Friday, July 22, 2016

මගේ ඇඳේ මම නිදා ගැනීම

මගේ ඇඳේ මම නිදා ගැනීම

රාගම ශික්ෂණ රෝහලේ සේවය කරන අවධියේ සෑම බ්‍රහස්පතින්දාවකම වාට්ටු භාර හෙද සොයුරියන් සමග අදාළ වාට්ටු වල ගැටළු සාකච්චා කිරීම මගේ පුරුද්දයි. එක දිනක අලුත් වාට්ටු සංකීර්ණයේ හෙදි සොයුරියක් තමාට බරපතල ගැටළුවක් විසඳා ගැනීමට ඇති බව කියා සිටියාය. ඇයගේ ගැටලුව වුයේ වාට්ටු කොරිඩෝ අවහිර කරමින්  වසර ගණනක් පුරා ගොඩගසා  ඇති රෝගී ඇඳන් ඉවත්කර ගැනීමට ක්‍රමයක් නොමැති වීමයි. මම අදාළ වාට්ටුවට  ගොස් ඇයගේ ගැටළුව  පිලිබඳ සොයා බැලුවෙමි. අහෝ ඛේදයකි ! පිටරටකින් ආනයනය කරන ලද ඇදන් විශාල ප්‍රමාණයක් කොටස්වලට ගලවා අල ලූනු ගොඩවල් වගේ කොරිඩෝවේ ගොඩගසා තිබුණි. මේවා අබලි භාණ්ඩ ලෙස නම්කර ඉන්වෙන්ට්‍රි වලින් ඉවත්කර ගැනීමට නියමිතව තිබුණි. එහෙත් ඇඳන් කැබලි ගොඩ දුටු සැනින් මට හිතුනේ මෙතරම් වටිනා ඇඳන් කොටස් එකලස් කර ප්‍රයෝජනයට ගත හැක්කේ කෙසේද යන්නයි. මේවා ඔස්ට්‍රේලියාවෙන් ආනයනය කරන ලද ඉතා සුව පහසු ස්වයංක්‍රීය  ඇඳන් බව දැනගත් මා ඒවා එකලස් කල හැකි අයෙකු රෝහල් නඩත්තු අංශයේ සිටීදැයි සොයා බැලුවෙමි. මා මෙම රෝහලට පැමිණි පසු නඩත්තු අංශයට අනුයුක්ත කරන ලද තරිඳු නමැති තරුණ සේවකයා මෙම කාර්ය ඉටු කිරීම සඳහා ස්වේච්චාවෙන් ඉදිරිපත් වුනේය. රිමොර්ට් කොන්ට්‍රෝල් මගින් ක්‍රියා කරන මෙම ඇඳන් දොළහක් යථා තත්වයට පත්කිරීමට අමතර කොටස් වලට  වියදම් වුයේ රුපියල් විසිපන්දාහක් පමණයි. දින දහයක් වගේ කෙටි කාලයක් තුල සියලු ඇඳන් එකලස් කර යථා තත්වයට පත්කර අලුතෙන් ගෙනා කෝච්චි පෙට්ටි වගේ කොරිඩෝව දිගේ නවතා තැබුවේ ඉතාම ආඩම්බරයෙන්. වෙළඳපොල වටිනාකම රුපියල් ලක්ෂ දෙකක් පමණ වූ මෙම ඇඳන් සෑම වාට්ටුවකටම එක බැගින් බෙදා දීමේ අරමුණින් මෙසේ ගාල් කර තිබියදී , එක්තරා රාත්‍රියක කාලකන්නි කණ්ඩායමක් විසින් ඇඳන් කිහිපයක වයර් කපා දමා තිබුනේ කාගෙන් පලිගනීමටදැයි මට තාමත් නොවැටහේ.  මේ සිද්ධිය නිසා කපා දැමු වයර් කොටස් නැවත අලුත්වැඩියා කර එක දිනක් ඇතුලත බලහත්කාරයෙන් වාට්ටු වලට බෙදාහැරියෙමි. ( Bar Bed  හෙවත් සිහිමද  රෝගීන්ගේ ආරක්ෂාවට වැටවල් යෙදු මෙම ඇඳන්  සෑම වාට්ටුවකම Acute Patient Bed  ලෙස යොදා ගැනීමට ඉතා සුදුසුය)
අපේ රටේ බොහෝ වාට්ටු වල ඇත්තේ සුද්දගේ කාලේ හැදු, කල්පනාවෙන්  නිදා නොගත්තොත් අනිවාර්යයෙන්ම බිමට වැටෙන ඉතා රළු පරළු ඇඳන් වන අතර , හරිනම් මේ සියලු ඇඳන් වෙනුවට නවීන ඇඳන් යෙදිය යුතුය. එහෙත් දොස්තරලා නර්ස්ලා ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කලාට ඒවායේ නිදාගන්නේ නැති බැවින් ලෙඩාට ඇති රුදාව නොදන්නවා විය හැක. හදපු ඇඳන් දොළහත් බලහත්කාරයෙන් වාට්ටු වලට ඔබන්නට සිදු වුයේ ඒ නිසාම වෙන්න ඇති. කෙසේ වුවත් හදපු ඇඳන් ටික නඩත්තු නොකරන එවුන්ට දෙවියන් වහන්සේ ඊ ළඟ ආත්මේ පැදුරු කඩමාල්ලක්වත් නොදෙන්නට වගබලා ගැනීමට ඉඩ ඇති බැව් නම් සහතිකයි. ඒ නිසා පරෙස්සම් වෙයල්ලා.

පසුගිය ජුනි මාසයේ දැඩි ලෙස රෝගාතුරවී රාගම රෝහළේ 16 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන්නට මට සිදුවුණා. ඒ වෙලාවේ නර්ස් නෝනා මට දුන්නේ සුද්දගේ කාලේ පරණ ඇඳක්. මට ටිකක් තරහා ගියත් ඒ බව නොපෙන්වා , තරිඳු ලවා මා නැවත පුනරුත්ථාපනය කල ඇඳක් මට සොයා දෙන ලෙස ඉල්ලා සිටියා. සැනෙකින් මට එවැනි ඇඳක් ලැබුණා. ඔන්න මම මගේ ඇඳේ  නිදා ගත්තා. සතියක් තිස්සේ ඒ ඇඳේ ඉඳන් අත් දෙකටම පැය අටකට වරක් බෙහෙත් විද්දත් කිසි අමාරුවක් නැතිව මම හදපු ඇඳේ සැපට නින්ද ගියා. මම රෝහල් වාට්ටු වල ගැටළු සොයාගත්තේ දිනපතා  රාත්‍රී වාට්ටු නිරීක්ෂණය කිරීමෙනුයි. එත් මම මේ රෝහලේ නේවාසිකව හිටපු සතිය පුරා එක දවසක්වත් , කිසිඳු රෝහල් බලධාරියෙක් වාට්ටු නිරීක්ෂණයක් සිදු කලේ නැහැ. (සමහරවිට රෝහලේ ප්‍රශ්න ඔක්කොම මේ වනවිට විසඳලා ඇති ) එකලස් කරපු ඇඳක් ළඟ තරිඳු මල්ලියව තියල පොටෝ එකක් ගහල තියාගත්තේ මේ ඇඳන් හදන්න බෑ , මේවා පාවිච්චි කරන්න බෑ කියලා තමන්ගේ යුතුකම මග හරින , නිදහසට කරුණු කියන එවුන්ට තරු පෙන්නන්නයි. මම කරපු වැඩ ලියන එකත් සමහර එවුන්ට විසයි. යකෝ කන්නු කොරු වගේ ඉන්නේ නැතිව මේ වගේ සම්පත් යකඩ වලට විකුණන එක නවත්තපල්ලා. මට ගරහන්නේ නැතිව උඹලත් දුවිලි මකුළුදැල් අතගාල මේවා හොයා බලපල්ලා. බදූ ගහල ණය ගෙවන තැනට මේ රට පත්වුණේ අරපරෙස්සම ,නඩත්තුව ගැන වගේ වගක් නැතුව වැඩ කරපු ගොයියලගේ කෙරුවාව හින්ද බව මතක තියා ගනිල්ලා. ( භාෂාව රළු වැඩිනම් මයිත්‍රී වේවා - තොප්පිය හරිනම් දා ගනිල්ලා )  මගේ ලිවීමේ ශෛලිය තුල අධිමානසික හා ආවේගශීලී බවක් පෙන්වන බවක් එක් මිතුරියක් ඉතා සද්භාවයෙන් කමෙන්ට් කර තිබුණා. ඒකට මට ලියවෙන්නේ මෙන්න මෙහෙමයි. “අනේ මැණිකෝ, මේවා දැක්කම මට මල පනිනවා යකෝ ” 



3 comments:

  1. ඔබ වැන්නන් තවත් මේ රටේ සිටියානම් මේ රටේ මිනිස්සු සතුටින් ජීවත් වෙයි........හැබැයි අනුන්ගැන හිතන එකෙක් ඉපදෙද්දිම උපන්ගෙයිම මරල දාන්ඩ් අපේ උන් හරිදක්ශයි දොස්තරමහත්තොයො...

    ReplyDelete
  2. ෆලෝ බටොන් එක දාන්ඩකො දොස්තර මහත්තයො...

    ReplyDelete
  3. අපි පුරුදුවෙලා ඉන්නේ හඳ පෙන්නනකොට පෙන්නන එකාගේ ඇගිල්ල දිහා බලන්න එනිසා සැලෙන්න එපා කීපදෙනෙක් හරි හඳ දකිව්වී ඊට පස්සේ උනුත් හඳ පෙන්නාවි තව කොටසකට තවම බහුතරය බලන්නේ ඇගිල්ල දිහා හඳ දකින වුන් ටිකත් නොදක්කවගේ ඉන්න පුරුදුවෙලා

    ReplyDelete