Friday, November 4, 2016

හෙන්ඩුව නැති අලියා

අඩුම ගානේ  සුද්දා මේ රට අසුව දශකය වෙනතුරුවත් පාලනය කලානම් කාපාලු දේශපාලනය නිසා අද අපි මුහුණදී සිටින ඛේදවාචකය ඇති නොවන්නට බොහෝ දුරට ඉඩ තිබු බව මගේ පෞද්ගලික මතයයි. අකාර්යක්ෂම දේශපාලකයන්ගේ ආශිර්වාදයෙන් රජයේ ආයතනවල බාල ඉදිකිරීම් කර තාවකාලික ලාභ ලැබූ සියලුදෙනාට  ඉදිරි ආත්මභාවයන්හි ගස් ගල් යටවත් සෙවනක් ලැබේ යැයි විශ්වාස නොකරමි.
කුලියාපිටිය රෝහලට පස්මහල් වාට්ටු සංකීර්ණයක් ලැබී තිබුනේ මිලියන 500 ක විතර වියදමකින්. මේ පස්මහල් අලියාට ජලය සැපයීම සඳහා භූගත ජල ගබඩාවක් තිබුනේ නෑ. ඒ කියන්නේ අලියෙක් දුන්නට හෙන්ඩුව දීල නෑ. පැරණි ජල ගබඩාවට මා විසින් අලුත්වැඩියා කල නල ලිඳෙන් පුරවන ජලය දහවල් වෙන විට ඉවර වෙනවා. එතකොට පස්වෙනි මහලේ ටැංකි වලට ජලය පොම්ප කරන අධි බලැති පොම්ප වලට හුළං අදිනවා.
මම රෝහලේ වැඩ භාරගන්න කොට  බිල්ඩිමේ පදිංචි වෙලා අවුරුදු දෙකයි. අලුත් ජල ගබඩාවක් හදන සැලැස්මක් පේනතෙක් මානෙක නෑ. ඒ කාලේ ලක්ෂ 75 ක් මේ සඳහා ඕනෑ කිය කියා හිටියා විතරයි. (මටමයි වෙන්නේ ). පස්වෙනි මහලේ තිබුනේ ඊ. එන්. ටී. තියටර් එකයි අයි තියටර් එකයි. වතුර නැති ගැටලුව නිසා හැමදාම මේ අංශ වල ශල්‍යකර්ම කල් දානවා.
මම මේ වැඩේ කරන බව පළාත් අධ්‍යක්ෂකට දැනුම් දුන්නා. මගේ සැලැස්ම ඔහුට කිව්වා. අනුමැතිය ලැබුණා.
සැලැස්ම මේකයි. මම යනවිට පාතාලය විසින් අත්පත් කරගෙන තිබු බයිසිකල් පාක් එක නීත්‍යානුකූල ක්‍රමයට බදූ දුන්නා. ඒ මුදල් බැරවුනේ රෝහල් සංවර්ධන අරමුදලටයි. මේ මුදල් වියදම් කරන්න පළාත් අධ්‍යක්ෂ වරයාගේ පුර්ව අනුමැතියක් ඕනේ. ඒ සඳහා ටී. ඕ. වාර්තාවක් සමග ඇස්තමේන්තුවක් සකස් කරන්න ඕනේ. මගේ සැලසුම උනේ ලීටර් 2000 ටැංකි 8  ක් ස්ථානගත කරලා ලීටර් 16000 ක ධාරිතාවක් සහිත  ජල ගබඩාවක් නිර්මාණය කරන්නයි.

ලීටර් 2000 ටැංකි 8 ක් තියන්න ශක්තිමත් ෆ්ලැට් ෆෝර්ම් එකක් ඕනෑ. මේ සඳහා අවශ්‍ය කළුගල් හිතවත් ගල් කොරියක අයිතිකරුවෙක් නොමිලේ දුන්නා. නඩුකාර හාමුදුරුවෝ උසාවියෙන් දීපු වැලි ගොඩක් ඉතිරිවෙලා තිබුනා. පැන්ෂන් යන සේවකයෙක් සිමෙන්ති කොට්ට 5 ක් අරන් දුන්නා. තව සිමෙන්ති කොට්ට 5 ක් ටවුමේ රක්ෂණ සමාගමක මැනේජර් කෙනෙක් අරන් දුන්නා. බාස් වැඩේ කලේ මගේ වීරයා. එයාගේ නම කුමාර. වීනස් ප්‍රතිමාව පෙන්නලා ඒ විදිහට අඹපන් කිව්වොත් මිනිහා ඒක කරනවා. රුපියල් 1000 හේ දවස් පඩියට ඔහු වැඩේ කළා. (මේකට හිඟා කෑවා කියලා අපහාස කරන්න එපා. මේකට මම කියන්නේ Private Public participation එහෙම නැත්නම් Community Participation කියලා)

සල්ලි ගියේ ටැංකි 8  ට විතරයි. අනුමැතිය එනකම් ඉන්න වුනේ නෑ. අඩුම මිළ ගණන් දීපු හාඩ් වෙයාර් අයිතිකරු ටැංකි 8 ණයට දුන්නා. අවුරුදු දෙකේ වැඩේ මාසෙන් ඉවර කළා. මට පස්සේ ආපු උත්තමයෝ වතුර ලැබුණ හැටි දන්නෙත් නෑ. ඒ හින්දා මේවා වෙබ් සයිට් වල හොයන්න එපා. මේ ෆොටෝ එකේ තියෙන වතුර ගබඩාව ඉස්පිරිතාලෙට ගිහිල්ලම බලාගන්න (නිරාමිස ප්‍රීතිය සඳහා ලියා තබමි)
ආකල්පය: ළගාවීමට වීමට අපහසු ඉලක්කයක් නිසා පීඩාවට පත්වූවන්ට සහනයක් සැලසිය හැකි විකල්ප ක්‍රියාමාර්ගයක් ඉතා ඉක්මනින් ගැනීමට ඔබට නොහැකි වේනම් ඔබ අසමත් කළමනාකරුවෙකු වනු ඇත.

Management Strategy : Cost effectiveness, Look for achievable alternatives, Never say no   

9 comments:

  1. පටන්ගත් දෙයක් ඉදිරියට ගෙනයන්න හැකි ක්‍රමවේදයක් නැතිකම තමයි ප්‍රශ්නේ. ඒවා කඩාකප්පල් කරන්න නම් ඕන තරම් ක්‍රම තියෙනවා. සිරසේ ගම්මැද්දේ යටි අරමුනු තිබුනා හෝ නැතා හෝ ජනතාවට පොඩි අස්වැසිල්ලක්වත් තියෙනවා.

    ReplyDelete
  2. ටූ තම්බ්ස් අප්. අපි නෙලුම්යායෙන් මොනරාගල අති දුෂ්කර මියාගල ඉස්කෝලෙට වතුර දුන්නෙත් ඔහොම තමයි.. ජය වේවා!

    ReplyDelete
  3. බුකියෙං දැක්කා , බුකියට දාන්ඩ කලිං මෙතනට දාන්ඩ බෑද

    ReplyDelete
  4. ලංකාවේ හුඟක් වැඩ ඔහොම තමයි. අලියා දෙනවා. හෙන්ඩුව නෑ. ඊට පස්සේ අලියාගෙන් වැඩක් නෑ.

    ReplyDelete
  5. ///අඩුම ගානේ සුද්දා මේ රට අසුව දශකය වෙනතුරුවත් පාලනය කලානම් කාපාලු දේශපාලනය නිසා අද අපි මුහුණදී සිටින ඛේදවාචකය ඇති නොවන්නට බොහෝ දුරට ඉඩ තිබු බව මගේ පෞද්ගලික මතයයි.////

    අඩුම ගානෙ සිංගප්පූරුවෙ හිටිය තරම්වත් මෙහෙ හිටියනම් අපි සාමාන්‍ය ගානකට එන්න තිබුනා

    ReplyDelete
  6. ලංකාවෙ ඉපදිලා තියෙන්නෙ වැරදිලා. මොකද ලංකාවෙ වැඩක් කරන්න කැමති අය ඔය තනතුරැ වල ඉන්නව කියල අහලවත් නෑ.

    ජය වේවා !

    ReplyDelete
  7. ආඩම්බරයි ඔබ ගැන.එත් කුලියාපිටියේ ඒ කාලෙ නොහිටිය එක ගැන කනගාටුවක් ඇති වුනා.

    ReplyDelete