Sunday, October 9, 2016

වෙද හකුරු

උඹේ අකුරු හරියට හකුරු වගේ යයි අපේ ගුරුවරු කියවීමට නොහැකි අකුරු ලියන එවුන්ට කිව්වේ ඉතා කෝපයෙනි. ඒ උතුම් ගුරුවරු කෝපාවිෂ්ඨ වුයේ මොළේ අමාරුවකට නොව තමාගේ ගෝලයන්ගේ කැත අත් අකුරු මගින්  තම නම්බුවට හානිකර වේ යැයි තිබු වෘතීය අභිමානය හේතුවෙනි.

“ ශ්‍රී ලංකාවේ වෛද්‍ය වරුන් විසින් ලියන ඖෂධ  වට්ටෝරු 50% පැහැදිලිව කියවිය නොහැකි බව අප  විසින් කල සමීක්ෂණයකදී හෙළිවී තිබෙන අතර මෙම තත්වය වැරදි ඖෂධ රෝගීන් වෙත ලැබීමට ඉඩ කඩ විවර කිරීමෙන් ඔවුන්ට මාරාන්තික ප්‍රතිඵල අත්වීමට ඉඩ සලසනවා” -  කොළඹ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ප්‍රියදර්ශනී ගලප්පත්ති - සේනක බිබිලේ අනුස්මරණ දේශනය - පදනම් ආයතනය කොළඹ - 23/09/2016.

ඒ කාලේ වටකුරු පැහැදිලි අත් අකුරු ලියන්න පුළුවන් එකා මාර වැඩ කාරයෙකි. දැන් නම් සක්කරයාටවත් කියවීමට නොහැකි ලෙස කුරුමිණි අඬු අකුරු ලයන එකා සිරා පොරකි.

ඔබේ දරුවාගේ පන්ති භාර ගුරුතුමිය ඉතා අපැහැදිලි අත් අකුරෙන් ගුරු දෙගුරු පොතේ දරුවා ගැන පණිවිඩයක් ඔබට ලියා එව්වොත් ඒ ගුරුවරියගේ ප්‍රොෆෙෂනල් කොලිටි එක ගැන ඔබට ඇති වන්නේ මොන වගේ හැගීමක්ද? මේ සටහන ගැන මා පිලිබඳ කෝපාවිෂ්ඨ හැගීමක් ඇතිවන කවර හෝ වෘතීය සගයෙකුගෙන් මා අසන සරළ ප්‍රශ්ණය එයයි.

පාසලේ ලස්සනම අත් අකුරු ඇති සිසුවා මා බව සනාථ කරමින් අත් අකුරු තරඟයේ හැම වසරේම පළමුවැනියා වුයේ මා බව පවසන්නේ ඉතා ආඩම්බරයෙනි. එමෙන්ම වෛද්‍ය පීඨයේද ලස්සන අත් අකුරුකාරයෙක් වූ මා අදටත් පැහැදිලි පොල්ගෙඩි අකුරෙන් ලිවීම රසවිඳිමින් සිටිමි.

ඒ කාලේ එවැනි තරඟ පැවැත්වුයේ වෘතීය ජීවිතයේදී ඒවා ප්‍රායෝගිකව භාවිතා කිරීමට බව මා විශ්වාශ කරමි. ඒත් ඉතිං මාත් එක්ක සහ මට පෙර මෙඩිකල් කොලීජියෙන් වෙදකමට වරම් ලැබූ උත්තමයන්ට (හැමෝටම නොවේ) මේ ගැන ගුරුහරුකම් දීමට යාම ඇදගෙන නෑමක් වෙන බැවින් මෙන්ම නොකෙරෙන වෙදකමක්ද වෙන බැවින් එකම බලාපොරොත්තුව අනාගතය පමණි. ( මේ සටහන දකින මගේ උගත් මිත්‍රයන් මේ පිලිබඳ තම සැලකිල්ල යොමු කරනු ඇතැයි සියුම් බලාපොරොත්තුවක් හිතේ නැතුවාම නොවේ)

අද දවසේ කියවන්නට බැරි බෙහෙත් තුන්ඩු වලින් පීඩා විඳින ඒ ලෙවල් කරන කොල්ලනි කෙල්ලනි, හෙට දවසේ වෙද නලාව අතට ගන්න ඉන්නා දොස්තර පැටවුනි, කාටත් කියවිය හැකි ලස්සන අත් අකුරින් වට්ටෝරුව ලිවීම ආඩම්බරයක් ලෙස හිතාපල්ලා!



6 comments:

  1. බෙහෙත් ලියූ වෛද්‍යවරයාට දින කිහිපයකින් පසු නැවතත් එම තුන්ඩුව පෙන්වූවිට ඔහුටද එය කියවීමට අපහසු වූ අවස්ථාද නැත්තේම නැත.

    ජයවේවා!!!

    ReplyDelete
  2. ඇත්තටම ඒ අකුරුද ඈ

    ReplyDelete
  3. දොස්තරලගෙ අකුරු කියවන්ට බෑ කියන එක සම්මතයක් වෙලා තියෙන්නෙ...පොඩි කාලෙ මෙලෝ යකෙකුට කියවන්ට බැරි අකුරු ලියන අපේ පංතියෙ කොල්ලන්ට ගුරුවරු බනින්නෙ "මොනවද අයිසෙ මේ අකුරු? හරියට බේත් තුණ්ඩුවල වාගෙ" කියල...:)

    ReplyDelete
  4. මටත් අකුරු හරියට ලියන්න බෑ.. සිංහල අකුරු කොහොමවත් ලියන්න බෑ.. (මම වෙදෙක් නං නෙවෙයි නිකම්ම නිකං රටේ වෙදෙක්..) විභාග ප්‍රශ්ණ පත්තරවලට උත්තර ලියන්න උනාම තමයි ඒකේ අවාසිය තේරෙන්නේ.. ආසයි ලස්සනට ලියන්න ඒත් බෑනේ.. :/

    ReplyDelete
  5. මගෙත් අකුරු හරි කැතයි බං. මමත් මුලින් හිතාගෙන හිටියේ දොස්තර කෙනෙක් වෙන්න. උසස් පෙලට ප්‍රයිවෙට් ක්ලාස් යන්න සල්ලි තිබුණේ නැති නිසා ඒ වැඩේ හරිගියේ නෑ. පස්සේ ආර්ට් කලා කොන්දොස්තර කෙනෙක්වත් වෙන්න පුලුවන්නේ කියලා හිතලා. ඒ වැඩේ ටිකක් සාර්ථක උනා. හැැබයි මගේ අකුරු තාමත් කැතයි.

    ReplyDelete
  6. උසස් පෙළ සමයේ සිටි මගේ හොඳම මිතුරන්ගෙන් ඉතාම අවලස්සන අත් අකුරු තිබුණු එකා පසුව කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨයට ගිය අතර දැන් සුදර්ශනට සුපුරුදු ප්‍රදේශයක හොස්පිටිතාලයක හිමිකරුවෙකි.

    පාසලෙන් අස් වූ පසු කාලේ පොර එවූ ලිපි කියවන්නට පැය ගණනාවක් ගත විය.

    ReplyDelete