Monday, August 22, 2016

රංජි මල්ලි

රාගම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වරයා ලෙස මා සේවය  කරන අවධියේ එහි අධ්‍යක්ෂ වරයා වූ සෑම් සමරසිංහ මහතා මට සැලකුවේ තමන්ගේ දරුවෙකුට මෙනි. ඒ වගේම ඕනෑම බරපතල තීරණයක් ගන්න මට නිදහස දීලා තිබුනා. ඒ අනුව මම එහි ගිය පළමු දවසෙම එතෙක් විසුරුවා හැර තිබූ රෝහල් නඩත්තු අංශය සේවකයන් දෙදෙනාගේ සිට දොළහ දක්වා එක් වරම වැඩි කළා. රංජි මල්ලි රෝහලේ ස්ථිර වැද්දුම් කරු ලෙස පත්වීම් ලද සේවකයෙක්. එහෙත් ඔහුගේ සේවාවට අවශ්‍ය අමුද්‍රව්‍ය කලට වෙලාවට නොලැබීම නිසා වැඩිපුරම කාලේ ගත කලේ කිසිඳු වැඩක් නැතිවයි. මගේ ආගමනයත් සමග රංජි මල්ලි ඇතුළු හැමෝටම වැඩ වැඩි උනා. රන්ජියා දවල්ට වෙල්ඩින් කරන ඇඳන් මේස රෑ වැඩ කරන අය පේන්ට් කරනවා. උදේ පාන්දර තීන්ත වේලුන උපකරණ අදාළ වාට්ටුවේ අය අරගෙන යනවා.
මම රන්ජියට රංජි මල්ලි කිව්වේ ආදරේට. එහෙම කියලා ඌ මට කවදාවත් සුදර්ශන අයියේ කිව්වේ නෑ.(සමහරුන්ට මගේ මේ ක්‍රමේ ඇලජික් බං). විශේෂයෙන්ම අඩු වරප්‍රසාද සහිත වෘතීන්හි සේවයේ නියුතු සේවක සේවිකාවන්ට ආයතන ප්‍රධානීන් මව් පිය සෙනෙහසින් සලකනවානම් සේවා ස්ථානය තම නිවස සේ සලකා වැඩ කිරීමට ඔවුන් පෙලබෙන බව මගේ විශ්වාසයයි.
රන්ජියා මාර වැඩ කාරයා. මිනිහා  යකඩ කපන්නේ නිකං රෙදි කපනවා වගේ. මාස 3 ක් ඇතුලත රංජි රෝහලේ අබලන් රෝද පුටු, ට්‍රොලි  සියල්ලම පාහේ අලුත්වැඩියා කළා. මම රෝහලේ වැඩ භාරගන්නකොට බිමට සමතලා වෙලා තිබුන නඩත්තු අංශයේ වහල ගහල කොන්ත්‍රාත් අප්පුහාමිලට සින්න වෙන්න ගිය ලක්ෂ 10 ක් විතර ඉතුරු කරගන්න රංජි මල්ලිගේ දහදිය මහන්සිය ගොඩක් ඉවහල් උනා.  දැඩි සත්කාර ඒකක වලට අවශ්‍ය ඔක්සිජන් සිලින්ඩර රඳවන හදන්න රංජි හරි සූරයා. (රංජි අවසන් වරට නිර්මාණය කල ඔක්සිජන් සිලින්ඩර රඳවනය සමග  චායාරුපයේ දැක්වේ )
රංජි මල්ලිගේ ජීවිතෙන් අපිට ගන්න පාඩම් බොහොමයි.
මහන්සියෙන් වැඩ කරන රංජි මල්ලි මලාට ඉරිදට නම් වැඩට එන්නේ නෑ. “සර් මට ඉරිදට නම් වැඩට එන්න බෑ. මම ඉරිදට පොඩි බිස්නස් එකක් කරනවා” හරි හරි උඹ ඉරිදා එන්න ඕන නෑ. සඳුදා ඇවිල්ල වැඩේ ඉවර කරපන්. මම එහෙම ඔහුට අවසර දුන්නත්,  බිස්නස් එක මොකක්ද කියලා ඇහුවේ නෑ. එක දවසක් මම නඩත්තු අංශයට යනකොට රංජි මල්ලි ඉතා අපහසුවෙන් පුටුවක වාඩිවී සිටියා. මොකද රංජි මල්ලි ? මම ඇහුවා. ටික දවසක ඉඳලා බෙල්ලේ අමාරුවක් තියෙනවා සර්. මේ දවස් වල සිංහල බෙහෙත් කරනවා . මට මේ දවස් වල වැඩ කරන්න අමාරුයි සර්. ටිකක් සනීප උනාම වැඩ ටික කරලා දෙන්නම්. බෙල්ල අතගාමින් රංජි පිළිතුරු දුන්නා.
දිනක් රංජි මල්ලි අසනීපව කායික රෝග වාට්ටුවේ ප්‍රතිකාර ලබන බව ආරංචි වී මම වහාම අදාළ වාට්ටුවට ගියෙමි. සිහි කල්පනාව නොමැතිව සිටි රංජි මල්ලිට මා හඳුනා ගත නොහැකි විය. රෝහලේ සේවකයෙකු ලෙස රංජි මල්ලිට අවශ්‍ය සියලු ප්‍රතිකාර නොඅඩුව ලැබුණි. දිගින් දිගටම සිහිමද ගතියෙන් පෙළුන රංජි මල්ලි ස්නායු රෝග වාට්ටුවට මාරු කෙරුණි. ඥාතීන්ගේ ඉල්ලීම පරිදි අවසානයේ ඔහුව කොළඹ ජාතික රෝහලට මාරු කෙරුණත් සියලු දෙනාගේ නෙතට කඳුලක් නංවමින් රංජි අප හැර ගියේය.
රණාල ප්‍රදේශයේ පිහිටි රංජි මල්ලිගේ නිවසට ගොස් ඔහුට අවසන් ගෞරව දැක්වූ මට අසන්නට ලැබුනේ ඉතා සංවේදී කථා පුවතකි. මිය යන විටත් අවිවාහකව සිටි රංජි තම මාසික වැටුප වැය කර තිබුනේ ලෙඩ ඇඳේ සිටි තම මවගේත් අවිවාහක වැඩිමල් සොයුරියගේත් ඕනෑ එපාකම් සඳහාය. අමතර ආදායමක් උපයා ගැනීම සඳහා ඔහු සෑම ඉරිදාවකම කිරිබත්ගොඩ පොලේ බෑග් විකිණීම සිදු කර තිබුණි. ඔහු මගෙන් ඉල්ලු ඉරිදා නිවාඩුව ඔහුට ලබා දීම පිලිබඳ සතුටක් ඇති වුනත් රංජි නැති දුක ඊට වඩා ප්‍රබලව මට දැනුනි.
රංජි ලා අපිට වැදගත් වන්නේ ඇයි ?
බොහෝ රජයේ ආයතන වල ටී. ඕ. නමැති හාදයෙක් සිටියි. එහෙත් ඔහු ඉස්කුරුප්පු නියනක් අල්ලන ප්‍රායෝගික දැනුමක් හෝ නැති සුදු කොලර් කාරයෙකි. සනීපාරක්ෂක කම්කරු ලෙස රස්සාවට බැඳුනත් බොහෝ නිපුණතා ඇති තරුණයෝ හුඟක් රෝහල් වල සිටිති. රෝහල් නඩත්තු කටයුතු කොන්ත්‍රාත් කරුවන්ට පවරා වැඩෙත් නොකෙරෙන මුදලුත් අහිමිවන ක්‍රමය වෙනුවට මේ තරුණ ශ්‍රමය ඵලදායකව යොදා ගැනීම මම මගේ පරිපාලන වපසරිය තුල හැම විටම ක්‍රියාවට නැංවූ අතර මගෙන් පසු මෙම ආයතන භාර ගත් බලධාරීන් එය අඛණ්ඩව පවත්වාගෙන යාමට එතරම් උනන්දුවක් නොදැක්වීම පිලිබඳ මට ඇත්තේ කනගාටුදායක හැගීමකි.
රන්ජිගේ මරණයට හේතුව ලෙස සඳහන් වූනේ නිදන්ගත ක්ෂයරෝගී තත්වයයි. වසර ගණනාවකට පෙර ශරීර ගතවී තිබු ක්‍ෂයරෝග විෂබීජය රන්ජිගේ සමස්ත ස්නායු පද්ධතියම ආක්‍රමණය කර තිබුණි. වසර කීපයකට පෙර රංජි තම ඥාතියෙකු ක්ෂයරෝගයෙන් පෙළෙමින් සිටියදී ඔහුට සාත්තු කර තිබේ. සෞඛ්‍ය සේවකයෙකු වුවත් ඔහු මෙම රෝගය ගැන නොසලකා හැරීම නිසා වසර ගණනාවකට පසු මෙවැනි අවාසනාවන්ත මරණයකට ගොදුරුවීමට සිදුවිය. මීට මාස 6 කට පමණ පෙර  රටට අහිමි වුයේ රංජි වැනි කුසලතා පිරි තරුණයෙකු වීම දරා ගත නොහැකි සිදුවීමකි. තම මව , සොයුරිය, පෝෂණය කල උත්සාහවන්ත ගුණගරුක රංජි මල්ලි ඔබට නිවන් සුව !


10 comments:

  1. කියවන කාගේත් ඇස් අරවන ලිපියක්. පරිපාලනය සහ කළමනාකරණය කියන්නේ, සහතික වලින් කරන්න බැරි, විශාල ප්‍රයෝගික වැඩකොටසක් බව, පරිපාලනයේ ඉන්න අයගෙන් බොහොම ටිකදෙනයි දන්නේ.

    රංජි ඊළඟ ආත්මයේත් මේ රටට වැඩදායක මිනිසකු වී ඉපදේවා!

    ReplyDelete
  2. රෝහල් වල පහල අංශ වල අයට රෝගාබාධ ගැන හරි අවබෝධයක් නෑ, එයාලා තමයි ලෙඩ්ඩුන්ට සහ නෑදෑයන්ටත් ප්‍රතිකාර ගැන වැරදි අවබෝධයන් ලබා දෙන්නේ, ප්‍රතිකාර ඉවර වෙන්න ඉස්සරින් ඒ ගැන විශ්වාසය බින්දවලා කපටි සිංහල වෙද්දු ගාවට ලෙඩ්ඩු යවන්නේ, ඒ ගැන යමක් කරන්න.

    ReplyDelete
    Replies
    1. A different aspect ,but very important view ,thanks

      Delete
  3. //සනීපාරක්ෂක කම්කරු ලෙස රස්සාවට බැඳුනත් බොහෝ නිපුණතා ඇති තරුණයෝ හුඟක් රෝහල් වල සිටිති. රෝහල් නඩත්තු කටයුතු කොන්ත්‍රාත් කරුවන්ට පවරා වැඩෙත් නොකෙරෙන මුදලුත් අහිමිවන ක්‍රමය වෙනුවට මේ තරුණ ශ්‍රමය ඵලදායකව යොදා ගැනීම මම මගේ පරිපාලන වපසරිය තුල හැම විටම ක්‍රියාවට නැංවූ අතර මගෙන් පසු මෙම ආයතන භාර ගත් බලධාරීන් එය අඛණ්ඩව පවත්වාගෙන යාමට එතරම් උනන්දුවක් නොදැක්වීම පිලිබඳ මට ඇත්තේ කනගාටුදායක හැගීමකි.// තියෙන ක්‍රමේ වැරදි වුනත් ( දේශපාලකයින්ගේ හෙන්චය්යන් සනිපාරක්ෂක කම්කරු ලෙස ගෙනවිත් ඉස්පිරිතාල පුරවන) ඒ ක්‍රමය හරහා ඈ විවිධ දක්ෂතා ඇති තරුනයින් හඳුනා ගෙන රටට වැඩ ගන්න ඔබේ ක්‍රමය ගැන ආඩම්බර වෙමි. අපි විශ්ව විද්යල්ලේ ඉද්දි ඔහොම නිකන් තේ බිබී සිටි සේවකයින් ඵලදායි දේවල් වලට යෙදෙව්වා . ඒ ගැන බ්ලොග් පොස්ට් එකක් ලියන්න ඕනේ..

    ReplyDelete
  4. රෝහල්වල විතරක් නෙමෙයි හැම රාජ්‍ය ආයතනයෙම වගේ තත්වේ ඕක තමයි.

    ReplyDelete