Tuesday, January 24, 2017

මැට්ටා මෙඩිකල් කොලේජ් ගිය කථාව 01 ( THE TURNING POINT )

හතේ  පන්තිය වන විට වත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි මා හට ගණිතය විෂය ඉගැන්වීමට පන්තියට මෙන්ම අහල ගම් හතක ගණිත ගුරුවරයෙකු සිටියේ නැත. ගණිතය කාලපරිච්චේදයේදී  ෆුල් ජොලියේ කාලය කා දැම්මේ නොදන්නා ගණිතය ඉගෙන ගැනීමද මහා වධයක් වූ බැවිණි.
පුරා වසරක් ගණිතය එක ඉලක්කමක්වත් හදාරන්නේ නැතිව පන්තියේ පළවෙනියා ලෙස අවසාන වාර විභාගයේදී සහතිකය ලබා ගන්නා මගේ ඊළඟ පාසැල වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ කීර්තිමත් මධ්‍ය මහා විද්‍යාලයක් වූ ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයයි.

අටේ පන්ති පහ අතරින් “ 8 ඊ” පන්තියේ මා සමග සිටි සියලු දෙනා පහේ ශිෂ්‍යත්වය අසමත් වී මගදී විවිධ හේතු මත පාසැලට ඇතුළු වූවන්ය. ඉබ්බෝ දියේ දැම්මාම ඇන්නාවේ කියුවාක් මෙන් ගණන් වලට අකමැති බහුතරයක් වූ අපට මේ අවුරුද්දේ පත් කර තිබු ගණිත ගුරුවරියද  ප්‍රසුත නිවාඩු ලබා සිටියාය. වැඩිපුරම ගම්පහ මේඛලා චිත්‍රපටි හෝල් එකේ ගෙදරට හොරෙන් චිත්‍රපටි බලපු එවුන් හිටියේ මේ පන්තියේ බැවින් පෙරදින බැලු චිත්‍රපටි කතා නැවත විකාශය වුයේ ටීචර් නැති ගණිත පීරියඩ් එකේදීය.

කාල් ලුවිස් ගේ ක්‍රමයට අනෙක් සෑම විෂයකටම ලකුණු 90 න් ඉහල ප්‍රමාණයක් ලබා ගනිමින් BIG LEAD එකක් ගන්නා මා වසර අවසානයේදී පන්තියේ පළමුවැනියා වෙන්නේ ගණිතයට ලකුණු 04 ක් පමණක් හිමි කර ගනිමිනි. ගණිතයට  ලකුණු 04  ක් ලබා ගැනීම පන්තියේ පළමුවැනියාට මදි කමක් බැවින් මම ගෙදර යන්නේ ලකුණු හතරේ බින්දුවට පුංචි ඉරි කෑල්ලක් යොදා එය ලකුණු 94 ලෙස සංශෝධනය කර ගනිමිනි.
මාගේ අධ්‍යාපනික උන්නතිය ගැන නිතර අවධානයෙන් පසු වන මගේ අම්මා අපේ ගෙදර සහෝදරියන් සිව් දෙනාගේ සහ මගේ ප්‍රගති වාර්තා  “චෙක් කිරීම” සාමාන්‍ය සිරිතයි. හෑන්ඩ් ලූම්, පවර් ලූම්, ගුරුවරියක් හා මෝස්‌තර සම්පාදිකාවක වූ මගේ මව රිපෝට් කාඩ් එක හොදින් කියවා බලා දකුණු කන මිරිකා මට හොඳ පොල් ටොක්කක් ඇන්න විටයි මට කල්පනාවට ආවේ, 04 රේ බින්දුවට  ඉරක් ගසා 94 කලාට TOTAL එක වෙනස් කරන්න අමතක වුණ බව.

“මම දන්නවා ඔයා ගණිතයට දුර්වල බව. ඔයාගේ අනිත් ලකුණු කිසි දෙයක් ගැන මගේ සැකයක් නෑ. හැබැයි ඔයාට ලකුණු 94 ක් ලැබෙන්න විදිහක් නෑ කොහෙත්ම” අපි ගණිතයට ටියුෂන් පන්තියකට යමු.
එතෙක් ජීවිතයට ටියුෂන් පන්තියකට ගොස් අත්දැකීමක් නැති මාව ගණිතය විෂය සඳහා ටියුෂන් පන්තියකට යැවීමට අම්මා තීරණය කළාය. ටියුෂන් පන්තියක් සඳහා යාමට සිදුවුනේ ගනේමුල්ලේ සිට බටුවත්තටය. මේ සඳහා තාත්තාගේ හම්බර් බයිසිකලයෙන් රේල් පාරේ පටු තීරුව දිගේ ටියුෂන් පන්ති යාමේ අවදානම් සහිත දින චරියාවට ආරම්භ කලෙමි.


මැට්ටා මෙඩිකල් කොලේජ් ගිය කථාව - (2)

රේල් පාරට සමාන්තරව මිනිසුන් පයින් ගමන් කිරීම නිසා තණකොළ ගොල්ලේ නිර්මාණය වූ පටු අඩි පාරේ බයිසිකලයේ නොවැටී යාම එකළ මට එතරම් දුෂ්කර කටයුත්තක් නොවීය. වඩාත්ම දුෂ්කර කටයුත්ත වුයේ රේල් පාරේ තැනින් තැන ඇති යකඩ පාලම් මතින්  බයිසිකලය පැද යාමයි. මේ ස්ථාන වල මිනිසුන්ට ගමන් කිරීමට අවසර නොමැති බැවින් බොහෝ තැන් වල ඇත්තේ අඩියක් පමණ පළල යකඩ තීරුවකි.
මාසයක් පමණ මේ සංගිලි පාලම් උඩින් කිසිදු උපද්‍රවයකින් තොරව ගනේමුල්ලේ සිට බටුවත්තට රේල් පාර අයිනේ පටු පාර දිගේ බයිසිකලයෙන්  තරණය කලත් එක දිනක් හදිසියේ සමබරතාවය ගිලිහී ගොස් එක් පාලමක් උඩින් බයිසිකලයත් සමග ඇලට පෙරලීමට ගොස් බයිසිකලය ඇලට අතහැර රේල් පාරට බල්ටියක් ගසා ගැනීමට මට හැකිවුයේ ඒ කාලයේ මට තිබු කෙසඟ සිරුරට පින් සිදු වෙන්නටය. පේන තෙක් මානයේ කිසිවෙකු ලඟපාත නොවුයෙන් බඩවැටිය දිගේ පහලට ඇවිද ගොස් දොළ පාරට බැස බයිසිකලය ගොඩගෙන කිසිවක් නොවූ ගානට බටුවත්තේ ගණන් පන්තියට ගියෙමි.
මේ ටියුෂන් පන්තිය මට ගැලපෙන එකක් නොවන බව මට වැටහුනේ මාස දෙකකකට පමණ පසුවය. එහි ඉගැන්වූ ගුරුවරයා තනියෙම කළුලෑල්ලට ගණන් ඉගැන්වූ නිසා මට කිසිවක් තේරුම් ගත නොහැකි විය. බටුවත්ත ප්‍රදේශයේ සිටි ආනන්ද,නාලන්ද ,රෝයල් ,විශාකා ආදී විද්‍යාල වලට ගිය සිසුන් බොහොමයක් මේ පන්තියේ සිටි අතර ඔවුන්ට ගුරුවරයා උගන්වන දේ තේරුම් ගැනීමට අපහසු බවක් නොපෙනුණි. මේ පන්තියේ සිටි උඩඟු කොල්ලන් අන්දමන්දව සිටි මට “මැට්ටා” කියා  උසුළු විසුළු කරන්නට වීම පන්තිය අත්හැර දැමීමට තවත් එක් හේතුවක් විය. (මේ වැඩ්ඩන් කිසිවෙකුත් මට වෛද්‍ය විද්‍යාලයේදී හමු නොවිණි)

ගණිතය නමැති පාලම කඩා වැටුනොත් අධ්‍යාපනයේ සමස්ථ ගමනම අතරමග ඇනහිටින අවදානම ගැන මනාව වටහාගෙන සිටි මා එළැබෙන සෑම තත්පරයකදීම මාගේ ගණිත විෂයේ ගැලවුම්කරුවා සෙවීම නතර නොකලෙමි. ගනේමුල්ල ප්‍රදේශයේ ටියුෂන් පන්තියක විශ්‍රාමලත් ගුරු උපදේශක වරයෙකු වතුර වගේ ගණන් උගන්වන බව මේ අතර මට ආරංචි විය. මේ අපුරු ගුරුවරයා ඇදහිය යුතු වෙනම පරිච්ජේ දයකි.

13 comments:

  1. මැට්ටා මෙඩිකල් කොලේජ් ගිය කථාව 01

    කියන එක ලේබල් එකක් විදිහට වැටිලා

    THE TURNING POINT කියන එක පෝස්ට් ටයිටල් එක විදිහට වැටුනනං මරු



    ReplyDelete
  2. අඩේ පට්ට කතාව..ඊළඟ කෑල්ල ටත් එන්නම් කියවන්න..

    ReplyDelete
  3. ලස්සනයි.. අටම්පහුර තමා පාර කිව්වේ..

    ReplyDelete
  4. මටත් ඔය වගේ සිද්දියක් උනා හතේ පන්තියේදී...

    ReplyDelete
  5. කෝ ඉතින් ඉතුරු ටික

    ReplyDelete
  6. ඉතුරුවත් එනකම් ඉමි

    ReplyDelete
  7. අටමා පෙන්නූ පාරේ තමයි ආවෙ

    ReplyDelete
  8. නියමයි..
    ඔන්න සින්ඩියටත් දා ගත්තා..
    දිගටම ලියන්න. ජය!

    ReplyDelete
  9. ගොඩ දෙනෙක් ආනන්ද, නාලන්ද, රෝයල්, විශාකා සුපිරියි ඉස්කෝල කිව්වාට ... ඒවායේ ඉන්න බොහොම දෙනා සුදර්ශන වගේම මධ්‍යයම පාන්තික උදවිය තමයි.

    ඇත්ත ඇවිල්ල ඒ ඉස්කෝල වලත් අපේ සමාජයේ තියන හැම ස්ථරයකම අය ඉන්නවා... මුඩුක්කු වල ඉඳන් එන අය, රාජ්‍ය සේවකයින්ගේ ළමයි, එදා වෙලා කන්න නැති දුප්පත් ළමයින් හිට ධන කුවේරයන්ගේ දරුවන් දක්වා ... මම කියන්නේ මගේ අත්දැකීම් මත :)

    ඒවායේ ළමයින්ගේ අම්මල තාත්තලා අනෙත් අය වගේම ජිවිතේ ගැට ගහ ගන්නයි දරුවන්ට උගන්වන්නයි ලොකු කැප කිරීම් කරනවා.

    හැබැයි ඔය මොනවා කිව්වත් එක්තරා කොටහක් ඉන්නවා මේ ඉස්කෝල ආභරණ විදිහට පාවිච්චි කරන එහෙමත් නැතිනම් ඔලුව උදුම්මා ගත්තු. හැමෝම එක වගේ නැහැනේ කොහේ ගියත් !

    ReplyDelete
  10. Im a medical student & very inspired by ur blog.keep it up sir

    ReplyDelete