Saturday, September 17, 2016

මැමෝග්‍රැෆි යනු කුමක්ද?

මෙය කාන්තාවක් හට තම පියයුරුවල හටගන්නා පියයුරක රෝග ලක්ෂණ තමාට හෝ තම වෛද්‍යවරයාට හසුවීමට වසර දෙකකට පමණ පෙර හසුකර ගත හැකි බරපතල වේදනාවෙන් තොර රෝග හඳුනාගැනීමට හැකි නවීන ක්‍රමවේදයකි. (Before you can feel a lump, a mammogram can detect it) . වත්මන් ඇමරිකානු සෞඛ්‍ය නිර්දේශිතය වන්නේ වයස අවුරුදු 40 ට වැඩි සෑම කාන්තාවක්ම  වසරකට වරක් මැමොග්‍රෑම් පරීක්ෂණයකට භාජනය විය යුතු බවයි. ඊට හේතුව ලෙස පර්යේෂකයන් පෙන්වා දෙන්නේ කල් තියා හඳුනාගැනීම මගින් පියයුරු පිළිකා නිසාඅ ඇතිවන සංකූලතා සහ මරණ 100% ක්ම පාහේ වලක්වා ගතහැකි වීමයි. (Standard breast cancer treatments are most effective on smaller tumors).

මැමොග්‍රෑම් පරීක්ෂණයකට භාජනය වීමේදී නිරාවරණය වන විකිරණ ප්‍රමාණය දතක එක්ස් කිරණ රූපයක් ගැනීමේදී සිදුවන ප්‍රමාණය තරම් කුඩාය. Having a mammogram is uncomfortable for most women. Some women find it painful. A mammogram takes only a few moments, though, and the discomfort is over soon.

මැමෝග්‍රැෆි  ක්‍රමය හැරුණු විට ඉලාස්ටෝග්‍රපි, ඩිජිටල් මැමෝග්‍රැෆි, තර්මෝග්‍රැෆි ආදී ක්‍රම භාවිතා කරන්නේ රෝගියාගේ ස්වභාවය අනුවයි.  මැමෝග්‍රැෆි  හා අල්ට්‍රා සවුන්ඩ් පියයුරු ගැටිති වල ස්වභාවය නිර්ණය කරගැනීම සඳහා අවස්තානුකුලව වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලැබේ.

ඔබට විශේෂිත වූ X-ray යන්ත්‍රයක් ඉදිරියේ සිට ගැනීමට සිදුවනු ඇත. මෙම යන්ත්‍රය හසුරුවන අය ඔබගේ පියයුර ප්ලාස්ටික් තැටියක් මත ස්ථානගත කරනු ඇත. ඉහල සිට ක්‍රියාත්මක වන තවත් ප්ලාස්ටික් තැටියක් මගින් පියයුර පහල තැටිය වෙත තෙරපවනු ලැබේ. මෙසේ පැතලි වූ පියයුරේ X-ray චායාරුප ගනු ලැබේ. පියයුරට යම් තෙරපුමක් මෙන්ම වේදනාවක් ඇති වුවත් එය ඉතා සුළු වේලාවකින් පහව යනු ඇත.


 මැමොග්‍රෑම් පරීක්ෂණයකට භාජනය වීමේදී සුදානම් වීම.
1. මෙම පරීක්ෂණය ඔබගේ මාස් ශුද්ධිය ඇති අවස්ථාවේ හෝ ඊට පෙර සතියේ සිදු කිරීමෙන් වලකින්න. (මේ කාලය තුල පියයුර මහතින් හා වේදනාකාරී බවින් වැඩිය)Try not to have your mammogram the week before you get your period or during your period. Your breasts may be tender or swollen then.

2. මැමොග්‍රෑම් පරීක්ෂණයකට භාජනය වන දින සුවඳ විලවුන්, පව්ඩර්, හෝ ඩියෝඩරන්ට් භාවිතා නොකළ යුතුය. On the day of your mammogram, don't wear deodorant, perfume, or powder. ...

3.සාය හා බලව්සය පැළඳ සිටීම පරීක්ෂණයට වඩා පහසුය. Some women prefer to wear a top with a skirt or pants, instead of a dress.







Wednesday, September 14, 2016

නඩේ ගුරෙක් නැති පාඩුව (හැම දානයක්ම සද්දෙට කරන, ශ්‍රමදානය අතුරුදන්වූ, ලෝකෙන් උතුම් රටේ හග්ගල උද්භිද උද්‍යානයේ දීය .... )

මේ වගේ වෙලාවක අපේ ජෝන් අප්පුහාමි සීයා හිටියානම් විශාල සිලි මල්ලකට මේවා එකතුකරගෙන ගොස් කුණු බක්කියකට දමන හැටි කාපු බීපු එවුන්ට උපදෙස් දෙන්නේ අපි ගිය බොහෝ විනෝද ගමන්වල නඩේ ගුරා ඔහු වූ  බැවිණි. නව පරපුරේ අප්පුහාමිලා වැඩේ ජෝන් බාස්ට යවා ඇත්තේ හැමෝම ගුරාලා කියා සිතා සිටින බැවින් නඩේ ගුරෙක් නැති හේතුවෙනි. (විනෝද ගමනක් යනවිට ස්වයං විවේචනයෙන් යුක්තව මෙම අතපසුවීම සිදු නොවීමට වගබලා ගැනීම පිණිසයි! )

කණ්ඩායම් හැගීමකට යා හැකි දුර....

මා සේවය කල ලොකු පොඩි සෑම රෝහලකම තිබු බරපතල අර්බුධයක් වුයේ සුළු සේවක හිගයයි. මේ හේතුව නිසා වැඩිම බලපෑමක් එල්ල වූයේ වාට්ටු වල රෝගීන්ගේ රසායනාගාර සාම්පල කලට වේලාවට ලැබ් එකට ගෙනයාමට නොහැකිවීම නිසා රසායනාගාර ප්‍රතිඵල ප්‍රමාදවී රෝගීන් දුෂ්කරතාවයට පත්වීමයි. “ඉතින් මිසී  මම මිනිස්සු මවන්නද?” වාට්ටුවේ නර්ස් නෝනට ඕවර්සියර් ගේ පිළිතුර ඒකයි.

වාට්ටු තුල පැට්‍රොල් යන ආරක්ෂක නියාමකයන්ට නියමිත පුහුණුවක් ලබා දී මෙම සාම්පල සුරක්ෂිතව අදාළ රසායනාගාරය වෙත රැගෙන යාමේ මගේ ප්‍රයත්නයට ආරක්ෂක නියාමක තරුණයන්ගෙන් ලැබුනේ සිනහමුසු ප්‍රසන්න ප්‍රතිචාරයක්. ඇතැම් ඉහළ වෘතිකයන් මෙන් “මේවා අපිට අයිති නැති වැඩ” කියා ඔවුන් තර්ක නොකළේ ආයතනයේ කණ්ඩායම් හැගීම් සංකල්පය හොදින් තේරුම්ගත් නිසාවෙනි. නිකන් යන කෝච්චියේ කෙහෙල් කැනක් දෙකක් පටවන් ගියාට මක් වෙනවද සර් ? කියා ඔවුන් එය ඉතා සතුටින් ඉටු කළහ. යකඩ වගේ තද හිත් ඇති මිනිස්සු කොහොමද මේ තැනට ගේන්නේ? ඒකට ඉතින් මම වගේ තාත්ත කෙනෙකුයි මේ වගේ පුත්තු ටිකකුයි ඉන්න ඕනැ.

සුළු සේවකයෝ ඔක්කොම බඳවාගෙන ඉවරවෙනකම්, මට කියන්නේ මේ වෙලාවේ පන අදින ලෙඩාට හුස්ම අල්ලාගෙන ඉන්න කියන්න කියලද? ඉන්න කෙනෙක් ගෙනියන්න ඕනෑ. නැතිනම් මම ගෙනියන්න ඕනෑ. එහෙම නැතිනම් විකල්ප ක්‍රමයක් හොයාගන්න ඕනෑ. මම ගෙනියන්න ඕනෑ කියන කෑල්ලට ලෝකෙන් උතුම් රටේ ශ්‍රද්ධාවන්තයෝ කියන්නේ “මූට පිස්සු, ගොන් පාට්, ෂෝ එක, අතීසාරෙට අමුඩ ගහනවා”  වගේ කතා. එයාර් පොර්ට් එකෙන් පිට වෙච්ච දාට තේරෙනවා වෙන රටවල් වල ලොකු පොඩි කවුරුත් ටීම් වර්ක් ඇතුලේ මේවට කියන්නේ “ග්‍රේට් වර්ක්” කියලා.
එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි, දඹුලුත් ගිහින් තල ගොවියොත් මරාගෙන එනවා කියන්නෙත් මේවට තමයි මයේ හිතේ. ( අවවාදයයි! අවබෝධයෙන් තොරව අත්හදා බැලීමෙන් වලකින්න )
Management Concept : Out Of Box Thinking: ළිං මැඩි සංකල්පයෙන් බැහැර වී සිතන්න

ආකල්පය; ඔබ මේ රැගෙන යන්නේ අසාධ්‍යව සිටින ඔබේ ළඟම නෑයාගේ රසායනාගාර සාම්පලය බව සිතන්න. එවිට ඔබට අප්‍රමාද ප්‍රතිකාර සේවාවක වැදගත්කම තදින් ඇඟට දැනෙනු ඇත.

Friday, September 9, 2016

අත්දැකීම දුෂ්කරයි මතකය සුන්දරයි!

මහනුවර වාවින්න ප්‍රදේශයේ ගත කල මගේ ළමා කාලයේ  (atsudarshana.blogspot) බීමට ජලය ගෙන ආවේ නිවසේ සිට කිලෝමීටරයක් පමණ දුරින් වූ මෙන්න මේ  ළිදෙන්, කුඩා බැරල් වලට පුරවාගෙන.  පසුගියදාක මහනුවර ගිය වෙලාවක මම මේ ලිඳ හොයාගෙන ගියා. තවමත් මේ ලිඳ සුරක්ෂිතව තිබෙනු දැක මට දැනුණේ අසීමිත සතුටක්. වෝටර් ෆිල්ටර්, ක්ලෝරීන් ගැන නොහිතපු කාලෙක විහිළුවටවත් බඩේ අමාරුවක් නොහැදෙන්න පිරිසිඳු ජලය අපිට  දීපු මේ පුංචි ලිඳ අදත් ඒ වගේම පිරිසිඳු වතුරෙන් පිරිලා.

ලිඳෙන් වතුර බීලා..... එයින් වතුර නාලා.....ලිඳට ගල් ගසාලා .... වතුර බොර කරයි මිනිසා ... ගඟට ආවඩයි මිනිසා ....ගඟට ආවඩයි.......(වික්ටර් රත්නායකයන්ගේ මේ ගීතය මට මතක් වුනා, පහුගිය දවස් වල සිදුවුණ සිදුවීම් එක්ක)

Thursday, September 8, 2016

ක්ෂේම භූමිය ලඟාකරගැනීම හෙවත් වැලි මිරිකා වතුර ගැනීම


(මම ඉතා අවදානම්සහගත තීරණයක් ගත්තා. යමක් ඉගෙනගැනීමට ඇතැයි සිතේනම් පමණක් කියවන්න. නිසරු වාද විවාද සඳහා වැය කිරීමට මට කාලයක් නැති බව කරුණාවෙන් සලකන්න)

කුලියාපිටිය රෝහලේ මාස 20 ක සේවා කාලය තුල මා මුහුණ දුන් විශාලතම අභියෝගය වුයේ ජල නල පද්ධතිය අබලන් වීම හේතුවෙන් නගර සභාව විසින් ජල සැපයුම අත්හිටුවීම නිසා රෝහල් කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වීමයි. ඇඳන් 600 ක්, දැඩිසත්කාර ඒකකයක්, නොමේරු ළදරු ඒකකයක්, හදිසි ප්‍රතිකාර ඒකකයක් සහිත රෝහලකට වතුර නැතයි කියා මුළු රටටම බැන බැන දාල දුවනවද? වැලි මිරිකලා හරි වතුර ගේනවද?

අර්බුධයේ පළමු සති කීපය ගෙවුනේ අහල පහළ ළිං වලින් බවුසර් යොදා වතුර ගෙන ඒමයි. පට්ට පතුරු බැනුම් අහන සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලන තරම් ඩීසල් සහ බවුසර් දුන්නත් මගේ හිත වැඩ කලේ වෙන විධිහකට. මට එක පාරටම සිහියට ආවේ වැලි මිරිකලා හරි වතුර ගන්න සමත් මා විසින් ස්ථාපිත කල රෝහල් නඩත්තු අංශයයි. මා ඉදිරිපිටට පැමිණි මේ ජවසම්පන්න කොල්ලෝ පස් දෙනාගෙන් එකෙක් අපූරූ ඔත්තුවක් දුන්නා. “ සර් පොළ ළඟ තියෙනවා අත් හැර දාපු නළලිඳක්. ඒක රෙපෙයාර් කරලා ගමුද?

ගිලෙන්න යන එකාට පිදුරු ගසත් ඕනෑ වෙනවා සේ, එකම විකල්පය දෙසට හැරුනෙමි. (දැන් ඉතින් හිතෙයි පට් ගාල වතුර ලැබුණා නේද කියලා)

රාජ්‍ය ආයතනයක තීරණ ගැනීමේ අවදානම කොරපු එකා තමයි දන්නේ. ජල ප්‍රවාහන මණ්ඩලය පළමු විමසීමෙන්ම වැඩේ බෑ කියලා කිව්වේ හයි ටෙන්ෂන් ලයින් එකක් සමීපව තිබෙන බැවින් යන්ත්‍ර සුත්‍ර හැසිරවීම අවදානම් බව කියමින්. ඊලඟට වැඩේට වෘතීය පළපුරුද්දක් තියෙන ආයතන වලින් මිළගණන් කැඳෙව්වා. විවිධ වැඩ විෂයන් ගැන කියමින් අවම ඉල්ලුම් කරු එක් ලක්ෂවිසි දෙදාහක  ඇස්තමේන්තුවක් දුන්නා.

පළාත් අමාත්‍යංශයේ මුදල් ප්‍රතිපාදන තිබුනේ නෑ. ඒත් වැඩේ අත හැරියේ නෑ. “ සර් අපි වැඩේ කරන්නම්. රුපියල් පනස්දාහකින්  විතර අලුත් බට දාල වැඩේ ඉවර කරන්න පුළුවන් වෙයි. නඩත්තු අංශයේ කොල්ලෝ ටික කිව්වා. පළාත් අධ්‍යක්ෂවරයට කථාව කිව්වා. වැඩේට අවසර ලැබුණා. හැබැයි අවදානම මට භාර ගන්න කිව්වා. මම හා කිව්වා.

රාජ්‍ය ආයතනයක මෙවැනි වැඩ අපිට ඕනෑ විධිහට කරන්න බෑ. මුල්‍ය රෙගුලාසි උල්ලංඝනය නොකර වැඩේ කරන්න ඕනෑ.

ඉතා කඩිනමින් ටී.ඕ. වාර්තාවකට අනුව ප්‍රොජෙක්ට් ෆයිල් එකක් ඇරඹුවා. මිළ ගණන් කැඳවීම් කළා. මෙවැනි ව්‍යාපෘති සඳහා ලියාපදිංචි වූ ගමේ ප්‍රජා සමිතියකට වැඩේ පැවරුවා. සමිතිය වැඩේ භාර ගත්තට වැඩේ කරන්නේ අපේ කොල්ලෝ. සමිතිය එක්ක අවබෝධතා ගිවිසුමක් ගැහුවා. හයි ටෙන්ෂන් අවදානමට විදුලිබල මණ්ඩලෙන් ආරක්ෂාව ඉල්ලා ගත්තා.
හයි ටෙන්ෂන් ලයින් එක නිසා යන්ත්‍ර සුත්‍ර භාවිතා කරන්න බැරි උනා. හැම දේම කලේ දෑතේ හයියෙන්. නයිට් ඩියුටිත් එක්ක වැඩේට දවස් පහක් විතර ගියා. වියදම් වුනේ රුපියල් තිස්දාහයි. (ෆයිල් එක ඉස්පිරිතාලේ ඇති). පසුදා ඉස්පිරිතාලේ සම්ප් එකට මහා සද්දෙන් වතුර පිරෙන දර්ශනය මගේ ජීවිතයේ සුන්දර මතක සටහනක්. අපි ඉතින් කැවුම් කිරිබත් කෑවා. ගිය සුමානේ මම කුලියාපිටිය ඉස්පිරිතාලෙට යනකොටත් ඒ වතුර පාර ඒ වේගයෙන්ම ගලනවා.

වැඩේ පත්තරේට ගියේ මෙහෙමයි. වතුර නැතිව ඉස්පිරිතාලේ වහන ආරංචිය ලියන්න පත්තර වාර්තාකරු මා හමුවෙන්න ආවා. (මේ වන විට ශල්‍යාගාර කටයුතු අඩාල වෙලයි තිබුනේ) මම ඔහුට කිව්වා, ලෙඩ්ඩු කලබල වෙයි මේ ගැන දැන්ම ලියන්න එපා, සතියකින් මම ස්ථිර විසඳුමක් දෙනවා එදාට ඒක පත්තරේ දාන්න කියලා. මගේ වැඩ ගැන දන්න වාර්තාකරු කියපු විදිහට පොරොන්දුව ඉෂ්ඨ කලා.

වතුර බවුසර් වලින් නඩත්තු වෙච්ච ඉස්පිරිතාලෙ වතුරෙන් ස්ව්‍යයන්පෝෂණය වුණ හැටි බොහෝ බලධාරීන් දැනගෙන හිටියේ නෑ. මම කියන්න ගියෙත් නෑ. මට ප්‍රසංශා කලෙත් නෑ. දුක සතුට දෙකම මගේ කොල්ලෝ එක්ක බෙදා ගත්තා. මගෙන් පස්සේ රෝහල භාර ගත්ත අය රෝහල් වෙබ් අඩවියක් ඇරඹුවලු. හදවතින්ම ශ්‍රී ලාංකික වුවත් මේ වන විට විදෙස්ගතව සිටින මේ අය වෙබ් වල ලියයිද මගේ වැඩ ගැන?

මා කල චුට්ටන් වැඩ ගැන බොහොම ද්වේශයෙන් පසුවෙන මේ රටේ නැති මහත්තුරුන්ටත්   කුලියාපිටිය රෝහල් වෙබ් අඩවියේදී මේවා හමු වෙලා නෑ. වෙබ් එකේ නැති ගොඩක් දේවල් මහ පොලවේ තියෙනවා. මේක බලාගන්න කුලියාපිටිය පොළ ලඟට යන්න. හිතින් හදා ගත්ත ප්‍රශ්නවලට උත්තර හොය හොයා ඉන්නේ නැතිව ගිහින් මාව මතක් කර ගන්න. ඉස්පිරිතාලේ පිටුපස ගේට්ටුව ළඟ ටැංකියෙන් නැවුම් වතුර බෝතලයක් පුරවාගෙන මගේ නඩත්තු අංශයේ කොල්ලන්ට පින් දෙන්න. 


වැරැද්ද දුටු විට දරුණු ලෙස වාග් ප්‍රහාර දෙන අනගාරික ධර්මපාල උතුමා අද සිටියා නම්, “මෝඩ මිනිසුනි තොපි කල යුත්තේ ඒ දොස්තර මහත්තයාට කුහක ලෙස අපහාස කිරීම නෙවෙයි. ඒ මිනිහා සහ ඔහුගේ උත්සාහවන්ත කණ්ඩායමට ප්‍රශංසා කොට ඔවුන් ධෛර්යමත් කිරීමයි.” කියා කියනු ඇත. අපේ කරුමෙට අද එතුමා අප අතර නැත.


Wednesday, September 7, 2016

බන්ඩාර ඇලෙන් නාගෙන පාන් කරත්තෙන් ගෙදර ඒම - atsudarshana.blogspot.com (2)

බණ්ඩාර ඇල යනු කිලෝමීටර් 10 ක් පමණ දිව යන මනාව ඉදිකළ වගා ඇලකි. තනිකර කළු ගලෙන් හා ශක්තිමත් යකඩෙන් තැනූ මෙම ඇල මාර්ගය මා මෙතෙක් දුටු ඉතා රමණීය නිර්මාණයකි. මහනුවර භූ විෂමතාවයට අනුකුලව තැනින් තැන තනි කළු ගලෙන් තැනූ ගල් පඩි 20 ක් පමණ වූ කොටස් 3 ක් පමණ මෙම ඇල මාර්ගයේ තිබෙන අතර අපිට තියෙන්නේ පඩිපෙළේ වාඩි වී සිටීම පමණයි. මීටර් නැතිව ඕනෑ තරම් නා ගත හැකි වුවත් අපි වරින් වර ගොඩට එන්නේ නුවර පළාතේ ස්වභාවික සීතල අස්සේ එක දිගට වතුරේ සිටීම අපහසු බැවිණි.-  


මේ කථාව කියවා රසවිඳින අතර ඔබ සිතින් මවා ගත් බන්ඩාර ඇල බලන්න මම පසුගියදා (06/09/ 2016) නුවර, වාවින්න ගමට  ගියා. බලන්න මම පුංචි කාලේ යාලුවෝ එක්ක  දිය කෙළිමින් විනෝද වුන  බන්ඩාර ඇල ලස්සනයිද කියලා?

Tuesday, September 6, 2016

පාරිභෝගික අමන්දානන්දය (Customer Delight)


වසර 2012 දී කුලියාපිටිය රෝහල මා භාර ගන්නා විට එම රෝහල හැඳින්වුයේ කුලියාපිටිය මෝචරිය කියාය. එම නම් පටබැදීමේ හේතුව ලෙස බොහෝ අය කීවේ “ගියොත් මලා” කියාය. තව පිරිසක් රෝහල හැදින්වුයේ කුලියාපිටිය ෂොපින් කම්ප්ලේක්ස් කියාය. පළමු අන්වර්ථ නාමය ගැන පැහැදිළිකිරීමට සංඛ්‍යාලේඛණ අවශ්‍යවුවත් දෙවෙනි එකට හේතුව නම් රෝහල් සේවක සේවිකාවන්  රාජකාරී වෙලාව තුල නගරයේ සාප්පු තුල ගැවසීම බව සොයා ගත්තෙමි. මම මේ කිවූ පූර්විකාව කියවා “දැක්කා නේද? මම කිව්වේ සමස්ත සිස්ටම් එකම ජරාජීර්නයි. පරිපාලකයෝ දුෂිතයි. මේක හදන්න බෑ. රට යන එක සැපයි” කියා හිතන්න එපා.

මම වැඩ භාර ගෙන එක දවසින් දෙවැනි අන්වර්ථ නාමයට තිත තැබීමට හැකිවූ අතර “ගියොත් මළා” කියන හැගීම වෙනස් කිරීමට මාස හයකට වඩා වැඩි කාලයක් ගත වූ බව අවංකව පවසමි.

මේ හැම දේටම වඩා මගේ හිතට වද දෙන ප්‍රශ්නය වුයේ කළු ගැසී දුර්වර්ණව තිබු රෝහල් තාප්පය වර්ණ ගන්වා රෝහලට  අරක්ගෙන තිබු මුසල ගතිය පහකර මහජනතාවගේ ආකර්ෂණය දිනාගන්නේ කෙසේද යන්නයි. මේ සඳහා ටී.ඕ. මහතාගේ දල ඇස්තමේන්තුව වුයේ ලක්ෂ 14  කි. තරු පේනවා හැර වෙන මොකවත් වුනේ නැත. වැලිකඩ හිරගෙදර සිහිගැන්වූ පරිපාලන ගොඩනැගිල්ලේ පෙනුම අද තියෙන සුපිරි තත්වයට වෙනස්කල හැකිවේද, හැමෝටම දෙස්දෙවොල් තිය තියා මම අකුලාගෙන හිටියානම්?

සමස්ත වියදම ලක්ෂ 30 ක් වූ මෙම චුට්ටන් රෙපෙයාර් වැඩ දෙක මාස තුනකින් කල හැටි කියන්නට ගියොත් පිටු 20 ක් වත් ලියන්නට වෙන බැවින් මෙගා විදිහට හිතන අය මගේ හිත නොසන්සුන් නොකර ඉස්පිරිතාලෙට ගිහිල්ලම බලා ගත්තොත් තමයි හොඳ.

මෙම රෝහලේ මගේ සේවා කාලය මාස 20 ක් පමණ වූ අතර ඒ කාලය තුල රෝහලේ පරිපාලන කමිටුව විසින් හඳුනාගත් මුලික අවශ්‍යතාවයන් සියල්ල සම්පුර්ණ කිරීමට තරම් මම වාසනාවන්ත වුයෙමි. (මේ රෝහල මේ වන විටත් සුපිරි නැවක් ලෙස යාත්‍රා කරන  අතර 2016 /09 /03 දින කල හදිසි ගොඩ වැදීමකදී ඒ බව සියැසින්ම ස්ථිර කර ගත්තෙමි )

රෝහලේ ගැබිණි වාට්ටුව අසල බුදු මැදුරක් තිබේ. සෑම දිනකම ගැබිණි මව්වරු බුදුන් වැදීමට මෙතැනට ආවත් ඔවුන්ට ආගමික වතාවත් වල යෙදීමට කිසිඳු පහසුකමක් නොවීය. එමෙන්ම වාට්ටුවට රෝගියෙකු ඇතුලත් කල පසු නෑදෑයන්ට රැදී සිටීමට ස්ථානයක් නොමැති බව මට නිරීක්ෂණය විය. කිසිදු රජයේ ප්‍රතිපාදනයක් නොමැතිව මහජනතාවට මගේ අරමුණ පැහැදිලි කර අසරණ මිනිසුන් වෙනුවෙන් මා දුටු සිහිනය සැබෑ කරගත් බව ලියන්න එපාද?

Customer Satisfaction මට්ටමට රෝහල ගෙනාව මම (වසර 100 ක් වූ  මෙම රෝහලේ සේවය කල හැමට හිමි  නිසි ගෞරවයට යටත්ව) මෙම අතිරේක පහසුකම සලකන්නේ Customer Delight සංකල්පයට රෝහල  රැගෙන ගිය බවයි. මෙවැනි අමතර පහසුකමක් කාසල් වීදියේ මාතෘ රෝහලේ තිබෙන අතර මා දන්නා පරිදි එය ඉදිකර ඇත්තේ රජයේ ප්‍රතිපාදන මගිනි. අහවල් සම්මාන ලාභී රෝහලේ උදවිය ඕවා ලියන්නේ නෑනේ. “මෙයා තමයි මේ චුට්ටන් රෙපෙයාර් වැඩ ගැන එක දෙක කරලා ලියන්නේ” එහෙම හිතෙනවානම් සොරි!

සංකල්ප ( Concepts) නොදැනීම

“කාර් පාස් එකක් ගෙනියන එක ලොකු වැඩක්ද? Dr. සුදර්ශන කරලා තියෙන්නේ රෝහල් ලේකම්ගේ වැඩ”
(මට ප්‍රශ්න 10 ක් ඉදිරිපත් කල සහෝදරයෙක් එම ප්‍රශ්න 10 ට තමන් විසින්ම සැපයු උත්තරයේ මගේ වැඩ ගැන ලියා තිබුනේ එසේයි. ඒ ගැන න්‍යායාත්මක පැහැදිලි කිරීමයි මේ.)

මානව සම්පත් කළමනාකරණයෙදී සැලකිලිමත් වන්නේ අනුගමනය කරණ ක්‍රමවේදයේ ලොකු කුඩා බව නොව, අදාළ ක්‍රමවේදය නිසා ඇති වන ප්‍රතිඵලයේ impact or effectiveness එකයි. ළමා රෝහලේ මහාචාර්ය වරයා වෙත කාර් පාස් එක රැගෙන ගොස් සංකේතාත්මකව මා මගේ සේවා කණ්ඩායම කුළු ගන්වන්නේ ආයතනය customer satisfaction සිට  customer delight දක්වා රැගෙන යා යුතු බවයි. මෙතැනදී රෝහල් පරිපාලකයා වූ මගේ customer වුයේ මහාචාර්යවරයායි.  රෝහල් ලේකම් හා රෝහල් අධ්‍යක්ෂ යන දෙදෙනාගේ job list දෙක හොඳ හැටි දන්නා මම, මෙහිදී කලේ තම customer වෙතට ගොස් සේවා සැපයීමේ ආදර්ශය ඉහලින් සැපයීමයි.

මේ රටේ ඉදිකිරීම් ක්ෂේස්ත්‍රයේ පතාක යෝධයෙකු වන එම්. ජී. කුලරත්න මහතා තම Management Style ගැන මෙසේ කියා තිබුණා. “ හැම තනතුරක්ම ස්ථානගත වෙලා තිබුනට, අවශ්‍ය වුනොත් මමත් වැඩේට බහිනවා. ආදර්ශයෙන් මෙහෙයවීමයි මගේ ක්‍රමය. (Lead by Example) හැබැයි ඒකෙන් කියන්නේ නෑ මං හැමදේටම ඇඟිලි ගහන කෙනෙක් කියලා.”

හැම දෙයක්ම අමුවෙන්, මතුපිටින් විග්‍රහ කරන මේ ඇත්තෝ සිදුහත් බෝසතාණෝ අභිනිෂ්ක්‍රමණය කල උතුම් අරමුණ නොවිමසා  “අනේ අපොයි කුලුඳුලේ පුතා ඉපදුන දවසේ පියාණන් වහන්සේ තම යුතුකම් අමතක කළැයි” නොකිව්වොත් නේ පුදුමේ.

අපි පොඩි කාලේ රවුම් තඹ තහඩුවක් අතට දීලා, කථා කරනකන් ඔන්න ඔහෙන් වාඩිවෙලා ඉන්න කියලා මකුණෝ කන වේවැල් පුටුව පෙන්නපු රාජ්‍ය බැංකු වලට තරු පෙන්නුවේ පෞද්ගලික බැංකු වල සල්ලි නෙවෙයි, Public Relationship, Customer Satisfaction වගේ අලුත් සංකල්ප.

අපි මුලින්ම Quality management එකට ආදර්ශෙට ගත්තේ Castle Street රෝහලේ විශේෂඥ වෛද්‍ය සිරිසේන මහත්තයාගෙ වාට්ටුවේ වැසිකිලිවල තිබු පිරිසිඳු භාවයයි. Castle Street රෝහල Quality සම්මාන දිනුවේ එකින් එක, ටිකෙන් ටික. අම්පාර රෝහල අපිට ආඩම්බරයක්. ඒ රෝහලත් මේ තත්වයට ආවේ 5S, KIZEN වගේ ක්‍රමවේදයන් අනුගමනය කරලයි. ඒ විතරක් නොවෙයි, මේ වනවිට ලංකාවේ සෑම රෝහලකම ආවරණය වන පරිදි මේ සංකල්ප ක්‍රියාවට නැන්වෙනේ සෞඛ්‍ය අමාත්‍යංශයේ Quality Secretariat එකේ අධීක්ෂණය යටතේ. පසුගිය දස වසර තුල වේගයෙන් ක්‍රියාත්මක වූ මේ ව්‍යාපෘතිය ගැන මෑතක මේ රටේ නොසිටි අය නොදැන සිටීම පුදුමයක් නෙවෙයි.


මම රෝහල් බොහොමයක් සංවර්ධනය කෙරුවේ සෞඛ්‍ය  අමාත්‍යාංශය අපිට ලබා දුන්න Quality Indicators වලට අනුවයි. එහි අවසාන ඉලක්කය වුයේ Quality Awards තරඟ වලට ඉදිරිපත් වී රෝහලේ කීර්තිනාමය ඉහල නැංවීම මඟින් මහජනතාවගේ විශ්වාසය දිනාගැනීමයි. ඊළඟ ඉලක්කය රෝහල් සංවර්ධනයට ප්‍රජා සහභාගිත්වය ලබා ගැනීමයි. දනට පිනට ලැදි ශ්‍රී ලාංකික ජනතාව පන්සලට පසු වැඩියෙන්ම පින් තකා ආධාර කරන්නේ රෝහලටයි. රජයේ මුල්‍ය ආයෝජනයට ප්‍රජා සහභාගීත්වය එක්වුනහම රෝහල් සංවර්ධනය ශක්තිමත් වෙනවා, ජනතාවට තම රෝහලේ ownership එකක් ලැබෙනවා. මිනිසුන් මෙයින් විශාල මානසික තෘප්තියක් ලබනවා. It is a thrilling experience.



මගේ වැඩ ගැන හරී... චුට්ටන් වැඩ, ඕවා ලියන්න තරම් ලොකු දේවල් නෙවෙයිනේ, කියමින් කුහකකමින් උපහාස කරණ, රටෙත් නැති ලොවෙත් නැති ලොවි ගහෙත් නැති අප්පුහාමිලාට කියන්න තියෙන්නේ මම කරපු හැම ව්‍යාපෘතියක්ම අවසන් ඉලක්කයක් අරමුණු කරගෙන සැලසුමක් ඇතිව සම්පුර්ණ කල ඒවා විනා, පැලැස්තර රෙපෙයාර් නොවන බවයි. මම කරපු චුට්ටන් වැඩ ගැන ලියන කොට මගේ ඇඟේ ලේ පිරිසිඳු වෙනවා. අනේ මගේ ඒ අහිංසක අයිතිවාසිකමට ගරහන්න එපා, සැප විඳින පින්වත් මහත්තයෝ!