Sunday, October 16, 2016

ගෞරවණීය සොඳුරු ප්‍රේමය

මහනුවර ඉඳලා ගම්පහට සේන්දු වුන මගේ පාසැල් ජීවිතයේ ඊළඟ නවාතැන වුනේ ගලහිටියාව සෙන්ට්‍රල් එකයි. පහේ පන්තියේ ඉඳලා ඉස්කෝලේ හිටපු හැමෝම අභිබවමින් අටේ පන්තියේදී ඉස්කෝලෙට ආපු මම එකොළහ වසර වනවිට  පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා බවට පත් වෙන්න  සමත්වුනා.
එකොළහ වසරට අලුතෙන් පාසැලට ආපු ලස්සන ගැහැණු ළමයෙක් ගැන මගේ හිතේ උනන්දුවක් ඇතිවුනා. ලස්සන කවියක් ලියලා මගේ හිතේ ඇය ගැන තිබුන අදහස දන්වලා යැවුවා. මුතුකැට වගේ ලස්සන අත් අකුරු වලින් මට පිළිතුරක් ලැබුණා. එයින් කියවුනේ ඒ වනවිටත් ඇයට පෙම්වතෙක් සිටින බවයි. පාසලේ බාහිර වැඩ වල කාර්යබහුල මා එක්ක ඇය කිසි අමුත්තක් නැතිව සිනහමුසු මුහුණින් යුතුව වැඩ කලා. හිතේ විශාල දුකක් තිබුනත් අමුත්තක් නැතිව මමත් පාසලේ වැඩ කටයුතුවල නිරතවුණා.

ඒත් ටික දවසක් ගතවෙනකොට ..........
“ ඉස්කෝලේ මේන් හෝල් එකට ඔයා ඇතුල් වෙනකොටම ඒ වෙනතෙක් කෑ කෝ ගහ ගහ හිටපු  දාහක් විතර ළමයි ඇල්පෙනෙත්තක් බිම වැටුනත් ඒ ශබ්දේ ඇහෙන තරමට නිශ්ශබ්ද වුණා. මම නම් වශී උනේ ඔයාගේ ලස්සන හිනාවට.  ඒත් මුළු ඉස්කෝලෙම වශී කර ගන්න සමත්වුණ ඔයාගේ පෞරුෂය ගැන මට හරි ආඩම්බරයි.”
ඒ වගේ ලියුම් ලියන තරමට ටික දවසක් ගතවෙනකොට ඇය මට ගොඩාක් සමීප වුනා. පාසැලේ ප්‍රධාන ශිෂ්‍යනායකයා වූ නිසා ඇගේ ඇසුර මට මදහසින් දක්වන හැගීමකටත් ඇස් වලින් කරන කතාවකටත්  පමණක් සීමා වුණා. එක දවසක් ඒ සීමිත ආදරය නවත්වමු යැයි ඇය යෝජනා කළා. ඊට හේතුව ඇය  ඇගේ  ප්‍රථම ප්‍රේමයට පිටුපෑමට තිබූ අකමැත්තයි.
උසස්පෙළ පළමුවරට ලියා සරසවි වරම් නොලැබුන නිසා දෙවනවර විභාගයට සුදානම් වෙමින් සිටි මට මේ තීරණය දරා ගැනීමට ඉතා අපහසු වුණා. පාසලේ ප්‍රධාන ශාලාව ඉදිරිපිටදී ඇය හමුවූ වේලාවකදී මම ඇගෙන් ඉල්ලීමක් කළා. “මගේ එග්සෑම්  එක ඉවරවෙනකම් ඔයාගේ තීරණය කල්දාන්න පුලුවන්ද ? ඊට පස්සේ ඔයාගේ ඕනෑම තීරණයකට මම කැමති වෙන්නම්”.  ඇය හා කිව්වා. මට මුළු ලෝකෙම ලැබුණා වගේ දැනුනා.

එදාට පස්සේ අපි දෙන්නා කවදාවත් මුහුණට මුහුණ හමු වුනේ නෑ. ඒත් ඇය මගේ ආදරවන්තිය කියලා හිතින් හිතාගෙන මම ඉතා කැපවීමෙන් අධ්‍යාපන කටයුතු කරගෙන ගියා. උසස්පෙළ ප්‍රතිඵල අනුව මම වෛද්‍ය විද්‍යාලයට සමත්වූ බව මුළු පාසලටම දැනගන්න ලැබුණා. මගේ ජයග්‍රහණය ගැන ඇයට කියන්න මග බලන් හිටියත් මට ඇයව  හමුවුනේ නෑ.

එක දවසක් ගම්පහ දුම්රියස්ථානයේ විරුද්ධ දිශාවේ වේදිකාවේ ඇය සිටිනවා මම අහම්බෙන් දැක්කා. සෙනග අතරින් කොහොම හරි ඇය සිටින තැනට මම යනවිට ඇය එතැනින් මාව මගහැර ගොස් තිබුනා. ඊට පස්සේ කවදාවත් ඇය මට හමුවුනේ නෑ. වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන කාලය තුල හැමදාම මට ඇයව මතක් වුණා. ඉතා සංවේදී මානසික තත්වයකදී එක වචනයකින් ඇය මා වෙනුවෙන් කල කැපවීම නොවන්නට මම අද මෙතැන නැති බව මට අදටත් හිතෙනවා. මුළු ජීවිත කාලය තුලම ඇයගේ ඒ කැපකිරීමට මගේ හිතේ ඇති ගෞරවය නැතිවෙන්නේ නෑ. නපුරු නොවී මගේ හිත සතුටින් තැබූ ඇය අද කොහේ හෝ ඉතා සතුටින් ජීවත් වෙනවා ඇතැයි මට හිතෙනවා.



23 comments:

  1. දුක්බර ලියැවිල්ලක්

    ReplyDelete
  2. පින්කර තිබුණි මම ඒ රුව දැක ගන්න
    සුන්දර සිනහ මැද මා හද පිනවන්න
    වෙන් වී ගියද මතකය සුවඳක් වැන්න
    ඉන්න තැනක සතුටින් ජීවත් වෙන්න.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. සම්පුර්ණ සින්දුවක් ලිව්වොත් ලස්සණට තියේවී

      Delete
  3. මල කොතැන පිපුණම මොකද
    ගඟ කොතැන ගැළුවම මොකද
    සඳ කොතැන දිළුනම මොකද
    නුඹ කොතැන සිටියම මොකද

    මල කොතැන පිපුණම මොකද
    පිපුණු වග මල දන්නවා
    ගඟ කොතැන ගැළුවම මොකද
    ගලන වග ගඟ දන්නවා
    සඳ කොතැන දිළුනම මොකද
    දිලෙන වග සඳ දන්නවා
    නුඹ කොතැන සිටියම මොකද
    නුඹ ඉන්න බව මං දන්නවා

    විලේ ලස්සන තවත් විල් දියෙ
    මලුත් පිපුණොත් තමා
    දොළේ ලස්සන තවත් දොළ දියෙ
    පෙණත් නැගුනොත් තමා
    සඳේ ලස්සන තවත් සඳ දියෙ
    තරුත් දිළුනොත් තමා
    නුඹේ ලස්සන තවත්නුඹෙ සිතෙ
    මාත් සිටියොත් තමා....

    පද - අතුල ජයදේව
    ස්වර - සුරේෂ් මාලියැද්දේ
    හඬ - දීපිකා ප්‍රියදර්ශනී පීරිස්

    ReplyDelete
  4. සුවදැති මල් වලට ඹබරු එන්නේ රෑන් ගණන්. එවිට මල් වල සුවඳ ගිලිහිලා යනවා. ඒත් මේ වගේ නිහතමානී මලක් ගැන ඇසීම සතුටක්. ඒ සුවඳ කෙටි කාලයකට හෝ විඳින්න ලැබීම ගැන සතුටුවන්න.

    ReplyDelete
  5. පාසැල් කාලේ ප්‍රේමය සුන්දර දෙයක්. මගෙත් ඒ කාලේ කෙල්ලගේ ෆොටෝ තවමත් මම ලඟ තියෙනවා. මමත් හොයනවා ඒ ළමයා දැන් කොහෙද කියලා. ඒත් තවමත් මට ඒ කෙල්ලව හම්බ උනේ නෑ.

    ReplyDelete
  6. ප්‍රථම ප්‍රේමයේ විරහව වුවත් සුන්දර මතකයන්. නේද?

    ReplyDelete
  7. ඔය වගේ අත්දැකීමක් නැත්තම් ජීවිතයට වැඩක් නෑ.ඇත්තටම ඔබගේ කතාව තුල ආදරය තිබුනා.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම්ම් ....

      Delete
  8. මා ගලහිටියාව මධ්‍යම විද්‍යාලයේ හිටියේ හයේ පන්තියේ සිට නමවෙනි ශ්‍රේනිය දක්වා පමණයි. මිශ්‍ර පාසලක අධ්‍යාපනයේ සොඳුරුකම දැනෙන්නේ ඉන් පසු තරුණ කාලේ පිරිමි පාසලක ඉන්න වුනාමයි.

    පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයෙකුව සිට විශ්ව විද්‍යාලයට ගියා ය කියන එක මා පාසල් ගිය කාලේ නම් අසන්න නොලැබුණු දෙයක්. මා උසස් පෙළ සඳහා උගත් පාසලේ නම් ශිෂ්‍යනායකයින් ගේ ප්‍රධාන කාර්යය වුනේ ශිෂ්‍ය නායක කාමරයේ රස්තියාදු වීමයි.

    ReplyDelete
    Replies
    1. ඔව් වෛද්‍ය පීඨයට තේරුණු පලවෙනි ප්‍රධාන ශිෂ්‍යනායකයා මම

      Delete
  9. කොතැනක සිටියත් ඔබ මෙලොවේ, දිගු කල් ජීවත් වෙන්නකෝ
    ඔබේ සිතට සැනසුම ගෙන දී, දිගු කල් ජීවත් වෙන්නකෝ
    රැකගෙන මංගල මුදුව අතේ, දිගු කල් ජීවත් වෙන්නකෝ

    https://youtu.be/kUZd3nlH2bc

    ReplyDelete
  10. සංවේදී බවින් පිරුන ආදරණිය අතීතාවර්ජනයක්...

    ReplyDelete
  11. පාසල් ප්‍රේමය හරිම සුන්දරයි... පාසල් අත්දැකීම තාම තියෙන හන්දා ඒ අත්දැකීම් තාම විදිනවා...

    ReplyDelete
    Replies
    1. ඔව් හරිම සුන්දරයි

      Delete