Tuesday, January 24, 2017

මැට්ටා මෙඩිකල් කොලේජ් ගිය කථාව 01 ( THE TURNING POINT )

හතේ  පන්තිය වන විට වත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි මා හට ගණිතය විෂය ඉගැන්වීමට පන්තියට මෙන්ම අහල ගම් හතක ගණිත ගුරුවරයෙකු සිටියේ නැත. ගණිතය කාලපරිච්චේදයේදී  ෆුල් ජොලියේ කාලය කා දැම්මේ නොදන්නා ගණිතය ඉගෙන ගැනීමද මහා වධයක් වූ බැවිණි.
පුරා වසරක් ගණිතය එක ඉලක්කමක්වත් හදාරන්නේ නැතිව පන්තියේ පළවෙනියා ලෙස අවසාන වාර විභාගයේදී සහතිකය ලබා ගන්නා මගේ ඊළඟ පාසැල වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ කීර්තිමත් මධ්‍ය මහා විද්‍යාලයක් වූ ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයයි.

අටේ පන්ති පහ අතරින් “ 8 ඊ” පන්තියේ මා සමග සිටි සියලු දෙනා පහේ ශිෂ්‍යත්වය අසමත් වී මගදී විවිධ හේතු මත පාසැලට ඇතුළු වූවන්ය. ඉබ්බෝ දියේ දැම්මාම ඇන්නාවේ කියුවාක් මෙන් ගණන් වලට අකමැති බහුතරයක් වූ අපට මේ අවුරුද්දේ පත් කර තිබු ගණිත ගුරුවරියද  ප්‍රසුත නිවාඩු ලබා සිටියාය. වැඩිපුරම ගම්පහ මේඛලා චිත්‍රපටි හෝල් එකේ ගෙදරට හොරෙන් චිත්‍රපටි බලපු එවුන් හිටියේ මේ පන්තියේ බැවින් පෙරදින බැලු චිත්‍රපටි කතා නැවත විකාශය වුයේ ටීචර් නැති ගණිත පීරියඩ් එකේදීය.

කාල් ලුවිස් ගේ ක්‍රමයට අනෙක් සෑම විෂයකටම ලකුණු 90 න් ඉහල ප්‍රමාණයක් ලබා ගනිමින් BIG LEAD එකක් ගන්නා මා වසර අවසානයේදී පන්තියේ පළමුවැනියා වෙන්නේ ගණිතයට ලකුණු 04 ක් පමණක් හිමි කර ගනිමිනි. ගණිතයට  ලකුණු 04  ක් ලබා ගැනීම පන්තියේ පළමුවැනියාට මදි කමක් බැවින් මම ගෙදර යන්නේ ලකුණු හතරේ බින්දුවට පුංචි ඉරි කෑල්ලක් යොදා එය ලකුණු 94 ලෙස සංශෝධනය කර ගනිමිනි.
මාගේ අධ්‍යාපනික උන්නතිය ගැන නිතර අවධානයෙන් පසු වන මගේ අම්මා අපේ ගෙදර සහෝදරියන් සිව් දෙනාගේ සහ මගේ ප්‍රගති වාර්තා  “චෙක් කිරීම” සාමාන්‍ය සිරිතයි. හෑන්ඩ් ලූම්, පවර් ලූම්, ගුරුවරියක් හා මෝස්‌තර සම්පාදිකාවක වූ මගේ මව රිපෝට් කාඩ් එක හොදින් කියවා බලා දකුණු කන මිරිකා මට හොඳ පොල් ටොක්කක් ඇන්න විටයි මට කල්පනාවට ආවේ, 04 රේ බින්දුවට  ඉරක් ගසා 94 කලාට TOTAL එක වෙනස් කරන්න අමතක වුණ බව.

“මම දන්නවා ඔයා ගණිතයට දුර්වල බව. ඔයාගේ අනිත් ලකුණු කිසි දෙයක් ගැන මගේ සැකයක් නෑ. හැබැයි ඔයාට ලකුණු 94 ක් ලැබෙන්න විදිහක් නෑ කොහෙත්ම” අපි ගණිතයට ටියුෂන් පන්තියකට යමු.
එතෙක් ජීවිතයට ටියුෂන් පන්තියකට ගොස් අත්දැකීමක් නැති මාව ගණිතය විෂය සඳහා ටියුෂන් පන්තියකට යැවීමට අම්මා තීරණය කළාය. ටියුෂන් පන්තියක් සඳහා යාමට සිදුවුනේ ගනේමුල්ලේ සිට බටුවත්තටය. මේ සඳහා තාත්තාගේ හම්බර් බයිසිකලයෙන් රේල් පාරේ පටු තීරුව දිගේ ටියුෂන් පන්ති යාමේ අවදානම් සහිත දින චරියාවට ආරම්භ කලෙමි.


මැට්ටා මෙඩිකල් කොලේජ් ගිය කථාව - (2)

රේල් පාරට සමාන්තරව මිනිසුන් පයින් ගමන් කිරීම නිසා තණකොළ ගොල්ලේ නිර්මාණය වූ පටු අඩි පාරේ බයිසිකලයේ නොවැටී යාම එකළ මට එතරම් දුෂ්කර කටයුත්තක් නොවීය. වඩාත්ම දුෂ්කර කටයුත්ත වුයේ රේල් පාරේ තැනින් තැන ඇති යකඩ පාලම් මතින්  බයිසිකලය පැද යාමයි. මේ ස්ථාන වල මිනිසුන්ට ගමන් කිරීමට අවසර නොමැති බැවින් බොහෝ තැන් වල ඇත්තේ අඩියක් පමණ පළල යකඩ තීරුවකි.
මාසයක් පමණ මේ සංගිලි පාලම් උඩින් කිසිදු උපද්‍රවයකින් තොරව ගනේමුල්ලේ සිට බටුවත්තට රේල් පාර අයිනේ පටු පාර දිගේ බයිසිකලයෙන්  තරණය කලත් එක දිනක් හදිසියේ සමබරතාවය ගිලිහී ගොස් එක් පාලමක් උඩින් බයිසිකලයත් සමග ඇලට පෙරලීමට ගොස් බයිසිකලය ඇලට අතහැර රේල් පාරට බල්ටියක් ගසා ගැනීමට මට හැකිවුයේ ඒ කාලයේ මට තිබු කෙසඟ සිරුරට පින් සිදු වෙන්නටය. පේන තෙක් මානයේ කිසිවෙකු ලඟපාත නොවුයෙන් බඩවැටිය දිගේ පහලට ඇවිද ගොස් දොළ පාරට බැස බයිසිකලය ගොඩගෙන කිසිවක් නොවූ ගානට බටුවත්තේ ගණන් පන්තියට ගියෙමි.
මේ ටියුෂන් පන්තිය මට ගැලපෙන එකක් නොවන බව මට වැටහුනේ මාස දෙකකකට පමණ පසුවය. එහි ඉගැන්වූ ගුරුවරයා තනියෙම කළුලෑල්ලට ගණන් ඉගැන්වූ නිසා මට කිසිවක් තේරුම් ගත නොහැකි විය. බටුවත්ත ප්‍රදේශයේ සිටි ආනන්ද,නාලන්ද ,රෝයල් ,විශාකා ආදී විද්‍යාල වලට ගිය සිසුන් බොහොමයක් මේ පන්තියේ සිටි අතර ඔවුන්ට ගුරුවරයා උගන්වන දේ තේරුම් ගැනීමට අපහසු බවක් නොපෙනුණි. මේ පන්තියේ සිටි උඩඟු කොල්ලන් අන්දමන්දව සිටි මට “මැට්ටා” කියා  උසුළු විසුළු කරන්නට වීම පන්තිය අත්හැර දැමීමට තවත් එක් හේතුවක් විය. (මේ වැඩ්ඩන් කිසිවෙකුත් මට වෛද්‍ය විද්‍යාලයේදී හමු නොවිණි)

ගණිතය නමැති පාලම කඩා වැටුනොත් අධ්‍යාපනයේ සමස්ථ ගමනම අතරමග ඇනහිටින අවදානම ගැන මනාව වටහාගෙන සිටි මා එළැබෙන සෑම තත්පරයකදීම මාගේ ගණිත විෂයේ ගැලවුම්කරුවා සෙවීම නතර නොකලෙමි. ගනේමුල්ල ප්‍රදේශයේ ටියුෂන් පන්තියක විශ්‍රාමලත් ගුරු උපදේශක වරයෙකු වතුර වගේ ගණන් උගන්වන බව මේ අතර මට ආරංචි විය. මේ අපුරු ගුරුවරයා ඇදහිය යුතු වෙනම පරිච්ජේ දයකි.
ඩු ඕ ඩයි -DO OR DIE- (මැට්ටා මෙඩිකල් කොලේජ් ගිය කතාව -4 )


සාමාන්‍යයෙන් සෙනග රැස් වන්නේ ජයග්‍රාහකයින් වටා ය. පරාජිතයන් හුදකලා වේ. විකල්පය කෝච්චියට පැනීම නොව තමාද ජයග්‍රාහකයෙකු වීමයි.  පරාජය සමග හුදකලා වූ මා තවත් දින තුන්සිය හැටපස් දවසක් ඇවෑමෙන් ජයග්‍රාහකයෙකු ලෙස මතුවන අයුරු කල්පනා කළා මිස වටේ ඉන්න අයගේ ගුණදොස් විචාර පිළිබඳව සැලකිල්ලක් නොදැක්වුයෙමි. මේ අතර එතෙක් කල් පාසැල් යාමට මට තිබු එකම වාහනය වූ පා පැදිය සොරකම් කරන ලද අතර සාමාන්‍ය ගමන් බිමන් පයින්ම යාමට පුරුදු වුනෙමි.

මගේ නිවස අසල  ගණිත අංශයෙන් උසස් පෙළ ලියා විෂයන් 3ක් පමණක් සමත් වූ මිතුරෙක් විය. ඔහුද ඊළග වතාවේ නැවත විභාගය ලිවීමට සුදානම් වෙමින් සිටියේය. ගණිත අංශයේ විෂයන් දෙකම අහේතුවකට අසමත් වුවත් ඔහු හොඳ ගණන් කාරයෙක් බව මා දැන සිටියෙමි. මා  මෙන් නොව ඔහු පළමු වර සියලුම විෂයන් සදහා ටියුෂන් පන්ති වලට සහභාගී වුයේය. මේ නිසා සියලු සටහන් හා නිබන්ධන ඔහු සතු විය.

මේ මිතුරාගේ නිවසට දිනපතා යාම පුරුද්දක් කර ගත් මා ඔහුගේ රසායන විද්‍යාව සටහන් කියවා අලුතෙන් සටහන් නිර්මාණය කරගෙන පරණ ප්‍රශ්ණ පත්‍ර වලට පිළිතුරු ලිවීම පුහුණු වුනෙමි. කැලේ කොලේ කරක් ගසා තිබුණු මට උද්භිද විද්‍යාව තනිවම ඉගෙන ගැනීම එතරම් අපහසු වුයේ නැත. ජීව විද්‍යාවද  තනියෙම පොත් කියවා නැවත ඉගෙන ගත්තෙමි. භෞතික විද්‍යාව මේ ක්‍රමයට හැදෑරීමට තරම් මා හට මුලික දැනීමක් නොවීය.
මේ අතර නුගේගොඩ රේල්වේ ඇවනියු හි මොහාන් ලාල් ග්‍රේරෝ මහතාගේ එක් වසරක කඩිනම් භෞතික විද්‍යාව පාඨමාලාවක් ආරම්භ කරන බව ආරංචි වී ඒ පන්තිය සඳහා සහභාගී වීමට තීරණය කලෙමි. මේ පන්තියේ දී එක සතියකදී ගණන් 200 ක් සහිත පොතක්ම ලැබෙන අතර සෙනසුරාදා දිනයේ මෙම පන්තියට සහභාගී වන මම ඊළඟ දවස් හතේම තටම තටමා මුළු ගණන් පොතම හදන්නේ මගේ ගණන්කාර මිත්‍රයාට පින් සිදු වන්නටය. (දැන්නම් පැයට රුපියල් 6000 ක් වත් අය කරනු ඇත)

ජංගම දුරකථන හෝ ස්ථාවර දුරකථන කිසිවක් නොවූ මේ වකවානුවේ මා ගත කල ඇඩ්‍රස් නැති ජීවිතය කාලය කළමනාකරණය සඳහා විශාල ආශිර්වාදයක් වුයේ අනවශ්‍ය සබඳතා කිසිවක් නොවූ බැවිණි. උවමනාවට වඩා මුදල් හදල් නොමැති වූ බැවින් ගුරුවරුන් හූනියම් පෙට්ටිය ලෙස හැදින්වූ රුපවාහිනි යන්ත්‍රයක් ද නිවසේ නොතිබුණි. ඇති තරම්  කාලය තිබු බැවින් වතුර බේසම් වල කකුල් ඔබා ගෙන නිදි මරමින් පාඩම් කරන්නට සිදු වුයේ නැති අතර දිනපතාම රාත්‍රී 11 වන විට නින්දට ගොස් උදෑසන 6 වෙනතුරු හොඳට නිදා ගත්තෙමි. උදෑසන 7 ට පමණ අධ්‍යාපන කටයුතු පටන්ගෙන සවස 4 වෙන තුරු එක දිගට එම කටයුත්තේ යෙදීමෙන් අනතුරුව පරණ පුරුද්ද අත්හැර ගැනීමට නොහැකිව කමතේ සහ වෙලේ බෝල ගැසීම නම් නතර කලේ නැත.


ගණන්කාර මිතුරාගේ ගෙදර ඔහුගේ සටහන් භාවිතා කරමින් රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාව හැදෑරූ අතර සත්ව විද්‍යාව සහ උද්භිද විද්‍යාව නිවසේදී තනිවම වනපොත් කලෙමි.

ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි අරගලය ලියලමින් තිබුන අතර මා ඉතා අප්‍රසිද්ධ ජීවිතයක් ගතකරමින් සිටි බැවින් කාගේවත් අවධානයට යොමු නොවීම විශාල වාසියක් විය. මේ වන විට අප පදිංචිව සිටියේ ගනේමුල්ල ප්‍රදේශයේ කුලී නිවසක වූ බැවින් අසල්වැසියන්ටද මා පිලිබඳ සොයා බැලීමට උනන්දුවක් නොවීය.
කුලී නිවසට නල ජලය නොවුයෙන් ඇලුමිනියම් කලේ උරහිස මත තබා ගෙන නිවසට අවශ්‍ය පානීය ජලය කිලෝමීටර් භාගයක් පමණ දුර සිට නිවසට ගෙනැවිත් ප්ලාස්ටික් භාජන වලට පුරවා සහෝදරියන් සිව් දෙනාට උදව් කිරීම මගේ දෛනික රාජකාරියක් විය. මීට අමතරව තාත්තා විසින් ළඟ පාත තැනක අඳ ගොවි ක්‍රමයට වගා කල කුඹුරේ තාත්තා සමග කුඹුරු කෙටීම, සහෝදරියන් සිව් දෙනා සමග එක්ව ගොයම් කැපීම සහ ගොයම් මිටි කමතට ඇදීමට සහයෝගය දැක්වීම ද සාමාන්‍ය කටයුත්තකි. ගෑස් ලිප් නොතිබුණු අපේ ගෙදර ලාබදායි ලී කුඩු ලිපට ගනේමුල්ලේ පිහිටි ලී මෝල් වල සිට ගෝනි වල පටවා ලී කුඩු ගෙන ඒමද මා විසින් කරන ලද රාජකාරියකි. බොරු සෝබන ලජ්ජාවෙන් තොරව අප ගත කල මේ උත්සාහවන්ත ජීවිතය නිසා අපේ පවුල ණයත් නැතිව බයත් නැතිව ජීවත් විය.

ඕවිටක් අද්දර තිබු නිතරම උතුරා යමින් තිබු ළිඳකින් බාල්දියෙන් ගණන්කර දිනපතා නා ගන්නා මම සුදු කමිස දෙකේ පඩු පැහැය සැඟවීමට රොබින් නිල් යෙදීම මනා ලෙස ප්‍රගුණ කර තිබුණි. මේ කිසිවක් දුප්පත් කම නොවූ අතර මේ යුගයේ මධ්‍යම පාන්තික දරුවෙකුගේ අල්පේච්ච සරළ ජීවන රටාව විය.
දැනුම්  තේරුම් ගිය දින සිට අප කිසිදාක අපේ ඇඳුම් පැළඳුම් දෙමව්පියන් ලවා සෝදවා  ගත්තේ නැත. ගෙවල් දොරවල්  අස්පස් කිරීමේ සිට දර පැලීම දක්වා සියලු කටයුතු කිසිඳු පැකිලීමකින් තොරව ඉටු කලෙමි. සහෝදරියන් සිව් දෙනා හා මා අතර බරපතල මතභේද කිසිදා ඇති නොවූ අතර පොඩි එකා ලොකු එකාට ගරු කිරීම තාත්තා  විසින් ස්ථාපිත කරන ලද නීතියකි.  අදටත් බලන්ගොඩ පිහිටි අපේ  මහ ගෙදර කිසිවෙකුගේ නමින් ලියවාගෙන නැති අතර තාමත් එය අප සියලු දෙනාටම අයිති පොදු නිවහනකි.

සාමාන්‍ය පෙළ ඉතා උසස් ලෙස සමත්වන බොහෝ සිසුන් කරන වැරද්දක් නම් තමා පිළිබඳ ඇති කර ගන්නා අධිතක්සේරුව මත උසස්පෙළ ඉබේම සමත් වෙතැයි සිතා අතරමැද උත්සාහයකින් උසස්පෙළ විභාගයට මුහුණ දීමයි. ප්‍රතිඵලය වන්නේ අතරමැද ප්‍රතිඵලයක් ලබා සරසවි වරම් අහිමි වීමයි.  
අනෙක් අයට සාපේක්ෂව මගේ තැන බින්දුව යැයි සිතා ගෙන උපරිම ජවයෙන් දින 365 තුලම විභාගයට සුදානම් වීම මගේ ක්‍රමය විය. සටන ඉවර වෙන්නේ අන්තිම ප්‍රශ්ණ පත්‍රයේ අන්තිම තත්පරයේදීය. එසේ නොමැතිව අතිශයින් තරඟකාරී විභාගයක පළමු පොකුරේ සාමාජිකයෙකු ලෙස තරඟය නිම කල නොහැකිය.  
මාත් මගේ ගණන්කාර මිතුරාත් සැලසුම් සහගතව දියත් කල අධ්‍යාපන සංග්‍රාමය අවසන් වුයේ ඔහු මොරටුව ඉංජිනේරු පීඨයටත් මා කොළඹ වෛද්‍ය පීඨයටත් සමත්වීමෙනි.



   
සුපිරි ගුරුවරු-  (මැට්ටා මෙඩිකල් කොලේජ් ගිය කථාව -  3   )

ඒ කාලේ පාසැලකට ගුරු පත්වීමක් ලබා ගැනීමට  පෙර මහරගම ගුරු අභ්‍යාස විද්‍යාලයේදී ඉගැන්වීම පිළිබඳව පුහුණුවකට යටත් විය යුතුය. පසු කලෙකදී විශ්ව විද්‍යාල සමතුන්ට රැකියා සැපයීමේ ඇබෑර්තු මධ්‍යස්ථාන ලෙස පාසැල් යොදා ගැනීම නිසා ගුණාත්මක බවින් යුතු ගුරුවරුන්  බිහිවීමේ අවස්ථාව මග හැරී ගිය බව මගේ පෞද්ගලික මතයයි.
තමන්ගේ දේශනයට ශ්‍රාවකයන් සියල්ල නතු කර ගැනීමට උපන් හැකියාව මෙන්ම පුහුණුවද අවශ්‍ය වේ. වෛද්‍ය පරිපාලනය පිලිබඳ ශාස්ත්‍රපති උපාධිය හදාරන අවධියේ මෙවැනි අභ්‍යාසයක් ලබා දී එය වීඩියෝ කර නැවත අපට පෙන්වා අපේ මොට්ට වැඩ අපිටම නැවත පෙන්වා අඩු පාඩු සකස් කරන වැඩමුළු වලට සහභාගී වීමේ අවස්තාව මට ලැබුණි. අපේ පාසැල් ගුරුවරුන් කීයෙන් කී දෙනාටද මෙවැනි පුහුණුවක් ලැබෙන්නේ?
මගේ ජීවිත ඉරණම වෙනස් කල ජයසුරිය මහතා මේ සියලු අංගයන්ගෙන් පරිපුර්ණ වූ උතුම් මානුෂික ගුණාංග වලින් හෙබි ගුරු භවතෙකි. ගනේමුල්ල ප්‍රදේශයේ පැවති ටියුෂන් පන්තියක දී මට හමුවූ මේ අපුරු ගුරුවරයා ඒ වනවිට ගුරු උපදේශකයෙකුද විය. ළමුන් 60 ක් පමණ සිටි මේ පන්තියේ සෑම ළමයෙකු ළඟටම යන ඔහු ගැටලුවකට මැදිවී සිටින ඕනෑම ළමයෙකු කෙරෙහි තම පෞද්ගලික අවධාණය යොමු කරයි. කෑ කෝ ගහන සිසුන් ගැන නොතකන  ඔහු එවැනි සිසුන්ට දෙන දඬුවම ඔවුන් වෙත නොයා සිටීමයි. මේ බ්‍රහ්ම දණ්ඩ ක්‍රමය නිසා කෑ ගහන එවුන්ද ඉබේ දමනය වෙයි. ඕනෑම ගැටළුවක් ඔහු විසදන්නේ “අයියෝ සුළු දෙයක් නේ හරි ලේසිනෙ” කියමිනි. ළමයින් 60 දෙනාම ගණන් 60 ක් බෑ කිව්වොත් ගණන් 60 ම කළු ලෑල්ලේ හදා පෙන්වීමට ඔහු මැලි කමක් නොදක්වයි. කිසි විටෙක ඔහු ළමුන්ට පිටු පා කළු ලෑල්ල වසාගෙන ගණන් හදන්නේ නැත.
මේ අපුරු ගුරුවරයා සමග වැඩි ඇඳුනුම් කමක් ඇගෑලුම් කමක් නැතත් ඔහු කෙරෙහි වූ දැඩි ආදරයකින් හා විශ්වාශයකින් යුතුව මේ ගණිත පන්තියට නොවරදවා සහභාගී වුයෙමි. මට මේ ගුරුවරයා හමු වන විට සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉතිරිව තිබුනේ පාසැල් වාර දෙකක් පමණි. මේ නිසා මට කාලය කලමනාකරණය කර ගැනීමට මහත් සටනක් කිරීමට සිදුවිය. වසර කිහිපයක් ගණිතය මග හැරී තිබු නිසා හයේ පන්තියේ සිට දහයේ පන්තිය දක්වා පොත් වල අභ්‍යාස හැදෑරීමට සිදුවූ අතර එතෙක් පවත්වා තිබු විභාග සියල්ලේ ප්‍රශ්ණ පත්‍ර කටපාඩම් වෙනතුරු නැවත නැවත අභ්‍යාස කෙරුවෙමි. මේ සියල්ලේ හිර වෙන තැන් ලකුණු කරගෙන ජයසුරිය සර් ලඟට ගෙන ගොස් විසඳා ගැනීමට හැකි හැම විටම උත්සාහ කෙරුවෙමි. (ළමුන් 60 ක් අතරින් ඔහුව අල්ලා ගැනීම එතරම් පහසු වූයේ නැත).
මගේ දැඩි උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස දෙවන වාර විභාගයේදී ගණිතයට ලකුණු 45 ක් ලැබුණු අතර අවසාන වාර විභාගයේදී ලකුණු 54 ක් ලැබුණි. දැන්නම් ගණිතය අසමත් වීමේ අවදානමක් නොමැති යැයි දැඩි විශ්වාශයෙන් යුතුව එවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන්නෙමි. විභාගයේදී ද ගණිත ප්‍රශ්න පත්‍රයට මුහුණ දීමේදී  එතරම් ගැටළුවක් ඇති නොවිණි.
සාමාන්‍ය පෙළ විභාගය නිම වී දින කිහිපයක් ගතවිණි. එක දිනක රාත්‍රී 8 රුපවාහිනි ප්‍රවෘති වලින් කියවුනේ එම වසරේ ගණිත ප්‍රශ්න පත්‍රය එක්තරා ටියුෂන් පන්තියක ගුරුවරයෙකු විසින් කලින් පිටකර ඇති බැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි ගණිත විභාගය අවලංගු කරන බවත් REPEAT විභාගය පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙන බවත්ය. “අපි නැග්ගොත් ඉතිං පුවක් ගහෙත් දෙබලක්” කිව්වලු. ඊට පස්සේ වෙච්ච දේ කියන්න “මතු සම්බන්ධයි” නොකියා වෙන මොනවා කියන්නද?

සාමාන්‍ය පෙළ ගණිත විභාගය අවලංගු වී නැවත විභාගයක් පැවැත්වීම එකම ඉනිමේ දෙවරක් ක්‍රීඩා කිරීමට ලැබුනාක් වැනි සුපිරි චාන්ස් එකකි. මම වගේ පිදුරු ගහෙත් එල්ලෙන එකෙකුට එය දෙකේ දෙකේ කඹයකි. විය යුතු පරිද්දෙන්ම ගණිතයට සම්මානයක් සහිතව සාමාන්‍ය පෙළ සමත් වීමට මට හැකියාව ලැබුණි.
උසස්පෙළ ජීව විද්‍යාව හදාරමින් සිටි ජ්‍යෙෂ්ඨ සිසුන් ඉතා විශාල පොත් උස්සාගෙන යනු දුටු විට මට ගණිත අංශයෙන් උසස් පෙළ හැදෑරීම හොඳ යැයි සිතුනි. දවස් දෙකක් ගණිත අංශයේ පන්තියක වාඩි වී සිටියෙමි.
“ඔයා දැන් ඒ ලෙවල් වලට මොනවද කරන්නේ?” අම්මා මගෙන් ඇසුවාය. “මම මැත්ස් පන්තියට ගියා”.කිසිවක් කථා නොකල අම්මා කොටු රූල් කොලයක් මගේ ඇත තැබුවාය. “මේ දරුවා විද්‍යා අංශයෙන් උසස් අධ්‍යාපනය හැදෑරීම ඉතා සුදුසුයි. ඔහුට ඉතා ඉහල ජයග්‍රහණයක් ලැබෙනු ඇත”. කැලණිය විහාරයේ වැඩ සිටි ජ්‍යොතිෂය කටයුතු පිලිබඳ සුප්‍රසිද්ධ හිමිනමකගේ අත්සන පහලින් යොදා තිබුණි.
පසුවදාම මම ජීවා විද්‍යා පන්තියේ වාඩි වුනෙමි.
උසස් අධ්‍යාපනයට සියලු පහසුකම් සහිත ඉතා  හොඳ ප්‍රදේශයක් වූ ගම්පහ නගරයේ සියලු විෂයන් සඳහා අති දක්ෂ ටියුෂන් ගුරුවරු සිටියත් ටියුෂන් පන්ති යාම සඳහා මවගෙන් මුදල් ඉල්ලීමට මගේ හිත දුන්නේ නැත. දරුවන් පස් දෙනෙකුගෙන් යුත් මගේ පවුලේ සියලු සාමාජිකයන්ට බෙදී යන දෙමව්පියන්ගේ ආදායම මට විතරක් වියදම් කලොත් අනිත් අයට යන කල කුමක්ද? එසේ සිතු මා විකල්ප ක්‍රමයක් කල්පනා කලෙමි. ( මෙය සොරකමක් හෝ වංචාවක් ලෙස නොසිතන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. සියලු සැප සම්පත් 


මව්පියන්ගෙන් ලබා ගෙන ජීවිතය අයාලේ යවන පොඩි එවුන්ට පාඩමකට හොඳ බැව් සිතෙන නිසා ලියමි)
ගම්පහ ගල් පල්ලිය පාරේ අයි. එස්. එම්. ආයතනයේ ටියුෂන් පන්තියේ ළමුන් දහස් ගානක් වුහ. එක විෂයකට රුපියල් 60 ක් අය කෙරුණි. රුපියල් හැටක් අතේ නොතිබූ මා හට ටියුෂන් පන්තියේ කාඩ් එක මිළ දී ගත නොහැකි වූ අතර කිසිඳු නිබන්ධනයක්ද නොලැබුණි. කාඩ් එක නොමැති මා පිටුපස කෙටි බිත්තියෙන් පැන පන්තියේ අන්තිම බංකුවේ වාඩිවී අනවසරයෙන් අධ්‍යාපනය ලැබුවෙමි. පන්තියේ සූ ගාලා සෙනග සිටි බැවින් මා වැන්නන් ගැන සොයා බැලීමට ගුරුවරයාට හෝ පන්තියේ හෝල් අයිතිකාරයාට ඉඩ කඩක් නොවීය. ගෙදරින් මුදල් නොඉල්ලා මගේ සහෝදරියන් වෙනුවෙන් මා කල මෙම කැප කිරීම මගේ දෙමව්පියන් දැන සිටියේ නැත. අම්මා මේ බව දැන සිටියානම් කෙසේ හෝ මුදල් සොයා දෙන්නටද ඉඩ තිබුණි. එහෙත් හොඳින් ඉගෙන ගන්නා සහෝදරියන් සිව් දෙනා ගේ දියුණුව දැක සියලු හිත් වේදනා අමතක කර මගේ ඉලාක්කය හඹා ගියෙමි.

කිසිඳු මුද්‍රිත නිබන්දනයක් නොලැබුන නිසා මා ළඟ සිටි ළමුන්ගේ නිබන්ධනය දෙස බලාගෙන ඒවා අතින් පිටපත් කර ගැනීමට මා පුරුදු වුනෙමි. මේ ක්‍රමය නිසා ඇතැම් විෂය කරුණු නිබන්ධනය අයිතිකරුවාට වඩා හොඳින් මගේ හිතේ  ධාරණය විය. ෆොටෝ කොපි ක්‍රමය සුලභ නොවූ මේ වකවානුවේ මේ හැර වෙන විකල්පයක් නොවීය.


ජීව විද්‍යා පන්තියේදී ද පරණ අකරතැබ්බය මා පසුපස හඹා ආවේය. සෑම වාර විභාගයකදීම භෞතික විද්‍යාවට  ලකුණු 10 කට වඩා ලබා ගත නොහැකි විය. ඒ අස්සේ පාසලේ ප්‍රධාන ශිෂ්‍යනායකයා ලෙස බරපතල වගකීමක් ද ලැබුණි. කුඩා කල ගණිත විෂයට සිදු වූවාක් මෙන්ම උසස්පෙළ  භෞතික විද්‍යාව විෂයටද මා හට සුදුසු ගුරුවරයෙක් හමු නොවීය. අදටත් මගේ ජනප්‍රියම භෞතික විද්‍යාව ආචාර්ය වරයා වූ මොහාන් ලාල් ග්‍රේරෝ මහතා එකල ගම්පහ ප්‍රදේශයේ ඉගැන්වුවත් එම පන්තියට මුල සිටම සහභාගී වීමට මා අත මුදල් තිබුනේ නැත. තාප්පයෙන් පනින ක්‍රමය ඔහුගේ පන්තියේදී කල නොහැකි විය.
පළමුවර උසස්පෙළ විභාගයේදී මා බලාපොරොත්තු වූ පරිදිම භෞතික විද්‍යාව සමත්විය නොහැකි විය. තැවීම දුක් වීම පලක් නොවන දෙයකි. ළිඳේ වැටුණු එකා ළිං කටෙන්ම ගොඩවීමේ  න්‍යායට අනුව ඊළඟ මෙහෙයුම ආරම්භ කලෙමි.
මතු සම්බන්ධයි (පාසැල් නොයා ටියුෂන් නොයා මෙඩිකල් කොලේජ් ගිය හැටි ඊළඟට කියවන්න --ජීවිත පාඩම දැනගන්න -ඉවසීම පුරුදු කරන්න)