Monday, May 29, 2017

ගංවතුර ව්‍යසනයේදී ඖෂධ භාවිතය

අවාසනාවන්ත ගංවතුර උවදුරෙන් විපතට පත් සියලු දෙනා වෙත පළමුව ශෝකය ප්‍රකාශ කරමි. මේ අර්බුධකාරී මොහොතේ කිසිඳු ප්‍රමාදයකින් හෝ හිඟයකින් තොරව අත්‍යාවශ්‍ය ඖෂධ සැපයීමට පුර්ණ හැකියාව අප ආයතය සතුව ඇති බව ඉතා වගකීමෙන් යුතුව සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වරයා ලෙස මගේ මුහුණු පොත හරහා මහජනතාව වෙත දැනුම් දෙමි.

පහත සඳහන් උපදෙස් අනුගමනය කිරීම අපගේ සේවාවන් සැපයීම පහසු වෙනු ඇත

1.       සහන කඳවුරු ආහාර,නවාතැන් සහ අනෙකුත් මුලික අවශ්‍යතාවයන්ට යොදා ගන්නා අතර හැකි තාක් රෝගීවූ පුද්ගලයන් ළඟම ඇති රෝහල් වෙත යොමු කරන්න.(රෝහල් වලට අත්‍යාවශ්‍ය ඖෂධ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වරුන්ගේ සහ රෝහල් අධ්‍යක්ෂ වරුන්ගේ අධිකාරියට යටත්ව නිකුත් කිරීමට ඔවුන් වෙත අප විසින් පැය 24 පුරාම සැපයීමට කටයුතු යොදා ඇත)


2.       ගංවතුර තත්වයකදී විශේෂයෙන් අවශ්‍ය වන සේදුම් කාරක සහ විෂ බීජ නාශක ඉහත බලධාරීන්ගේ ඉල්ලී මට අනුව අප ආයතනයේ ලොරි රථ මගින් ඔවුන් වෙත මේ වන විටත් යවා ඇත.
3.       මේ වන විටත් එසේ ඉල්ලීම් නොකළ ආයතන ප්‍රධානීන් හෝ සෞඛ්‍ය බලධාරීන් වේ නම් 0112686464 අංකය අමතා අප ආයතනය දැනුවත් කල හැක.


4.       පසු ගංවතුර තත්වයකදී වෛද්‍ය සායන/කඳවුරු  සඳහා ඖෂධ සැපයීම කොළඹ ජාතික රෝහලේ ස්ථාපිත ආපදා කළමනාකරණ ඒකකය හරහා සිදු කිරීමට අපේක්ෂා කරන අතර ඒ සඳහා වූ ඉල්ලීම් 0112686464 අංකයට හෝ, සෞඛ්‍ය අමාත්‍යංශයේ ආපදා කළමනාකරන ඒකක සම්බධීකාරක අංශයේ වෛද්‍ය අසංක මහතා 0773877696 අමතා සහය ලබා ගන්න.


5.       ජාතික රෝහල 0112691111 අංකය අමතා එහි ආපදා කළමනාකරණ ඒකකය සම්බන්ධ කර ගන්න.
6.       ලඟා විය නොහැකි ස්ථාන වලට ඖෂධ අමාරුවෙන් රැගෙන යාම(DUMPING ) නොව ගංවතුරට ගොදුරු වූ ප්‍රදේශ ආශ්‍රිත රෝහල් සඳහා අදාළ බලධාරීන් දැනුවත්ව ඖෂධ සැපයීම  අපගේ අරමුණ බව කාරුණිකව සලකන්න. (මේ අවස්ථාවේ ප්‍රමුඛ කාර්යය අනතුරට පත්වූවන් ආරක්‍ෂිත ස්ථාන වෙත රැගෙන යාම වෙනු ඇත. අදාළ තාවකාලික ආරක්ෂිත ස්ථාන වල පැවැත්වෙන සෞඛ්‍ය කඳවුරු පළාතේ ප්‍රා: ලේ:, PHI,MOH, regional director health services, අධීක්ෂණය යටතේ හැකි හැම විටම සංවිධානය කරන්න. අප විසින් නිකුත් කරන ඖෂධ රෝගීන්ට නිකුත් කිරීමේ අධිකාරී බලය ඇත්තේ ඔවුන්ට බව කරුණාවෙන් සලකන්න.)
7.       මී උණ සඳහා නිර්දේෂිත ඖෂධ පවා මේ ආකාරයට ලබා ගත හැක.

8.       ගංවතුරට ගොදුරුවූ අය හැරුණු විට අනෙක් අය අනවශ්‍ය ලෙස ගංවතුරට බැසීමෙන් වලකින්න (විශේෂයෙන් සහන කණ්ඩායම්). හැකි හැමවිටම බෝතල් කල පානීය ජලය හෝ උණුකර නිවාගත් ජලය භාවිතා කරන්න.
9.       ඉහත කිසිඳු පියවරකින් ඔබේ අපේක්ෂාව ඉටු නොවුනේ නම් ඖෂධ පිලිබඳ ඔබේ අවශ්‍යතාවය ලියා 0112686530 මා වෙත ෆැක්ස් කරන්න. ෆැක්ස් එක එවන අයගේ ජංගම දුරකථන අංකය සහ නම අනිවාර්යයෙන් සඳහන් කල යුතු බව කරුණාවෙන් සලකන්න.
10.   ඉතා අත්‍යවශ්‍ය කාරණයක් වේ නම් 0718023746 අමතන්න.

(මෙය මහ ජනතාවට පිහිටවීම සඳහා අප ආයතනයේ team work දැනුම්  දීමක් බව සලකන්න. මෙම තොරතුරු සපයනවාට වඩා ත්‍රාසජනක සිද්ධි ප්‍රචාරය කිරීමට අපේ රටේ  ජනමාධ්‍ය මාර බිසී බැවින් මහජනතාවට දැනගැනීමට සුදුසු යැයි  සිතෙන අය මෙය ශෙයා කිරීමෙන් ජනමාධ්‍ය හිඩැස පුරවන්න.මං පොර වීම, self appreciation, ආදී  පව් කාර වචන භාවිතා කරමින් තමන්ගේ සූර වීරකම් පෙන්වීමට මේ අවස්තාව අවභාවිතා නොකරන මෙන් මෛත්‍රී සහගතව ඉල්ලා සිටිමි.

 –Dr.A.T.Sudarshana--  Deputy Director, MEDICAL SUPPLIES DIVISION, MINISTRY OF HEALTH)








Self Appreciation (ස්වයං ඇගැයීම) පිලිබඳ වූ භීතිය

“මටත් ඒ මානසික අසහනය දැනුනා” නමින් වෛද්‍ය වැඩ වර්ජනයට හසු නොවී නුලෙන් බේරී මගේ සමීපතමයෙක්ට රෝග විනිශ්චය පරීක්ෂාවක් සිදුකර ගත් සිදුවීම හා පරීක්ෂණයක් කල් යාමේදී රෝගියෙකුට ඇතිවෙන පීඩාව පිලිබඳ සාකච්චා කල ලිපියට රත්නපුර මහ රෝහලේ උගත් සඟයෙක් කියා තිබුනේ මා Self Appreciation කරගන්නා පුද්ගලයෙකු බව හා මගේ දැන හැඳුනුම් කම් භාවිතා කර රෝගියෙකුට උදව් කිරීම වැරදි ක්‍රියාවක් බවය. එතුමන්ගේ අදහස් දැක්වීමට ගරු කරමි. එහෙත් ආකල්පමය දරිද්‍රතාවයෙන් හා ඉතා දුර්වල public relationship ගුණාංග වලින් හෙබි සමස්ත ශ්‍රී ලංකා රාජ්‍ය සේවය පිලිබඳ මනා වැටහීමක් ඇති මගේ එකම විනෝදාංශය මා ලබූ තනතුරු හරහා කිසිදු ප්‍රතිලාභයක් නොමැතිව දන්නා නොදන්නා සියලු දෙනාට හැකි තරම් උදව් කිරීම හා එයින් අපමණ මානසික සතුටක් ලැබීමයි.
වරප්‍රසාද ඇති බොහෝ අයට ඇලජික් වූ මගේ මේ ක්‍රියාකලාපය පිලිබඳ ඉතා යතාරූපී comment එකක් “මගේ ප්‍රතිචාරය” නමැති ලිපියට එක් මහත්මයෙක් ලියා තිබුණි.

ඔබ නිරන්තර බාධක මැද වැඩක් කරන බව පෙනේ. සමහරු අහනවා කියවා කියවා කරන්නේ මොකටද කියා. මම ඔවුන්ගෙන් අසන්නේ එසේ නොකලොත් අපි ඒවා දැනගන්නේ කෙසේද කියා. ඒවා දැනගැනීමෙන් අපිටද යුතුකම් වගකීම් පිලිබඳ තවදුරටත් අවබෝධ කරගත හැකිය. මගේ පන්තියට දරුවන් රැගෙන එන දොස්තර මිතුරන් රැසක් ඉදී. ඒ බොහෝ අය ඔබ ගැන ඊර්ෂ්‍යාවෙන් පසුවෙන බව පමණක් මා දනිමි. පල ඇති රුකට ගල් ගසයි. ඔබ සරු අස්වැන්න වපුරන්න. රටටම හොඳ ඵලදාව ලැබෙයි. සුබ පතමි.- හේවුඩ් ක්‍රියෙටිව් ස්කූල්. (උපුටා ගැනීම -Chinthaka Haywood මහතා මගේ ලිපියකට දැක්වූ comment එකකිනි)  Chinthaka Haywood මහතානෙනි උපුටා ගැනීමට අවසර පතමි.

(මා දෙස උපහාසාත්මකව බලන උතුමන් නිසා මටද සිත් තැවුල් ඇති නොවෙනවා නොවේ. එහෙත් මා කිසිදාක හැබැහින් නොදුටු මේ පාඨකයා ගේ අදහස් දැක්වීම මා සිටින තැන තව දුරටත් සිටීමට මාව උනන්දු කරවයි. තම වෘතිය සගයෙකු මිනිසුන්ට සමීපව උදව් උපකාර කරන එකට ෂෝ එක, සිල්ලර වැඩ, Self Appreciation අදී වචන යොදා ඉතා කුහක ලෙස පහර ගහන ලෝකෙන් උතුම් රටේ ජීවත් වන බැව් මා දැන සිටින බැවින් සියලු මේ දෙනාට මෛත්‍රී කරමි. සහතිකේ විතරක් කොලිටි වෙලා මොටද මොලෙයි හදවතයි  කිලිටි නම්. )

නිවසක, ආයතනයක, රටක  සාමාජිකයන් කායික මානසික හා ආධ්‍යාත්මික කුළුගැන්වීමේ හොඳම management tool එකක් ලෙස මා නිතරම දකින්නේ  Self Appreciation හෙවත්  ස්වයං ඇගැයීමයි.  ස්වයං ඇගැයීමක් සිදු කිරීම සඳහා නායකයා සතු ප්‍රායෝගිකව ක්‍රියාත්මක කල ආදර්ශමත් ගුණාංග තිබිය යුතුය.
දහම් පාසැල් රැස්වීමේදී හාමුදුරුවෝ අපෙන් ඇහුවේ දරුවෙනි  තමුන් ගෙදරදී කල හොඳ වැඩ දහයක් ලියන්න කියාය. දෙමව්පියන්ට වැඳලා ආපු එකේ ඉදන්ම මුළු සභාවටම ඇහෙන්නට අපි කියන්නේ Self Appreciation (ස්වයං ඇගැයීම) හැර වෙන මොකක්ද? මගේ Self Appreciation ඇලජික් උතුමන්ට මා කියන්නේ මා තවමත් ජීවත් වන්නේ දහම්පාසැල් ගිය යහපත් සිසුවාගේ මානසිකත්වයේ බවය. ඔහේලා ලොකු මහත්තුරු උනාට පස්සේ දහම්පාසැල් ගිය කාලේ අමතක වුනාට මම මක් කොරන්නද?
මුහුණු පොත පිරෙන්නම මා කල හොඳ වැඩ ගැන ලියන්නට තරම් Appreciation පණිවුඩ මට ලැබේ. මේ ලිපිය ලියන මොහොතේත් අනුරාධපුර මහ රෝහලේ චර්ම රෝග පිලිබඳ විශේසඥ වෛද්‍ය වරයා ඔහුට අත්‍යවශ්‍යව තිබු ඖෂධයක් කඩිනමින් ලබා දීම පිළිබඳව මගේ ජංගම දුරකතනයට කතාකොට ස්තුති කරන්නට ඇත්තේ ඔහුගේ මහත්මා ගතිය නිසා වෙන්න ඇති. අනෙක් අය බාලගිරි දෝශ ක්‍රමයට වැඩ කරද්දී මම ක්ෂණිකව එය ඉටු කරදී,  මට අසවලා ප්‍රසංශා කළා කියා මගේ මුහුණු පොතේ ලිපියක් ලියා සතුටු වීම වරදක්ද? මම ලියන්නේ කොරන දෙයින් එකක් දෙකක් පමණි. ඔක්කොම ලිව්වා නම් ඔය අප්පුහාමිලා සිහිසුන්ව වැටෙන්නේ ඉබේ සුළු දිය පහවෙමින් ය.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන වල ඇති ඉතා දුප්පත් ආකල්ප රටාව හේතුවෙන් ඇඳුනුම් කමක් නැතිව කිසිම වැඩක් කර ගැනීම අපහසු බව දන්නෝ දනිති. ඉතින් මට පුළුවන් ආකාරයට දන්න කියන අය හරහා අසරණ මිනිසුන්ට පිහිට වීමට හැකි තරම් උත්සාහ කරමි. සෞඛ්‍ය  ක්ෂේත්‍රයේ බොහෝ අයට මා උදව් කර ඇති බැවින් මගේ නම කිවූ පමණින් පෙරළා මට වෙනත් ඕනෑම ක්ෂේස්ත්‍රයකින් උදව් ලැබේ. එහෙව් අන්තර් පුද්ගල සබඳතාවයක් ඔහෙලා ගොඩනගා නොගත්තාට මං මක් කොරන්නද?
මේ වන විට මේ රටේ සාතිශය බහුතරයක් වූ සියලුම තරාතිරම් වල සෞඛ්‍ය කාර්යමණ්ඩල සේවකයන් ඉතා නිහතමානීව තමන්ගෙන් පිහිට පතා එන රෝගීන්ගේ අවශ්‍යතාවයන් කඩිනමින් ඉටුකර ගැනීමට  මගේ ජංගම දුරකතනයට  කතා කොට මගේ සහය ලබා ගනිති. කවුරු මොනවා කිව්වත් මේ රටේ සාතිශය බහුතරයක් වෛද්‍යවරු හා සෞඛ්‍ය  ආයතන ප්‍රධානීන් මා සමග ඉතා මිත්‍රශීලීව කටයුතු කරන්නේ “සුදර්ශනට කිව්වොත් වැඩේ කෙරෙනවා” කියන විශ්වාෂනීයත්වය ද සමගය. (මෙය මා විසින් උපයා ගත් කීර්තිනාමයයි. මම ඉතින් ඒක මාකට් කරනවා. ඉතින් හොඳින් perform  කරලා තමනුත් කීර්ති නාමයක් ගොඩනගා ගෙන මාකට් කර ගනිල්ලා. හූල්ල හුල්ල මට ගරහන්නේ නැතිව)


දැන් ඉතින් මේක ලිව්වාම Self Appreciation කියා ගල් ගැසීම සාධාරණද? මම දොස්තර කෙනෙක් වුනේම උසස්පෙළ ඉගෙන ගන්න කාලේ රාගම ඉස්පිරිතාලේදී පිට ගැස්ම බෙහෙත විදගන්න පැය හතරක් මාව OPD පෝලිමේ රස්තියාදු කරපු දොස්තර නෝනට කරපු අභියෝගේ දිනන්න අධිෂ්ඨාන කරපු නිසයි මහත්තයෝ. එහෙව් එකාගේ හිතිවිලි ගල් ගහලා වෙනස් කරනවා බොරු.


Monday, March 13, 2017

අරගෙන අහන්න

සිරි සඟ බෝධි ගීතය රැප් කරලා කුඩුපට්ටම් කරපු කාලේ මට දැනුන වේදනාව තවමත් එහෙමමයි. අධ්‍යා පනය මෙන්ම සෞන්දර්යද රසවිඳි මම මගේ පළමු ඒක පුද්ගල සංගීත ප්‍රසංගය පැවැත්වුයේ  මීට වසර විසි ගණනකට පෙර කොළඹ වෛද්‍ය පීඨයේ තෙවන වසරේදී. ඒ කාලේම සංගීතවේදී සරත් වික්‍රම මහතා ගේ සංගීතයට මගේ ගී රචනා සහිත ගීත හයක් සහිත කැසට් පටියක් නිර්මාණය කළා. රාජකාරී ජීවිතය සමග කාර්ය බහුල වීම නිසා මේ නිර්මානකරණය  අතහැරුණා.

ම ඉතා ප්‍රිය කරන ප්‍රවීණ සංගීතවේදී ලක්ෂ්මන් හිල්මි මහතා සමග එක ගීතයක් නිර්මාණය කරන්න ගිය මට ගීත 16 ක් ම කරන්න සිදු වුනේ මේ අපුරු සංගීතවේදීයා තුල තිබු පුදුම සහගත තනූ නිර්මාණයට මා වශී වුණ නිසයි.

මෙම ගීත 16 ම රචනා කලේ මා විසින් වුවත් ඒ ඇතැම් ගීත සඳහා මුලාශ්‍ර ලබා ගත්තේ මුහුණු පොතේ ලියවුනු කවි නිර්මාණ වලින් බව කියන්නේ ඉතා නිර් ව්යාජවයි. බොහෝ ගීත සඳහා යොදා ගත්තේ කවි  පද දෙකක් පමණක් වුවත් ගීතයේම නිර්මාණ අයිතිය කවුරු හෝ ඉල්ලා සිටියොත් කොන්දේසි විරහිතව ඒ අයගේ නමින් ගීතය නම් කෙරෙනු ඇති.
“පෞර්ෂය බිඳගෙන හොටු පෙරා ගෙන හඬා වැටෙන ගීත රැල්ලට” පිළිතුරක් ලෙස නිර්මාණය වූ මෙම ගීත 16 පර්යේෂණ මට්ටමේදී සවන් දුන් හැම දෙනාම කිව්වේ “ටොප්” කියලා. (අහලම තමයි බලන්න වෙන්නේ )

මෙහි නිෂ්පාදන පිරිවැය ඉතා ඉහල වුවත් සී. ඩී. තැටියක් රුපියල් 200 කට අලෙවි කරන්නට සැලසුම් කර තිබෙන්නේ, නිකන් දෙන කිසිවක වටිනා කමක් නැති නිසා මෙන්ම කිසිවක් බලෙන් කරේ ගැසීම නොකළ යුතු බැවිණි. (කොපිය 100 ට ගන්නේ මොකටද ඔරිජිනල් එක 200 ට තියෙද්දී )
මේ වන විට පිටපත් නිර්මාණය සඳහා සිංගප්පුරුවට යවා ඇති “මාස්ටර් ටේප්” එකේ වැඩ නිම කර මාර්තු මස අගදී අවශ්‍ය අයට මිලදී ගැනීමට පහසුකම් සැලසීමටයි බලාපොරොත්තුව.
දියනියෙකුට දෙමව්පියන් ගැන කියන්න ලස්සන ගීයක්, බක් මහ අසිරියට නව නිර්මාණයක්, විවාහ වෙන දාට අලුත් වෙඩින් සෝන්ග් එකක් ලක්ෂ්මන් හිල්මි අපුරුවට නිර්මාණය කළා. අහලම බලන්න මගේ මේ සංගීත චිකිත්සාව. (සන්සුන්ව සිටිනු මිස වාද විවාද වල පැටලීමට බලාපොරොත්තු නොවෙමි)
 

මම යන්නේ කොයි පාරේ?

මගේ ෆේස් බුක් ඉන්බොක්ස් එකට ගාල්ල ප්‍රදේශයේ තරුණ නීතීඥ මහතෙකු පහත සඳහන් පණිවිඩය එවා තිබුණා.

“මචං ඩොකා උඹ සිරා පොරක්. මේ ෆේස් බුක් එකේ වැඩක් කරපු එකෙක් කථා කරනවා දැක්කමයි. උඹ වගේ වැඩ කරපු අනිත් එවුනුත් ඉස්සරහට ඇවිත් කතා කරන්න ඕන. ලජ්ජාවෙන් කට වහගෙන හිටියොත් ඒක වැරදියි. එතකොට බොරු පොර ටෝක් දෙන ෆේස්බුක් වීරයන්ගේ කටවල් වැහෙයි. උඹට ජය!”

මගේ ෆේස් බුක් ගිණුමට අලුත් සාමාජිකයන් ඇතුලත් කර ගැනීමට ඇති අපහසුතාවය පිළිබඳව ලියු ලිපියකට අංගොඩ පැත්තේ රෝහලක පරිපාලනයට සම්බන්ධ වෛද්‍ය මල්ලි කෙනෙක් මෙහෙම කමෙන්ට් කරලා තිබුනා.

“වැඩ කරන අය ඒවා කියවන්නේ ලියන්නේ නෑ. ඔයිට වඩා මහා වැඩ කාරයෝ ඕව ලියලා නෑ. ඔය ලියන අය කියන තරම් වැඩ .... මන්දා. මේවා ලියන එක හරිම ඔඩ් වැඩක්. ඕවා ලිව්වා කියලා රෝහල් දියුණු කරන්න බෑ.”

මේ වන විට මේ රටේ රෝහල් 80% ක විතර මුල් පුටුවේ ඉන්නේ මගේ සමකාලීනයෝ. ඒ හුඟක් දෙනා මා කල ඔවුන් නොදැන සිටි වැඩ මේ ලිපි මගින් දැනගෙන මාව ධෛර්යමත් කළා. සමහර මිතුරන් අභිප්‍රේරණ දේශණ සඳහා මට ආරාධනා කළා. (සුළු පිරිසක් අපහාස උපහාස නොකලා නොවේ).

මා වැඩ කල හැම රෝහලකදීම මා කල පළමු කාර්යය වුනේ මට පෙර සිටි ප්‍රධානියාගේ ජායාරූපය කාර්යාලයේ එල්ලීමයි. එයින් මම දුන්නු පණිවිඩය වුනේ මේ තරම් දුරට එම ආයතනය ලැබූ ප්‍රගතියේ ගෞරවය අලුතෙන් ආ මට වඩා මගේ පුර්වගාමියාට හිමි විය යුතු බවයි. (මා විසින් මොන ප්‍රාතිහාර්ය සිදු කලත් මට පෙර සිටි අය කිසිවක් නොකළා යැයි කිසිවෙකු නොසිතිය යුතු බවයි)

මා විසින් ලියු බොහෝ ප්‍රජා මූලික ව්‍යාපෘති ලක්ෂ 10 ට වඩා ඇස්තමේන්තු කර තිබුණු ඒවා. ධර්මද්වීපයේ උන්දැලාගේ කෙරුවාව දන්න නිසා මේ සෑම ව්‍යාපෘතියකම ප්‍රොජෙක්ට් ෆයිල් එකක් හදලා අදාල රෝහලේ ප්ලෑනින් යුනිට් එකේ තිබ්බා. මම ආවට පස්සේ ඒවා අතුරුදන් විය හැකි නිසා පොටෝ කොපිය මා ළඟ තියා ගත්තා. මේවා අධ්‍යනය කරනවා තබා ලියන එකටත් ඇලජික් එවුන් ඉන්න බව මම දන්නවා.(කීර්තිමත් ලයනල් ප්‍රනාන්දු මහතා ඇතුළු නිර්මාණශීලී පරිපාලකයන් හොඳ සංනිවේදකයන් මෙන්ම ලේඛකයන්) එහෙව් රටේ මගේ ලිවීමේ නිදහසටත් සමහරු වෛර කරනවා.  ප්‍රජා සහභාගීත්වය 75% ක් පමණ ඇති මේ ව්‍යාපෘති අමතක කර හැම දේම ආණ්ඩුවේ කොන්ත්‍රාත් කාරයන්ට භාර දුන්නු අපි ණය ගෙවාගන්න බැරියෝ කියලා ලතෝනි දෙද්දීත් ටීම් වර්ක් ආකල්පයට යන්න බහුතරයක් හරිම ලැජ්ජයි. “අයියෝ සල්ලි” (එදා දවසේ මහ පාරේ ඇක්සිඩන්ට් වෙලා මැරිච්ච ගාන බ්‍රේකින් නිව්ස් වෙච්ච රටක මේවත් නිව්ස් ද ? නේද මල්ලි ?)

මම තාම ලිව්වේ මගේ අත්දැකීම් වලින් 10% යි. අවුරුදු 16 ක් තුල රෝහල් 08 ක පරිපාලනයට සම්බධ වූ මට මේ පරිපාලන දොස්තර මල්ලිව මුලිච්චි වෙලා නෑ. එයා තාම පලවෙනි පුටුවේ වාඩි වුණා විතරයි මයේ හිතේ.  

මොනවා වුනත් මේ දෙන්නම අපේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් බිහිවුන ප්‍රාමාණික උගතුන් දෙපලක්නේ. මම ඔවුන් දෙදෙනාගේම අදහස් වලට ගරු කරනවා.

මගේ ලියවිල්ලට  දිනපතා පුවත්පත් කියවන තරමට මේ රටේ  දහස් ගණනක් ඇබ්බැහි වෙලා කිව්වොත් ඒක අතිශෝක්තියක් නෙවෙයිනේ. මේ බහුතරයක් අපේ රටේ යෞවන යෞවනියන් ඒ වගේම දෙස් විදෙස් උගතුන් හා සාමාන්‍ය ජනතාව. තමුන්නාසේලා එක්කෝ ලියන්න තරම් දෙයක් කොරලා නෑ. එහෙම නැත්නම් කොරපු ඩි න්ගිත්තවත් ලියා ගන්න තේරෙන්නේ නෑ. ඒකට ඉතින් මං මක් කොරන්නද?

ඉතින් මට කියන්න මගේ ඉතිරි අත්දැකීම් 90% බෙදා හදා ගැනීමේදී මම වඩා සැලකිල්ලට ගත යුත්තේ මේ දෙදෙනාගෙන්  කවර වෘතිකයා කියන දේද?
(බහුතර අදහස් විමසීමට විවෘතයි- ඊර්ෂ්‍යාව, වෛරය ,ක්‍රෝධය නැති සමාජයක් ප්‍රාර්ථනා කරමු)


Tuesday, January 24, 2017

මැට්ටා මෙඩිකල් කොලේජ් ගිය කථාව 01 ( THE TURNING POINT )

හතේ  පන්තිය වන විට වත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි මා හට ගණිතය විෂය ඉගැන්වීමට පන්තියට මෙන්ම අහල ගම් හතක ගණිත ගුරුවරයෙකු සිටියේ නැත. ගණිතය කාලපරිච්චේදයේදී  ෆුල් ජොලියේ කාලය කා දැම්මේ නොදන්නා ගණිතය ඉගෙන ගැනීමද මහා වධයක් වූ බැවිණි.
පුරා වසරක් ගණිතය එක ඉලක්කමක්වත් හදාරන්නේ නැතිව පන්තියේ පළවෙනියා ලෙස අවසාන වාර විභාගයේදී සහතිකය ලබා ගන්නා මගේ ඊළඟ පාසැල වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ කීර්තිමත් මධ්‍ය මහා විද්‍යාලයක් වූ ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයයි.

අටේ පන්ති පහ අතරින් “ 8 ඊ” පන්තියේ මා සමග සිටි සියලු දෙනා පහේ ශිෂ්‍යත්වය අසමත් වී මගදී විවිධ හේතු මත පාසැලට ඇතුළු වූවන්ය. ඉබ්බෝ දියේ දැම්මාම ඇන්නාවේ කියුවාක් මෙන් ගණන් වලට අකමැති බහුතරයක් වූ අපට මේ අවුරුද්දේ පත් කර තිබු ගණිත ගුරුවරියද  ප්‍රසුත නිවාඩු ලබා සිටියාය. වැඩිපුරම ගම්පහ මේඛලා චිත්‍රපටි හෝල් එකේ ගෙදරට හොරෙන් චිත්‍රපටි බලපු එවුන් හිටියේ මේ පන්තියේ බැවින් පෙරදින බැලු චිත්‍රපටි කතා නැවත විකාශය වුයේ ටීචර් නැති ගණිත පීරියඩ් එකේදීය.

කාල් ලුවිස් ගේ ක්‍රමයට අනෙක් සෑම විෂයකටම ලකුණු 90 න් ඉහල ප්‍රමාණයක් ලබා ගනිමින් BIG LEAD එකක් ගන්නා මා වසර අවසානයේදී පන්තියේ පළමුවැනියා වෙන්නේ ගණිතයට ලකුණු 04 ක් පමණක් හිමි කර ගනිමිනි. ගණිතයට  ලකුණු 04  ක් ලබා ගැනීම පන්තියේ පළමුවැනියාට මදි කමක් බැවින් මම ගෙදර යන්නේ ලකුණු හතරේ බින්දුවට පුංචි ඉරි කෑල්ලක් යොදා එය ලකුණු 94 ලෙස සංශෝධනය කර ගනිමිනි.
මාගේ අධ්‍යාපනික උන්නතිය ගැන නිතර අවධානයෙන් පසු වන මගේ අම්මා අපේ ගෙදර සහෝදරියන් සිව් දෙනාගේ සහ මගේ ප්‍රගති වාර්තා  “චෙක් කිරීම” සාමාන්‍ය සිරිතයි. හෑන්ඩ් ලූම්, පවර් ලූම්, ගුරුවරියක් හා මෝස්‌තර සම්පාදිකාවක වූ මගේ මව රිපෝට් කාඩ් එක හොදින් කියවා බලා දකුණු කන මිරිකා මට හොඳ පොල් ටොක්කක් ඇන්න විටයි මට කල්පනාවට ආවේ, 04 රේ බින්දුවට  ඉරක් ගසා 94 කලාට TOTAL එක වෙනස් කරන්න අමතක වුණ බව.

“මම දන්නවා ඔයා ගණිතයට දුර්වල බව. ඔයාගේ අනිත් ලකුණු කිසි දෙයක් ගැන මගේ සැකයක් නෑ. හැබැයි ඔයාට ලකුණු 94 ක් ලැබෙන්න විදිහක් නෑ කොහෙත්ම” අපි ගණිතයට ටියුෂන් පන්තියකට යමු.
එතෙක් ජීවිතයට ටියුෂන් පන්තියකට ගොස් අත්දැකීමක් නැති මාව ගණිතය විෂය සඳහා ටියුෂන් පන්තියකට යැවීමට අම්මා තීරණය කළාය. ටියුෂන් පන්තියක් සඳහා යාමට සිදුවුනේ ගනේමුල්ලේ සිට බටුවත්තටය. මේ සඳහා තාත්තාගේ හම්බර් බයිසිකලයෙන් රේල් පාරේ පටු තීරුව දිගේ ටියුෂන් පන්ති යාමේ අවදානම් සහිත දින චරියාවට ආරම්භ කලෙමි.


මැට්ටා මෙඩිකල් කොලේජ් ගිය කථාව - (2)

රේල් පාරට සමාන්තරව මිනිසුන් පයින් ගමන් කිරීම නිසා තණකොළ ගොල්ලේ නිර්මාණය වූ පටු අඩි පාරේ බයිසිකලයේ නොවැටී යාම එකළ මට එතරම් දුෂ්කර කටයුත්තක් නොවීය. වඩාත්ම දුෂ්කර කටයුත්ත වුයේ රේල් පාරේ තැනින් තැන ඇති යකඩ පාලම් මතින්  බයිසිකලය පැද යාමයි. මේ ස්ථාන වල මිනිසුන්ට ගමන් කිරීමට අවසර නොමැති බැවින් බොහෝ තැන් වල ඇත්තේ අඩියක් පමණ පළල යකඩ තීරුවකි.
මාසයක් පමණ මේ සංගිලි පාලම් උඩින් කිසිදු උපද්‍රවයකින් තොරව ගනේමුල්ලේ සිට බටුවත්තට රේල් පාර අයිනේ පටු පාර දිගේ බයිසිකලයෙන්  තරණය කලත් එක දිනක් හදිසියේ සමබරතාවය ගිලිහී ගොස් එක් පාලමක් උඩින් බයිසිකලයත් සමග ඇලට පෙරලීමට ගොස් බයිසිකලය ඇලට අතහැර රේල් පාරට බල්ටියක් ගසා ගැනීමට මට හැකිවුයේ ඒ කාලයේ මට තිබු කෙසඟ සිරුරට පින් සිදු වෙන්නටය. පේන තෙක් මානයේ කිසිවෙකු ලඟපාත නොවුයෙන් බඩවැටිය දිගේ පහලට ඇවිද ගොස් දොළ පාරට බැස බයිසිකලය ගොඩගෙන කිසිවක් නොවූ ගානට බටුවත්තේ ගණන් පන්තියට ගියෙමි.
මේ ටියුෂන් පන්තිය මට ගැලපෙන එකක් නොවන බව මට වැටහුනේ මාස දෙකකකට පමණ පසුවය. එහි ඉගැන්වූ ගුරුවරයා තනියෙම කළුලෑල්ලට ගණන් ඉගැන්වූ නිසා මට කිසිවක් තේරුම් ගත නොහැකි විය. බටුවත්ත ප්‍රදේශයේ සිටි ආනන්ද,නාලන්ද ,රෝයල් ,විශාකා ආදී විද්‍යාල වලට ගිය සිසුන් බොහොමයක් මේ පන්තියේ සිටි අතර ඔවුන්ට ගුරුවරයා උගන්වන දේ තේරුම් ගැනීමට අපහසු බවක් නොපෙනුණි. මේ පන්තියේ සිටි උඩඟු කොල්ලන් අන්දමන්දව සිටි මට “මැට්ටා” කියා  උසුළු විසුළු කරන්නට වීම පන්තිය අත්හැර දැමීමට තවත් එක් හේතුවක් විය. (මේ වැඩ්ඩන් කිසිවෙකුත් මට වෛද්‍ය විද්‍යාලයේදී හමු නොවිණි)

ගණිතය නමැති පාලම කඩා වැටුනොත් අධ්‍යාපනයේ සමස්ථ ගමනම අතරමග ඇනහිටින අවදානම ගැන මනාව වටහාගෙන සිටි මා එළැබෙන සෑම තත්පරයකදීම මාගේ ගණිත විෂයේ ගැලවුම්කරුවා සෙවීම නතර නොකලෙමි. ගනේමුල්ල ප්‍රදේශයේ ටියුෂන් පන්තියක විශ්‍රාමලත් ගුරු උපදේශක වරයෙකු වතුර වගේ ගණන් උගන්වන බව මේ අතර මට ආරංචි විය. මේ අපුරු ගුරුවරයා ඇදහිය යුතු වෙනම පරිච්ජේ දයකි.
ඩු ඕ ඩයි -DO OR DIE- (මැට්ටා මෙඩිකල් කොලේජ් ගිය කතාව -4 )


සාමාන්‍යයෙන් සෙනග රැස් වන්නේ ජයග්‍රාහකයින් වටා ය. පරාජිතයන් හුදකලා වේ. විකල්පය කෝච්චියට පැනීම නොව තමාද ජයග්‍රාහකයෙකු වීමයි.  පරාජය සමග හුදකලා වූ මා තවත් දින තුන්සිය හැටපස් දවසක් ඇවෑමෙන් ජයග්‍රාහකයෙකු ලෙස මතුවන අයුරු කල්පනා කළා මිස වටේ ඉන්න අයගේ ගුණදොස් විචාර පිළිබඳව සැලකිල්ලක් නොදැක්වුයෙමි. මේ අතර එතෙක් කල් පාසැල් යාමට මට තිබු එකම වාහනය වූ පා පැදිය සොරකම් කරන ලද අතර සාමාන්‍ය ගමන් බිමන් පයින්ම යාමට පුරුදු වුනෙමි.

මගේ නිවස අසල  ගණිත අංශයෙන් උසස් පෙළ ලියා විෂයන් 3ක් පමණක් සමත් වූ මිතුරෙක් විය. ඔහුද ඊළග වතාවේ නැවත විභාගය ලිවීමට සුදානම් වෙමින් සිටියේය. ගණිත අංශයේ විෂයන් දෙකම අහේතුවකට අසමත් වුවත් ඔහු හොඳ ගණන් කාරයෙක් බව මා දැන සිටියෙමි. මා  මෙන් නොව ඔහු පළමු වර සියලුම විෂයන් සදහා ටියුෂන් පන්ති වලට සහභාගී වුයේය. මේ නිසා සියලු සටහන් හා නිබන්ධන ඔහු සතු විය.

මේ මිතුරාගේ නිවසට දිනපතා යාම පුරුද්දක් කර ගත් මා ඔහුගේ රසායන විද්‍යාව සටහන් කියවා අලුතෙන් සටහන් නිර්මාණය කරගෙන පරණ ප්‍රශ්ණ පත්‍ර වලට පිළිතුරු ලිවීම පුහුණු වුනෙමි. කැලේ කොලේ කරක් ගසා තිබුණු මට උද්භිද විද්‍යාව තනිවම ඉගෙන ගැනීම එතරම් අපහසු වුයේ නැත. ජීව විද්‍යාවද  තනියෙම පොත් කියවා නැවත ඉගෙන ගත්තෙමි. භෞතික විද්‍යාව මේ ක්‍රමයට හැදෑරීමට තරම් මා හට මුලික දැනීමක් නොවීය.
මේ අතර නුගේගොඩ රේල්වේ ඇවනියු හි මොහාන් ලාල් ග්‍රේරෝ මහතාගේ එක් වසරක කඩිනම් භෞතික විද්‍යාව පාඨමාලාවක් ආරම්භ කරන බව ආරංචි වී ඒ පන්තිය සඳහා සහභාගී වීමට තීරණය කලෙමි. මේ පන්තියේ දී එක සතියකදී ගණන් 200 ක් සහිත පොතක්ම ලැබෙන අතර සෙනසුරාදා දිනයේ මෙම පන්තියට සහභාගී වන මම ඊළඟ දවස් හතේම තටම තටමා මුළු ගණන් පොතම හදන්නේ මගේ ගණන්කාර මිත්‍රයාට පින් සිදු වන්නටය. (දැන්නම් පැයට රුපියල් 6000 ක් වත් අය කරනු ඇත)

ජංගම දුරකථන හෝ ස්ථාවර දුරකථන කිසිවක් නොවූ මේ වකවානුවේ මා ගත කල ඇඩ්‍රස් නැති ජීවිතය කාලය කළමනාකරණය සඳහා විශාල ආශිර්වාදයක් වුයේ අනවශ්‍ය සබඳතා කිසිවක් නොවූ බැවිණි. උවමනාවට වඩා මුදල් හදල් නොමැති වූ බැවින් ගුරුවරුන් හූනියම් පෙට්ටිය ලෙස හැදින්වූ රුපවාහිනි යන්ත්‍රයක් ද නිවසේ නොතිබුණි. ඇති තරම්  කාලය තිබු බැවින් වතුර බේසම් වල කකුල් ඔබා ගෙන නිදි මරමින් පාඩම් කරන්නට සිදු වුයේ නැති අතර දිනපතාම රාත්‍රී 11 වන විට නින්දට ගොස් උදෑසන 6 වෙනතුරු හොඳට නිදා ගත්තෙමි. උදෑසන 7 ට පමණ අධ්‍යාපන කටයුතු පටන්ගෙන සවස 4 වෙන තුරු එක දිගට එම කටයුත්තේ යෙදීමෙන් අනතුරුව පරණ පුරුද්ද අත්හැර ගැනීමට නොහැකිව කමතේ සහ වෙලේ බෝල ගැසීම නම් නතර කලේ නැත.


ගණන්කාර මිතුරාගේ ගෙදර ඔහුගේ සටහන් භාවිතා කරමින් රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාව හැදෑරූ අතර සත්ව විද්‍යාව සහ උද්භිද විද්‍යාව නිවසේදී තනිවම වනපොත් කලෙමි.

ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි අරගලය ලියලමින් තිබුන අතර මා ඉතා අප්‍රසිද්ධ ජීවිතයක් ගතකරමින් සිටි බැවින් කාගේවත් අවධානයට යොමු නොවීම විශාල වාසියක් විය. මේ වන විට අප පදිංචිව සිටියේ ගනේමුල්ල ප්‍රදේශයේ කුලී නිවසක වූ බැවින් අසල්වැසියන්ටද මා පිලිබඳ සොයා බැලීමට උනන්දුවක් නොවීය.
කුලී නිවසට නල ජලය නොවුයෙන් ඇලුමිනියම් කලේ උරහිස මත තබා ගෙන නිවසට අවශ්‍ය පානීය ජලය කිලෝමීටර් භාගයක් පමණ දුර සිට නිවසට ගෙනැවිත් ප්ලාස්ටික් භාජන වලට පුරවා සහෝදරියන් සිව් දෙනාට උදව් කිරීම මගේ දෛනික රාජකාරියක් විය. මීට අමතරව තාත්තා විසින් ළඟ පාත තැනක අඳ ගොවි ක්‍රමයට වගා කල කුඹුරේ තාත්තා සමග කුඹුරු කෙටීම, සහෝදරියන් සිව් දෙනා සමග එක්ව ගොයම් කැපීම සහ ගොයම් මිටි කමතට ඇදීමට සහයෝගය දැක්වීම ද සාමාන්‍ය කටයුත්තකි. ගෑස් ලිප් නොතිබුණු අපේ ගෙදර ලාබදායි ලී කුඩු ලිපට ගනේමුල්ලේ පිහිටි ලී මෝල් වල සිට ගෝනි වල පටවා ලී කුඩු ගෙන ඒමද මා විසින් කරන ලද රාජකාරියකි. බොරු සෝබන ලජ්ජාවෙන් තොරව අප ගත කල මේ උත්සාහවන්ත ජීවිතය නිසා අපේ පවුල ණයත් නැතිව බයත් නැතිව ජීවත් විය.

ඕවිටක් අද්දර තිබු නිතරම උතුරා යමින් තිබු ළිඳකින් බාල්දියෙන් ගණන්කර දිනපතා නා ගන්නා මම සුදු කමිස දෙකේ පඩු පැහැය සැඟවීමට රොබින් නිල් යෙදීම මනා ලෙස ප්‍රගුණ කර තිබුණි. මේ කිසිවක් දුප්පත් කම නොවූ අතර මේ යුගයේ මධ්‍යම පාන්තික දරුවෙකුගේ අල්පේච්ච සරළ ජීවන රටාව විය.
දැනුම්  තේරුම් ගිය දින සිට අප කිසිදාක අපේ ඇඳුම් පැළඳුම් දෙමව්පියන් ලවා සෝදවා  ගත්තේ නැත. ගෙවල් දොරවල්  අස්පස් කිරීමේ සිට දර පැලීම දක්වා සියලු කටයුතු කිසිඳු පැකිලීමකින් තොරව ඉටු කලෙමි. සහෝදරියන් සිව් දෙනා හා මා අතර බරපතල මතභේද කිසිදා ඇති නොවූ අතර පොඩි එකා ලොකු එකාට ගරු කිරීම තාත්තා  විසින් ස්ථාපිත කරන ලද නීතියකි.  අදටත් බලන්ගොඩ පිහිටි අපේ  මහ ගෙදර කිසිවෙකුගේ නමින් ලියවාගෙන නැති අතර තාමත් එය අප සියලු දෙනාටම අයිති පොදු නිවහනකි.

සාමාන්‍ය පෙළ ඉතා උසස් ලෙස සමත්වන බොහෝ සිසුන් කරන වැරද්දක් නම් තමා පිළිබඳ ඇති කර ගන්නා අධිතක්සේරුව මත උසස්පෙළ ඉබේම සමත් වෙතැයි සිතා අතරමැද උත්සාහයකින් උසස්පෙළ විභාගයට මුහුණ දීමයි. ප්‍රතිඵලය වන්නේ අතරමැද ප්‍රතිඵලයක් ලබා සරසවි වරම් අහිමි වීමයි.  
අනෙක් අයට සාපේක්ෂව මගේ තැන බින්දුව යැයි සිතා ගෙන උපරිම ජවයෙන් දින 365 තුලම විභාගයට සුදානම් වීම මගේ ක්‍රමය විය. සටන ඉවර වෙන්නේ අන්තිම ප්‍රශ්ණ පත්‍රයේ අන්තිම තත්පරයේදීය. එසේ නොමැතිව අතිශයින් තරඟකාරී විභාගයක පළමු පොකුරේ සාමාජිකයෙකු ලෙස තරඟය නිම කල නොහැකිය.  
මාත් මගේ ගණන්කාර මිතුරාත් සැලසුම් සහගතව දියත් කල අධ්‍යාපන සංග්‍රාමය අවසන් වුයේ ඔහු මොරටුව ඉංජිනේරු පීඨයටත් මා කොළඹ වෛද්‍ය පීඨයටත් සමත්වීමෙනි.



   
සුපිරි ගුරුවරු-  (මැට්ටා මෙඩිකල් කොලේජ් ගිය කථාව -  3   )

ඒ කාලේ පාසැලකට ගුරු පත්වීමක් ලබා ගැනීමට  පෙර මහරගම ගුරු අභ්‍යාස විද්‍යාලයේදී ඉගැන්වීම පිළිබඳව පුහුණුවකට යටත් විය යුතුය. පසු කලෙකදී විශ්ව විද්‍යාල සමතුන්ට රැකියා සැපයීමේ ඇබෑර්තු මධ්‍යස්ථාන ලෙස පාසැල් යොදා ගැනීම නිසා ගුණාත්මක බවින් යුතු ගුරුවරුන්  බිහිවීමේ අවස්ථාව මග හැරී ගිය බව මගේ පෞද්ගලික මතයයි.
තමන්ගේ දේශනයට ශ්‍රාවකයන් සියල්ල නතු කර ගැනීමට උපන් හැකියාව මෙන්ම පුහුණුවද අවශ්‍ය වේ. වෛද්‍ය පරිපාලනය පිලිබඳ ශාස්ත්‍රපති උපාධිය හදාරන අවධියේ මෙවැනි අභ්‍යාසයක් ලබා දී එය වීඩියෝ කර නැවත අපට පෙන්වා අපේ මොට්ට වැඩ අපිටම නැවත පෙන්වා අඩු පාඩු සකස් කරන වැඩමුළු වලට සහභාගී වීමේ අවස්තාව මට ලැබුණි. අපේ පාසැල් ගුරුවරුන් කීයෙන් කී දෙනාටද මෙවැනි පුහුණුවක් ලැබෙන්නේ?
මගේ ජීවිත ඉරණම වෙනස් කල ජයසුරිය මහතා මේ සියලු අංගයන්ගෙන් පරිපුර්ණ වූ උතුම් මානුෂික ගුණාංග වලින් හෙබි ගුරු භවතෙකි. ගනේමුල්ල ප්‍රදේශයේ පැවති ටියුෂන් පන්තියක දී මට හමුවූ මේ අපුරු ගුරුවරයා ඒ වනවිට ගුරු උපදේශකයෙකුද විය. ළමුන් 60 ක් පමණ සිටි මේ පන්තියේ සෑම ළමයෙකු ළඟටම යන ඔහු ගැටලුවකට මැදිවී සිටින ඕනෑම ළමයෙකු කෙරෙහි තම පෞද්ගලික අවධාණය යොමු කරයි. කෑ කෝ ගහන සිසුන් ගැන නොතකන  ඔහු එවැනි සිසුන්ට දෙන දඬුවම ඔවුන් වෙත නොයා සිටීමයි. මේ බ්‍රහ්ම දණ්ඩ ක්‍රමය නිසා කෑ ගහන එවුන්ද ඉබේ දමනය වෙයි. ඕනෑම ගැටළුවක් ඔහු විසදන්නේ “අයියෝ සුළු දෙයක් නේ හරි ලේසිනෙ” කියමිනි. ළමයින් 60 දෙනාම ගණන් 60 ක් බෑ කිව්වොත් ගණන් 60 ම කළු ලෑල්ලේ හදා පෙන්වීමට ඔහු මැලි කමක් නොදක්වයි. කිසි විටෙක ඔහු ළමුන්ට පිටු පා කළු ලෑල්ල වසාගෙන ගණන් හදන්නේ නැත.
මේ අපුරු ගුරුවරයා සමග වැඩි ඇඳුනුම් කමක් ඇගෑලුම් කමක් නැතත් ඔහු කෙරෙහි වූ දැඩි ආදරයකින් හා විශ්වාශයකින් යුතුව මේ ගණිත පන්තියට නොවරදවා සහභාගී වුයෙමි. මට මේ ගුරුවරයා හමු වන විට සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉතිරිව තිබුනේ පාසැල් වාර දෙකක් පමණි. මේ නිසා මට කාලය කලමනාකරණය කර ගැනීමට මහත් සටනක් කිරීමට සිදුවිය. වසර කිහිපයක් ගණිතය මග හැරී තිබු නිසා හයේ පන්තියේ සිට දහයේ පන්තිය දක්වා පොත් වල අභ්‍යාස හැදෑරීමට සිදුවූ අතර එතෙක් පවත්වා තිබු විභාග සියල්ලේ ප්‍රශ්ණ පත්‍ර කටපාඩම් වෙනතුරු නැවත නැවත අභ්‍යාස කෙරුවෙමි. මේ සියල්ලේ හිර වෙන තැන් ලකුණු කරගෙන ජයසුරිය සර් ලඟට ගෙන ගොස් විසඳා ගැනීමට හැකි හැම විටම උත්සාහ කෙරුවෙමි. (ළමුන් 60 ක් අතරින් ඔහුව අල්ලා ගැනීම එතරම් පහසු වූයේ නැත).
මගේ දැඩි උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස දෙවන වාර විභාගයේදී ගණිතයට ලකුණු 45 ක් ලැබුණු අතර අවසාන වාර විභාගයේදී ලකුණු 54 ක් ලැබුණි. දැන්නම් ගණිතය අසමත් වීමේ අවදානමක් නොමැති යැයි දැඩි විශ්වාශයෙන් යුතුව එවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන්නෙමි. විභාගයේදී ද ගණිත ප්‍රශ්න පත්‍රයට මුහුණ දීමේදී  එතරම් ගැටළුවක් ඇති නොවිණි.
සාමාන්‍ය පෙළ විභාගය නිම වී දින කිහිපයක් ගතවිණි. එක දිනක රාත්‍රී 8 රුපවාහිනි ප්‍රවෘති වලින් කියවුනේ එම වසරේ ගණිත ප්‍රශ්න පත්‍රය එක්තරා ටියුෂන් පන්තියක ගුරුවරයෙකු විසින් කලින් පිටකර ඇති බැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි ගණිත විභාගය අවලංගු කරන බවත් REPEAT විභාගය පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙන බවත්ය. “අපි නැග්ගොත් ඉතිං පුවක් ගහෙත් දෙබලක්” කිව්වලු. ඊට පස්සේ වෙච්ච දේ කියන්න “මතු සම්බන්ධයි” නොකියා වෙන මොනවා කියන්නද?

සාමාන්‍ය පෙළ ගණිත විභාගය අවලංගු වී නැවත විභාගයක් පැවැත්වීම එකම ඉනිමේ දෙවරක් ක්‍රීඩා කිරීමට ලැබුනාක් වැනි සුපිරි චාන්ස් එකකි. මම වගේ පිදුරු ගහෙත් එල්ලෙන එකෙකුට එය දෙකේ දෙකේ කඹයකි. විය යුතු පරිද්දෙන්ම ගණිතයට සම්මානයක් සහිතව සාමාන්‍ය පෙළ සමත් වීමට මට හැකියාව ලැබුණි.
උසස්පෙළ ජීව විද්‍යාව හදාරමින් සිටි ජ්‍යෙෂ්ඨ සිසුන් ඉතා විශාල පොත් උස්සාගෙන යනු දුටු විට මට ගණිත අංශයෙන් උසස් පෙළ හැදෑරීම හොඳ යැයි සිතුනි. දවස් දෙකක් ගණිත අංශයේ පන්තියක වාඩි වී සිටියෙමි.
“ඔයා දැන් ඒ ලෙවල් වලට මොනවද කරන්නේ?” අම්මා මගෙන් ඇසුවාය. “මම මැත්ස් පන්තියට ගියා”.කිසිවක් කථා නොකල අම්මා කොටු රූල් කොලයක් මගේ ඇත තැබුවාය. “මේ දරුවා විද්‍යා අංශයෙන් උසස් අධ්‍යාපනය හැදෑරීම ඉතා සුදුසුයි. ඔහුට ඉතා ඉහල ජයග්‍රහණයක් ලැබෙනු ඇත”. කැලණිය විහාරයේ වැඩ සිටි ජ්‍යොතිෂය කටයුතු පිලිබඳ සුප්‍රසිද්ධ හිමිනමකගේ අත්සන පහලින් යොදා තිබුණි.
පසුවදාම මම ජීවා විද්‍යා පන්තියේ වාඩි වුනෙමි.
උසස් අධ්‍යාපනයට සියලු පහසුකම් සහිත ඉතා  හොඳ ප්‍රදේශයක් වූ ගම්පහ නගරයේ සියලු විෂයන් සඳහා අති දක්ෂ ටියුෂන් ගුරුවරු සිටියත් ටියුෂන් පන්ති යාම සඳහා මවගෙන් මුදල් ඉල්ලීමට මගේ හිත දුන්නේ නැත. දරුවන් පස් දෙනෙකුගෙන් යුත් මගේ පවුලේ සියලු සාමාජිකයන්ට බෙදී යන දෙමව්පියන්ගේ ආදායම මට විතරක් වියදම් කලොත් අනිත් අයට යන කල කුමක්ද? එසේ සිතු මා විකල්ප ක්‍රමයක් කල්පනා කලෙමි. ( මෙය සොරකමක් හෝ වංචාවක් ලෙස නොසිතන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. සියලු සැප සම්පත් 


මව්පියන්ගෙන් ලබා ගෙන ජීවිතය අයාලේ යවන පොඩි එවුන්ට පාඩමකට හොඳ බැව් සිතෙන නිසා ලියමි)
ගම්පහ ගල් පල්ලිය පාරේ අයි. එස්. එම්. ආයතනයේ ටියුෂන් පන්තියේ ළමුන් දහස් ගානක් වුහ. එක විෂයකට රුපියල් 60 ක් අය කෙරුණි. රුපියල් හැටක් අතේ නොතිබූ මා හට ටියුෂන් පන්තියේ කාඩ් එක මිළ දී ගත නොහැකි වූ අතර කිසිඳු නිබන්ධනයක්ද නොලැබුණි. කාඩ් එක නොමැති මා පිටුපස කෙටි බිත්තියෙන් පැන පන්තියේ අන්තිම බංකුවේ වාඩිවී අනවසරයෙන් අධ්‍යාපනය ලැබුවෙමි. පන්තියේ සූ ගාලා සෙනග සිටි බැවින් මා වැන්නන් ගැන සොයා බැලීමට ගුරුවරයාට හෝ පන්තියේ හෝල් අයිතිකාරයාට ඉඩ කඩක් නොවීය. ගෙදරින් මුදල් නොඉල්ලා මගේ සහෝදරියන් වෙනුවෙන් මා කල මෙම කැප කිරීම මගේ දෙමව්පියන් දැන සිටියේ නැත. අම්මා මේ බව දැන සිටියානම් කෙසේ හෝ මුදල් සොයා දෙන්නටද ඉඩ තිබුණි. එහෙත් හොඳින් ඉගෙන ගන්නා සහෝදරියන් සිව් දෙනා ගේ දියුණුව දැක සියලු හිත් වේදනා අමතක කර මගේ ඉලාක්කය හඹා ගියෙමි.

කිසිඳු මුද්‍රිත නිබන්දනයක් නොලැබුන නිසා මා ළඟ සිටි ළමුන්ගේ නිබන්ධනය දෙස බලාගෙන ඒවා අතින් පිටපත් කර ගැනීමට මා පුරුදු වුනෙමි. මේ ක්‍රමය නිසා ඇතැම් විෂය කරුණු නිබන්ධනය අයිතිකරුවාට වඩා හොඳින් මගේ හිතේ  ධාරණය විය. ෆොටෝ කොපි ක්‍රමය සුලභ නොවූ මේ වකවානුවේ මේ හැර වෙන විකල්පයක් නොවීය.


ජීව විද්‍යා පන්තියේදී ද පරණ අකරතැබ්බය මා පසුපස හඹා ආවේය. සෑම වාර විභාගයකදීම භෞතික විද්‍යාවට  ලකුණු 10 කට වඩා ලබා ගත නොහැකි විය. ඒ අස්සේ පාසලේ ප්‍රධාන ශිෂ්‍යනායකයා ලෙස බරපතල වගකීමක් ද ලැබුණි. කුඩා කල ගණිත විෂයට සිදු වූවාක් මෙන්ම උසස්පෙළ  භෞතික විද්‍යාව විෂයටද මා හට සුදුසු ගුරුවරයෙක් හමු නොවීය. අදටත් මගේ ජනප්‍රියම භෞතික විද්‍යාව ආචාර්ය වරයා වූ මොහාන් ලාල් ග්‍රේරෝ මහතා එකල ගම්පහ ප්‍රදේශයේ ඉගැන්වුවත් එම පන්තියට මුල සිටම සහභාගී වීමට මා අත මුදල් තිබුනේ නැත. තාප්පයෙන් පනින ක්‍රමය ඔහුගේ පන්තියේදී කල නොහැකි විය.
පළමුවර උසස්පෙළ විභාගයේදී මා බලාපොරොත්තු වූ පරිදිම භෞතික විද්‍යාව සමත්විය නොහැකි විය. තැවීම දුක් වීම පලක් නොවන දෙයකි. ළිඳේ වැටුණු එකා ළිං කටෙන්ම ගොඩවීමේ  න්‍යායට අනුව ඊළඟ මෙහෙයුම ආරම්භ කලෙමි.
මතු සම්බන්ධයි (පාසැල් නොයා ටියුෂන් නොයා මෙඩිකල් කොලේජ් ගිය හැටි ඊළඟට කියවන්න --ජීවිත පාඩම දැනගන්න -ඉවසීම පුරුදු කරන්න)