Wednesday, August 31, 2016

විශේසඥ වෛද්‍යවරු සහ මම


මුලින්ම මම රෝහල් පරිපාලනයට සම්බන්ධ වුනේ කොළඹ ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වරයෙකු වශයෙනි. ඒ මම මගේ වෛද්‍ය පරිපාලන පස්චාත් උපාධිය සමත් වූ අලුතමය. (අවවාදයයි ! ඔබට නයා අරිනවා, පම්පෝරි ගහනවා වගේ හැගීමක් දැනෙයි නම් දැන්ම මෙම ලිපිය කියවීම නවත්වන්න. වෛද්‍ය පරිපාලනය මොනතරම් ත්‍රිලින් එක්ස්පීරියන්ස් එකක්  දැයි දැන ගැනීමට අවශ්‍ය නම් දිගටම කියවන්න )

විශේසඥ වෛද්‍යවරු සියයක් පමණ පිරිසක් සේවය කල මෙම ළමා රෝහලේ මගේ ගුරුවරුද වුහ. මහාචාර්ය ළමාබදුසුරිය මහතා එයින් එක් අයෙකි. රෝහලේ පරිපාලන කමිටුව සම්බන්ධීකරනය මා වෙත පැවරී තිබුන අතර මගේ පළමු කාර්ය වුයේ තම රථය ගාල් කිරීම සඳහා විශේසඥ වෛද්‍යවරුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමයි. රෝහල් අක් මුදල් වලින් කහ පාට තීන්ත ගෙන්වා රථ ගාලේ සීමා ඉරි ඇන්දේ රෝහල් සේවකයන්ම වූ අතර බොහෝ විට තීන්ත බාල්දිය අල්ලාගෙන සිටියේ මාය. (ඔන්න ගොන් පාට් එකක් දැම්මා කියා සිතෙන අය කියවීම නවත්වන්න. මට ඒක මාර ජොලි ටීම් වර්ක් එකක්)

වසර ගණනකින්, එතෙක් කල් යාවත්කාලීන කර නොතිබූ වෛද්‍යවරුන්ගේ කාර් පාස් එක මාසයක් ඇතුලත අලුතෙන් නිර්මාණය කල මා අයදුම් කර දින දෙකක් ඇතුලත, අදාළ  විශේසඥ වෛද්‍යවරයා වෙත තම කාර් පාස් එක ලැබීමේ ක්‍රමවේදයක් ඇති කෙරුවෙමි. පළමු කාර් පාස් එක මහාචාර්ය ළමාබදුසුරිය මහතා වෙත මා විසින්ම එතුමාගේ වාට්ටුව ගෙනගොස් භාර දුන් විට එතුමා කියූ දේ මට තවමත් මතකයි. “ Thank you very much you young guy, why don’t you take a seat and have a cup of tea? Today I am having a tea party by my students.”  මම ඉතා ගෞරවයෙන් එතුමාගේ තේ පැන් සංග්‍රහයද භුක්ති වින්දෙමි.

කෙටි කලක් තුල ළමා රෝහලේ ජනප්‍රිය වූ වරදට නොසිතු අවස්ථාවක හලාවත මහ රෝහලේ වෛද්‍ය අධිකාරී වරයා ලෙස උන්නු හැටියේ මතුවීමට සිදුවූ බව බොහෝ අය දන්නා කරුණකි.( atsudarshana.blogspot.com බලන්න)

කොළඹ සිට ඒ. සී. බස් එකේ පැය දෙකක් හලාවතට ගොස් රෝහලේ වැඩ භාර ගන්න ගිය දවසේ, ඉවසිය නොහැකි මුත්‍රා බරක් ඇතිවී ටොයිලට් එකට යාමට අවශ්‍ය වී ඒ සඳහා පාර ඇසු මට රෝහල් සේවකයා පෙන්වුයේ විශේසඥ වෛද්‍යවරුන්ගේ විවේක කාමරයයි. ටොයිලට් එකට ගිය මට තරු පෙනුනේ එහි දොරේ අගුල කැඩී ඇති බව දුටු විටයි. අගුල ලෙස භාවිතා කර තිබුනේ දොරේ ගැට  ගැසූ රෙදි පටියකි. මගේ අවශ්‍යතාවය ඉටුකරගත් පසු වෛද්‍ය අධිකාරී අසුනේ වාඩිවූ මා වහාම රෝහල් ලේකම් වරයා කැඳවූයෙමි. එදින සවස 2 වෙන විට අදාළ අගුල අලුත්වැඩියා කරන ලෙසත් එසේ නොමැතිනම් වෙනත් රෝහලක් සොයාගන්නා ලෙසත් ඔහුට පැවසුවෙමි එදින සවස 1 වන විට මාගේ පළමු රාජකාරී නියෝගය ඉටු වී තිබුණි.

හලාවත මහ රෝහලේ මට පෙර  වෛද්‍ය අධිකාරී වරයා ලෙස වැඩ බැලුවේ විශේසඥ වෛද්‍යවරකි. මගේ පත්වීම පිලිබඳ එතරම් කැමැත්තක් නොදැක්වූ ඔහු තම වාට්ටුවේ ගැටළු මා වෙත ලියා එවන විට මා ඇමතුවේ  Acting Medical Superintendent ලෙසය. එවැනි ආමන්ත්‍රණ සහිතව මා වෙත එවන ඉල්ලීම් වලට මා ළඟ විසඳුම් නැති බව පවසා එම ඉල්ලීම් ලියු පොත් ආපසු හරවා යැව්වෙමි. “ At the moment I am the proper leader in this hospital, there are no acting leaders”.  “මම මෙහි ආවේ හොඳ පරිපාලකයෙකු අවශ්‍ය බව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඔබ කල ඉල්ලීම නිසයි. ඔබ මගේ නායකත්වය පිළිගැනීමට අකමැති නම් මම අදම මෙම රෝහලෙන් ඉවත් වී යන්නම්. කල්යල් බලා මම මට කියන්නට අවශ්‍ය දේ විශේසඥ වෛද්‍යවරුන්ගේ පළමු රැස්වීමේදීම පැවසුවෙමි. ප්‍රශ්නය ඉතා සුහදව විසඳා ගැනුනේ එකිනෙකාට ගරුකිරීමේ වැදගත්කම හැමෝටම මතක් කරමිනි.

ජීවා ඩයස් මහතා කියන පරිදි  විශේසඥ වෛද්‍යවරුන්ගේ කිල්ලෝටවල හුණු හෙවීමට කාලයක් මට නොතිබුණි. ඒ වෙනුවට මට තිබුනේ ලෙඩ්ඩු වැඩි වූ ශල්‍ය වෛද්‍යවරයා හා විකලාංග වෛද්‍යවරයා අතර වලි බේරීමය. ඒ වෙන හේතුවක් නිසා නොව එක තියටර් ටේබල් එකේ දෙදෙනාගේ ශල්‍යකර්ම සිදු කිරීම සඳහා තියටර් ටයිම් මදිවීම නිසයි. ආයතනය තුල තාත්තා කෙනෙක් වගේ විශ්වාසය ගොඩනගා ගත් මා වෙත තම ගැටලුව විසඳා ගැනීමට සෑම විශේසඥ වෛද්‍යවරයෙක්ම පැමිණියා. ඉතා නිහතමානීව මගේ ආසනය ඉදිරියේ තිබු ආසනයේ වාඩිවුණා. විශේසඥ වෛද්‍යවරුන් තම ආයතන ප්‍රධානියාට නියමිත ගෞරවය දක්වනවා දුටුවාම රෝහලේ සෙසු සේවා කාණ්ඩ ඉබේම පාලනය වෙනවා. රෝහල තුල සාමුහිකත්වය ගොඩ නැගෙන විට වෘතීය සමිති භීතිය ඉබේම පහවෙනවා. සර්ගේ මූන බලාගෙන ස්ට්‍රයික් කරන්නේ කොහොමද කියලා හැමෝම අහන්න පටන් ගන්නවා.එහෙම කියලා පොදු එකඟතා මත අරගන්නා වෘතීය සමිති තීරණ වලට එරෙහි වෙලා බොරු වීරයෙක් වෙන්න යන්නෙත් නෑ. (කුණාටුවක් එනකොට බිම දිගා වෙයන් මල්ලියේ )

හලාවත රෝහලේ තැලසීමියා ඒකකය ඒ  වන විට වේගයෙන් දියුණු කර තිබුනේ අදාළ විශේසඥ වෛද්‍යවරයාගේ පෞද්ගලික උත්සාහය මතයි. විකලාංග දන්ත  විශේසඥ වෛද්‍යවරයා යන එන වෙලාව හොයන්න වෙලාවක් තිබුනේ නෑ. ඉස්සෙල්ලම ඔහුගේ සායනයට අරන් දුන්නේ පා පිස්නා. ඊළඟට එම ඒකකයට බොන්න, අත හෝදන්න වතුර. ඔන්න ඕකයි තත්වේ. ජීවා ඩයස් , ඔබ මේ වගේ දේවල් කර තිබෙනවාද?

තව එක විශේසඥ වෛද්‍යවරයෙක් මගෙන් කලේ අපුරු ඉල්ලීමක්. තමන්ගේ SHO ලා ON CLL දවසේ රෝහලෙන් බැහැරව සිටින එක නවත්වන ලෙසයි. එහෙම ඉල්ලීම් කරන විශේසඥ වෛද්‍යවරුන්ගේ යන එන වෙලාව ගැන මම මොකටද සැකෙන් බලන්නේ? (මම හැම විටම මගේ සේවක මණ්ඩලය විශ්වාස කරන බව හැමෝටම කියනවා. ඒ වගේම වැරදි කරලා මගේ විශ්වාසය පලුදු කරගන්න එපා කියලා ප්‍රසිද්ධියේ කියනවා. ලජ්ජා බය තියෙන අය ඉබේම මගේ ක්‍රමයට හැඩ ගැහෙනවා. ( ජීවා ඩයස් මහතාණෙනි, මම කියන්නේ මගේ නැව ගැන පමණයි. අනිත් නැව් ඇතුලේ සිද්ධ වෙන දේවල් මට අදාළ නෑ)

මාරවිල රෝහලේ අක්ෂි වෛද්‍ය විශේසඥවරිය මගෙන් ඉල්ලා සිටියේ තමන්ගේ රෝගීන්ට ඇස් වාට්ටුවක් සාදා දෙන ලෙසයි. එතෙක් ඇයට ලබාදී තිබුනේ ශල්‍ය වාට්ටුවේ ඇඳන් 4 ක් පමණි. මම ඉතින් ඇයට ඇස් වාට්ටුවක් හදලා දුන්නා. ඇය බොහොම සතුටින් නවීන ෆෙකෝ ක්‍රමයට ශල්‍යකර්ම සිය ගණනක් කළා. ඉතින් මට කියන්නේ එයා හරියටම උදේ 8 ට වැඩට එනවද කියලා චෙක් කරලා, ඕ. ටී. කපලා ,විනය පරීක්ෂණයක් කරන්න කියලද?

කුලියාපිටියේ VOG මහත්තයා විශේසඥ වෛද්‍ය පතිනිසේකර. ඔහු වැඩ භාරගන්න දවසේ මගෙන් එක ඉල්ලීමක් කළා. “අනේ සුදර්ශන, මම ආවේ කෑගල්ල රෝහලේ ඉඳලා. ඒ රෝහල හරිම ලස්සනයි. ඔයාට පුලුවන්නම් මේ රෝහලේ පරිපාලන ගොඩනැගිල්ලේ, හිරගෙදර ගේට්ටුව වගේ තියෙන මූසල ගේට්ටුව වෙනස් කරන්න.” මම ඒක තරු පහේ හෝටලයක පෙනුමට වෙනස් කළා. ඔහුගේ වාටුවේ තිබු අඩුපාඩු සියල්ල හදලා දුන්නා. ඔහුගේ වාට්ටුවේ HO DUTY ROOM එක මාසෙකින් හදලා දුන්නේ තමන්ගේ වෛද්‍යවරු නිතරම වාට්ටුවේ රඳවා ගැනීමට ඔහු තුල වූ උනන්දුව එතරම් බලවත් නිසයි. දැනට කුලියාපිටියේ තියෙන ICU එක තනිකරම ගොඩනැගුනේ විශේසඥ වෛද්‍ය වනිගසේකර මහතාගේ උනන්දුව නිසාමයි. ICU  එකේ වෛද්‍යවරු 6 දෙනෙකුට එකවර ස්ථානමාරු ක්‍රියාත්මක කිරීම මම ප්‍රතික්ෂේප කලවිට GMOA එක මගේ තීරණයට එකඟ වුණා. තැන් තැන් වල හිරවී හිටපු වෛද්‍යවරු මගේ රෝහලට ගෙන්වා ගැනීමට උදව් කල GMOA එක එක්ක මම මොකටද හතර මායිම් කතා කරන්න යන්නේ?

කුලියාපිටිය රෝහලට එකවරම විශේසඥ ශල්‍ය වෛද්‍යවරු දෙන්නෙක්  ආවා. එක නිලනිවාසේ දෙකට බෙදාගෙන ජීවත් වෙන්න ඔවුන් කැමති උනා. මාසයක් ඇතුලත මම එම නිල නිවාසය සම්පුර්ණයෙන්ම අලුත්වැඩියා කරලා දුන්නා. වල් වැදුන නිලනිවාස සුද්ද කරන ශ්‍රමදානේ මයියොක්කා මාත් රසවින්දා. මම ලියන පොර ටෝක් වලින් වැඩිපුරම කරන්නේ දොස්තරලා කරන භයානක මගඩි අමතක කරන්න පොඩි පොඩි මෝඩ පාට් ඉස්මතු කිරීමයි, නයා ඇරීමයි කියලා කමෙන්ට් කරපු ජෙන්ටල්මන්ට් ට මට කියන්න තියෙන්නේ මෙච්චරයි. හිතවත් මහත්මයා! බුද්ධ කාලෙත් සාසනේ දුස්සීල භික්ෂුන් හිටියා නොවැ. මගේ නැව් වලදී හමුවුන බහුතරයක් විශේසඥ වෛද්‍යවරු තමන්ගේ රාජකාරිය ආයතනයට පැමිණෙන රෝගීන්ගේ අභිවෘධිය සඳහා උපරිම අයුරින් ඉටු කළා. නිවාඩු යනකොට මට කියලා ගිය නිසා හොරෙන් ගියාද කියලා හොයලා බලන්න උනේ නෑ. රාජකාරී වෙලාවේ පුද්ගලික රෝහලක ශල්‍යකර්මයක් සිදුකරන්න යනකොට ලීව් ෆෝම් එක මගේ අතටම දීල ගියා. මුහුදේ අනිත් නැව් වල අංජබජල් වැඩ වෙන එකට මම වොරි වෙන්නේ මොකටද ජීවා ඩයස් මහත්තයෝ. ඒවා එහෙම උනා කියල මගේ අය ගැනත් එහෙම හිතන්න කියලද මට කියන්නේ?

සවස් වරුවේ රෝහල තුල විශේසඥ වෛද්‍යවරු රැඳෙන්නේ නැති එක නෙවෙයි මට තිබුන ගැටලුව. ඉන්න තැනකින් හදිසි ඇමතුමකට රෝහලට කඩිනමින් එනවිට වාට්ටුව ඉස්සරහ ඇක්සෙස් එක ක්ලියර් කරලා පාකින් ෆ්‍රී තියන්න කියලයි. ඉතින් මට කියන්නේ ඒ වගේ අයට පැය භාගයක් කලින් ගියාද  කියලා හොයල බලලා විනය පරීක්ෂණයක් කරන්න කියලද? බේස් හොස්පිටල් වල විශේසඥ වෛද්‍යවරු මහා රෝහල් වලට වඩා ඉතා අමාරු බව ජීවා ඩයස්ගේ ප්‍රකාශය සම්පුර්ණයෙන්ම වැරදියි. තම චැනල් සේවාව අවසන් කල පසු පර්යන්ත නගරයේ ඔවුන් කොහේ යන්නද? සති අන්තයේ මහ ගෙදර යනතුරු නිල නිවාසයට එනවා මිස? හැබැයි විශාල උප නගර ආශ්‍රිතව චැනල් සේවාවන්  අධික බැවින් ඒ ප්‍රදේශවල මා හිතවත් විශේසඥ වෛද්‍යවරුන්ගේ විවේක බුද්ධිය පිලිබඳ මටත් විශාල කනස්සලු ගතියක් තියෙනවා.

දැන් ඉතින් කියයි, පනින උදවියට ඉනිමං තියනවා කියලා. පරිපාලකයෝ වන අපි  විශේසඥ වෛද්‍යවරු දිහා මේ තරම් විශ්වාසයෙන් හා ගෞරවයෙන් බලනවා කියලා මගේ මේ ලිපිය කියෙව්වම පොඩ්ඩක් හරි සිල් බිඳින ඇත්තොත් යහමගට හැරෙයි කියලා අපි දැඩි අධිස්ටානයක් ඇති කර ගතයුතුයි. මිනිසුන් නිවැරදි කල හැක්කේ ඔවුන්ට අපහාස කිරීමෙන් නොව, ඔවුන් අපට කොතරම් වටිනවාද යන්න ඒත්තු ගැන්වීමෙන් බවයි මම විශ්වාස කරන්නේ. අරමුණ ඉටුවෙනතුරු මම විශ්වාසය අතහරින්නේ නෑ.






No comments:

Post a Comment