Monday, March 13, 2017

අරගෙන අහන්න

සිරි සඟ බෝධි ගීතය රැප් කරලා කුඩුපට්ටම් කරපු කාලේ මට දැනුන වේදනාව තවමත් එහෙමමයි. අධ්‍යා පනය මෙන්ම සෞන්දර්යද රසවිඳි මම මගේ පළමු ඒක පුද්ගල සංගීත ප්‍රසංගය පැවැත්වුයේ  මීට වසර විසි ගණනකට පෙර කොළඹ වෛද්‍ය පීඨයේ තෙවන වසරේදී. ඒ කාලේම සංගීතවේදී සරත් වික්‍රම මහතා ගේ සංගීතයට මගේ ගී රචනා සහිත ගීත හයක් සහිත කැසට් පටියක් නිර්මාණය කළා. රාජකාරී ජීවිතය සමග කාර්ය බහුල වීම නිසා මේ නිර්මානකරණය  අතහැරුණා.

ම ඉතා ප්‍රිය කරන ප්‍රවීණ සංගීතවේදී ලක්ෂ්මන් හිල්මි මහතා සමග එක ගීතයක් නිර්මාණය කරන්න ගිය මට ගීත 16 ක් ම කරන්න සිදු වුනේ මේ අපුරු සංගීතවේදීයා තුල තිබු පුදුම සහගත තනූ නිර්මාණයට මා වශී වුණ නිසයි.

මෙම ගීත 16 ම රචනා කලේ මා විසින් වුවත් ඒ ඇතැම් ගීත සඳහා මුලාශ්‍ර ලබා ගත්තේ මුහුණු පොතේ ලියවුනු කවි නිර්මාණ වලින් බව කියන්නේ ඉතා නිර් ව්යාජවයි. බොහෝ ගීත සඳහා යොදා ගත්තේ කවි  පද දෙකක් පමණක් වුවත් ගීතයේම නිර්මාණ අයිතිය කවුරු හෝ ඉල්ලා සිටියොත් කොන්දේසි විරහිතව ඒ අයගේ නමින් ගීතය නම් කෙරෙනු ඇති.
“පෞර්ෂය බිඳගෙන හොටු පෙරා ගෙන හඬා වැටෙන ගීත රැල්ලට” පිළිතුරක් ලෙස නිර්මාණය වූ මෙම ගීත 16 පර්යේෂණ මට්ටමේදී සවන් දුන් හැම දෙනාම කිව්වේ “ටොප්” කියලා. (අහලම තමයි බලන්න වෙන්නේ )

මෙහි නිෂ්පාදන පිරිවැය ඉතා ඉහල වුවත් සී. ඩී. තැටියක් රුපියල් 200 කට අලෙවි කරන්නට සැලසුම් කර තිබෙන්නේ, නිකන් දෙන කිසිවක වටිනා කමක් නැති නිසා මෙන්ම කිසිවක් බලෙන් කරේ ගැසීම නොකළ යුතු බැවිණි. (කොපිය 100 ට ගන්නේ මොකටද ඔරිජිනල් එක 200 ට තියෙද්දී )
මේ වන විට පිටපත් නිර්මාණය සඳහා සිංගප්පුරුවට යවා ඇති “මාස්ටර් ටේප්” එකේ වැඩ නිම කර මාර්තු මස අගදී අවශ්‍ය අයට මිලදී ගැනීමට පහසුකම් සැලසීමටයි බලාපොරොත්තුව.
දියනියෙකුට දෙමව්පියන් ගැන කියන්න ලස්සන ගීයක්, බක් මහ අසිරියට නව නිර්මාණයක්, විවාහ වෙන දාට අලුත් වෙඩින් සෝන්ග් එකක් ලක්ෂ්මන් හිල්මි අපුරුවට නිර්මාණය කළා. අහලම බලන්න මගේ මේ සංගීත චිකිත්සාව. (සන්සුන්ව සිටිනු මිස වාද විවාද වල පැටලීමට බලාපොරොත්තු නොවෙමි)
 

මම යන්නේ කොයි පාරේ?

මගේ ෆේස් බුක් ඉන්බොක්ස් එකට ගාල්ල ප්‍රදේශයේ තරුණ නීතීඥ මහතෙකු පහත සඳහන් පණිවිඩය එවා තිබුණා.

“මචං ඩොකා උඹ සිරා පොරක්. මේ ෆේස් බුක් එකේ වැඩක් කරපු එකෙක් කථා කරනවා දැක්කමයි. උඹ වගේ වැඩ කරපු අනිත් එවුනුත් ඉස්සරහට ඇවිත් කතා කරන්න ඕන. ලජ්ජාවෙන් කට වහගෙන හිටියොත් ඒක වැරදියි. එතකොට බොරු පොර ටෝක් දෙන ෆේස්බුක් වීරයන්ගේ කටවල් වැහෙයි. උඹට ජය!”

මගේ ෆේස් බුක් ගිණුමට අලුත් සාමාජිකයන් ඇතුලත් කර ගැනීමට ඇති අපහසුතාවය පිළිබඳව ලියු ලිපියකට අංගොඩ පැත්තේ රෝහලක පරිපාලනයට සම්බන්ධ වෛද්‍ය මල්ලි කෙනෙක් මෙහෙම කමෙන්ට් කරලා තිබුනා.

“වැඩ කරන අය ඒවා කියවන්නේ ලියන්නේ නෑ. ඔයිට වඩා මහා වැඩ කාරයෝ ඕව ලියලා නෑ. ඔය ලියන අය කියන තරම් වැඩ .... මන්දා. මේවා ලියන එක හරිම ඔඩ් වැඩක්. ඕවා ලිව්වා කියලා රෝහල් දියුණු කරන්න බෑ.”

මේ වන විට මේ රටේ රෝහල් 80% ක විතර මුල් පුටුවේ ඉන්නේ මගේ සමකාලීනයෝ. ඒ හුඟක් දෙනා මා කල ඔවුන් නොදැන සිටි වැඩ මේ ලිපි මගින් දැනගෙන මාව ධෛර්යමත් කළා. සමහර මිතුරන් අභිප්‍රේරණ දේශණ සඳහා මට ආරාධනා කළා. (සුළු පිරිසක් අපහාස උපහාස නොකලා නොවේ).

මා වැඩ කල හැම රෝහලකදීම මා කල පළමු කාර්යය වුනේ මට පෙර සිටි ප්‍රධානියාගේ ජායාරූපය කාර්යාලයේ එල්ලීමයි. එයින් මම දුන්නු පණිවිඩය වුනේ මේ තරම් දුරට එම ආයතනය ලැබූ ප්‍රගතියේ ගෞරවය අලුතෙන් ආ මට වඩා මගේ පුර්වගාමියාට හිමි විය යුතු බවයි. (මා විසින් මොන ප්‍රාතිහාර්ය සිදු කලත් මට පෙර සිටි අය කිසිවක් නොකළා යැයි කිසිවෙකු නොසිතිය යුතු බවයි)

මා විසින් ලියු බොහෝ ප්‍රජා මූලික ව්‍යාපෘති ලක්ෂ 10 ට වඩා ඇස්තමේන්තු කර තිබුණු ඒවා. ධර්මද්වීපයේ උන්දැලාගේ කෙරුවාව දන්න නිසා මේ සෑම ව්‍යාපෘතියකම ප්‍රොජෙක්ට් ෆයිල් එකක් හදලා අදාල රෝහලේ ප්ලෑනින් යුනිට් එකේ තිබ්බා. මම ආවට පස්සේ ඒවා අතුරුදන් විය හැකි නිසා පොටෝ කොපිය මා ළඟ තියා ගත්තා. මේවා අධ්‍යනය කරනවා තබා ලියන එකටත් ඇලජික් එවුන් ඉන්න බව මම දන්නවා.(කීර්තිමත් ලයනල් ප්‍රනාන්දු මහතා ඇතුළු නිර්මාණශීලී පරිපාලකයන් හොඳ සංනිවේදකයන් මෙන්ම ලේඛකයන්) එහෙව් රටේ මගේ ලිවීමේ නිදහසටත් සමහරු වෛර කරනවා.  ප්‍රජා සහභාගීත්වය 75% ක් පමණ ඇති මේ ව්‍යාපෘති අමතක කර හැම දේම ආණ්ඩුවේ කොන්ත්‍රාත් කාරයන්ට භාර දුන්නු අපි ණය ගෙවාගන්න බැරියෝ කියලා ලතෝනි දෙද්දීත් ටීම් වර්ක් ආකල්පයට යන්න බහුතරයක් හරිම ලැජ්ජයි. “අයියෝ සල්ලි” (එදා දවසේ මහ පාරේ ඇක්සිඩන්ට් වෙලා මැරිච්ච ගාන බ්‍රේකින් නිව්ස් වෙච්ච රටක මේවත් නිව්ස් ද ? නේද මල්ලි ?)

මම තාම ලිව්වේ මගේ අත්දැකීම් වලින් 10% යි. අවුරුදු 16 ක් තුල රෝහල් 08 ක පරිපාලනයට සම්බධ වූ මට මේ පරිපාලන දොස්තර මල්ලිව මුලිච්චි වෙලා නෑ. එයා තාම පලවෙනි පුටුවේ වාඩි වුණා විතරයි මයේ හිතේ.  

මොනවා වුනත් මේ දෙන්නම අපේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් බිහිවුන ප්‍රාමාණික උගතුන් දෙපලක්නේ. මම ඔවුන් දෙදෙනාගේම අදහස් වලට ගරු කරනවා.

මගේ ලියවිල්ලට  දිනපතා පුවත්පත් කියවන තරමට මේ රටේ  දහස් ගණනක් ඇබ්බැහි වෙලා කිව්වොත් ඒක අතිශෝක්තියක් නෙවෙයිනේ. මේ බහුතරයක් අපේ රටේ යෞවන යෞවනියන් ඒ වගේම දෙස් විදෙස් උගතුන් හා සාමාන්‍ය ජනතාව. තමුන්නාසේලා එක්කෝ ලියන්න තරම් දෙයක් කොරලා නෑ. එහෙම නැත්නම් කොරපු ඩි න්ගිත්තවත් ලියා ගන්න තේරෙන්නේ නෑ. ඒකට ඉතින් මං මක් කොරන්නද?

ඉතින් මට කියන්න මගේ ඉතිරි අත්දැකීම් 90% බෙදා හදා ගැනීමේදී මම වඩා සැලකිල්ලට ගත යුත්තේ මේ දෙදෙනාගෙන්  කවර වෘතිකයා කියන දේද?
(බහුතර අදහස් විමසීමට විවෘතයි- ඊර්ෂ්‍යාව, වෛරය ,ක්‍රෝධය නැති සමාජයක් ප්‍රාර්ථනා කරමු)