරයේ නොකළයුතු දේවල් පළමුවෙන් සිතා ඒවා නොකර ඉන්න” 

ඇතුල් කම්මුලට මල තද කරගෙන සිටින තාක් දරුවා හොඳින් හුස්ම ගන්නා දරුවාගේ AIR WAY  පාලනය මගේ දබර ඇඟිල්ලට ගෙන තිබු  බැවින් ෆෝසේප් හෝ වෙනත් අඬු බඩු දමා දරුවා කලබල කර ඔහුගේ ජීවිතය අවදානමට ලක් නොකිරීමට මම වග බලා ගත්තෙමි. ආරක්ෂිතව මල ඉවත් කරණ ක්‍රමයක් කල්පනා වෙන තුරු හෝ එවන් සහයක් ලැබෙන තුරු දරුවාගේ මුවින් එලියට මගේ දබර ඇඟිල්ල නොගන්නේමයි යන අධිෂ්ඨානයෙන් එම ඉරියව්වෙන්ම දරුවාව මගේ පපුවට තුරුළු කරගෙන ඊළඟ විධානය මම ළඟ සිටි සාත්තු සේවකයාට දුන්නෙමි. (මතු සම්බන්ධයි )