Wednesday, June 14, 2017

වනවාසල පළමුවෙනි MBBS දොස්තර මහත්තයා


මා කිසි දිනෙක අසා නැති සිඟිති තාරුකා නමැත්තියක් කාගේදෝ වුවමනාවකට වනවාසල දොස්තර මහත්තයා ලෙස ප්‍රසිද්ධ වූ මා ගැන ඉතා ද්වේශ සහගත ලෙස  අසත්‍ය කරුණු ගෙනහැර දක්වමින් ලියා තිබු “යන්නේ කොහෙද මල්ලේ පොල්” වැනිවූ මඩ කමෙන්ට් එක ගැන මෛත්‍රී සහගතව සිතා පසුගිය වසර 20 තුල වනවාසල ප්‍රදේශයේ වෘතීය ගරුත්වය ආරක්ෂා කරගනිමින් සාමාන්‍ය පුරවැසියෙකු ලෙස ජීවිතය ගොඩ නගා ගත් ආකාරය ලියන්නට සිතුනි. මඩ අත ගා ගත් අය මඩ ගොඩේම හිටියාවේ. ධෛර්යමත්ව ජීවිතය ගොඩ නගා ගන්නා අයුරු ඉගෙන ගැනීමට අවැසි අය මේ ලිපි පෙළ කියවන්න. එක දවසෙන් ඔක්කොම ලියන්න යැයි නොකියා ඉවසීමෙන් කියවා ජීවිතයට යමක් අරගන්න. ලියන මිනිහාමදැයි ඉන්නේ කියා දැන ගන්න ඕනෑනම් ඇවිත් බලන්න.

මා වෛද්‍ය පීඨයේ ඉගෙන ගන්නා කාලයේ බුලුගහගොඩ, ගනේමුල්ල ප්‍රදේශයේ දරුවන්ට ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි යන විෂයන් තුනම රුපියල් 60 කට ඉගැන්වූ බව මින් පෙර ලිපියක සඳහන් කලෙමි. මේ පන්ති කෙරුවාව නිසා ගනේමුල්ල දුම්රිය ස්ථානයේ සිට දුම්රියේ දොරකඩ අසල සිටගෙන මරදාන දක්වා ගමන් කිරීම නිතර සිදුවන්නකි. මෙවැනි බොහෝ දිනයන්හි වනවාසල දුම්රිය ස්ථානය මගේ ඇස ගැටේ.

වෛද්‍ය පීඨයෙන් සමත් වූ පසු වනවාසල  ප්‍රදේශයේ ගෙයක් කුලියට ගෙන එහි බෙහෙත් ශාලාවක් ඇරඹුවේ මීට වසර 20 කට පෙරය. ඒ කාලයේ ඩප්පි බෝම්බ කරුවන් බහුල වූ මේ ප්‍රදේශයේ පදිංචිවීම කණ වැකුණු මගේ හිතවත් වෛද්‍ය මිත්‍රයෙක් මගෙන් ඇසුවේ “ උඹට පිස්සුද කියාය”. එහෙත් මගේ අරමුණ වුයේ තොරණ හන්දියේ පෙරේරා වෛද්‍ය තුමා හැරුණු විට මේ ප්‍රදේශයට සුදුසුකම් ඇති වෛද්‍යවරයෙකු නැති අඩුව පිරවීමටය.

මා දන්නා පරිදි ප්‍රදේශයේ සිටි එකම සුදුසුකම් ලත් වෛද්‍යවරයා මා වුවත් අලුතෙන් ගමට ආ මා හට විභාගේ පාස් නැති දොස්තර කියා ඇතැමුන් උසුළු විසුළු කළහ.  
මගෙන් ප්‍රතිකාර ලැබූ පළවෙනියා වුයේ එම පළාතේ පාසලේ විදුහල්පතිනියයි. එවක සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වරියගේ පවුලේ වෛද්‍යවරයා වුයේද මාය.

බීමත් පුද්ගලයන්ට ප්‍රතිකාර නොකිරීම, පුජ්‍ය පක්ෂයට සහ තෝරාගත් දුප්පත් පවුල් වලට නොමිලේ ප්‍රතිකාර කිරීම, නොහික්මුණ මිනිසුන්ට බැන පලවා හැරීම, ගෙවල් වල සිටින රෝගීන්ට මෝටර් බයිසිකලේ ගොස් සේලයින් දීම, මගෙන් ප්‍රතිකාර ගත් අයෙක් අසාධ්‍ය වුවහොත් මගේ වාහනයෙන්ම රෝගියා රෝහලට රැගෙන යාම වැනි පුරුදු සහ ප්‍රතිපත්ති මා අනුගමනය කල බැවින් කිසි දිනෙක මා අතින් රෝගී ජීවිතයකට හානි නොවිණි.


(මතු සම්බන්ධයි)