Wednesday, September 7, 2016

බන්ඩාර ඇලෙන් නාගෙන පාන් කරත්තෙන් ගෙදර ඒම - atsudarshana.blogspot.com (2)

බණ්ඩාර ඇල යනු කිලෝමීටර් 10 ක් පමණ දිව යන මනාව ඉදිකළ වගා ඇලකි. තනිකර කළු ගලෙන් හා ශක්තිමත් යකඩෙන් තැනූ මෙම ඇල මාර්ගය මා මෙතෙක් දුටු ඉතා රමණීය නිර්මාණයකි. මහනුවර භූ විෂමතාවයට අනුකුලව තැනින් තැන තනි කළු ගලෙන් තැනූ ගල් පඩි 20 ක් පමණ වූ කොටස් 3 ක් පමණ මෙම ඇල මාර්ගයේ තිබෙන අතර අපිට තියෙන්නේ පඩිපෙළේ වාඩි වී සිටීම පමණයි. මීටර් නැතිව ඕනෑ තරම් නා ගත හැකි වුවත් අපි වරින් වර ගොඩට එන්නේ නුවර පළාතේ ස්වභාවික සීතල අස්සේ එක දිගට වතුරේ සිටීම අපහසු බැවිණි.-  


මේ කථාව කියවා රසවිඳින අතර ඔබ සිතින් මවා ගත් බන්ඩාර ඇල බලන්න මම පසුගියදා (06/09/ 2016) නුවර, වාවින්න ගමට  ගියා. බලන්න මම පුංචි කාලේ යාලුවෝ එක්ක  දිය කෙළිමින් විනෝද වුන  බන්ඩාර ඇල ලස්සනයිද කියලා?

Tuesday, September 6, 2016

පාරිභෝගික අමන්දානන්දය (Customer Delight)


වසර 2012 දී කුලියාපිටිය රෝහල මා භාර ගන්නා විට එම රෝහල හැඳින්වුයේ කුලියාපිටිය මෝචරිය කියාය. එම නම් පටබැදීමේ හේතුව ලෙස බොහෝ අය කීවේ “ගියොත් මලා” කියාය. තව පිරිසක් රෝහල හැදින්වුයේ කුලියාපිටිය ෂොපින් කම්ප්ලේක්ස් කියාය. පළමු අන්වර්ථ නාමය ගැන පැහැදිළිකිරීමට සංඛ්‍යාලේඛණ අවශ්‍යවුවත් දෙවෙනි එකට හේතුව නම් රෝහල් සේවක සේවිකාවන්  රාජකාරී වෙලාව තුල නගරයේ සාප්පු තුල ගැවසීම බව සොයා ගත්තෙමි. මම මේ කිවූ පූර්විකාව කියවා “දැක්කා නේද? මම කිව්වේ සමස්ත සිස්ටම් එකම ජරාජීර්නයි. පරිපාලකයෝ දුෂිතයි. මේක හදන්න බෑ. රට යන එක සැපයි” කියා හිතන්න එපා.

මම වැඩ භාර ගෙන එක දවසින් දෙවැනි අන්වර්ථ නාමයට තිත තැබීමට හැකිවූ අතර “ගියොත් මළා” කියන හැගීම වෙනස් කිරීමට මාස හයකට වඩා වැඩි කාලයක් ගත වූ බව අවංකව පවසමි.

මේ හැම දේටම වඩා මගේ හිතට වද දෙන ප්‍රශ්නය වුයේ කළු ගැසී දුර්වර්ණව තිබු රෝහල් තාප්පය වර්ණ ගන්වා රෝහලට  අරක්ගෙන තිබු මුසල ගතිය පහකර මහජනතාවගේ ආකර්ෂණය දිනාගන්නේ කෙසේද යන්නයි. මේ සඳහා ටී.ඕ. මහතාගේ දල ඇස්තමේන්තුව වුයේ ලක්ෂ 14  කි. තරු පේනවා හැර වෙන මොකවත් වුනේ නැත. වැලිකඩ හිරගෙදර සිහිගැන්වූ පරිපාලන ගොඩනැගිල්ලේ පෙනුම අද තියෙන සුපිරි තත්වයට වෙනස්කල හැකිවේද, හැමෝටම දෙස්දෙවොල් තිය තියා මම අකුලාගෙන හිටියානම්?

සමස්ත වියදම ලක්ෂ 30 ක් වූ මෙම චුට්ටන් රෙපෙයාර් වැඩ දෙක මාස තුනකින් කල හැටි කියන්නට ගියොත් පිටු 20 ක් වත් ලියන්නට වෙන බැවින් මෙගා විදිහට හිතන අය මගේ හිත නොසන්සුන් නොකර ඉස්පිරිතාලෙට ගිහිල්ලම බලා ගත්තොත් තමයි හොඳ.

මෙම රෝහලේ මගේ සේවා කාලය මාස 20 ක් පමණ වූ අතර ඒ කාලය තුල රෝහලේ පරිපාලන කමිටුව විසින් හඳුනාගත් මුලික අවශ්‍යතාවයන් සියල්ල සම්පුර්ණ කිරීමට තරම් මම වාසනාවන්ත වුයෙමි. (මේ රෝහල මේ වන විටත් සුපිරි නැවක් ලෙස යාත්‍රා කරන  අතර 2016 /09 /03 දින කල හදිසි ගොඩ වැදීමකදී ඒ බව සියැසින්ම ස්ථිර කර ගත්තෙමි )

රෝහලේ ගැබිණි වාට්ටුව අසල බුදු මැදුරක් තිබේ. සෑම දිනකම ගැබිණි මව්වරු බුදුන් වැදීමට මෙතැනට ආවත් ඔවුන්ට ආගමික වතාවත් වල යෙදීමට කිසිඳු පහසුකමක් නොවීය. එමෙන්ම වාට්ටුවට රෝගියෙකු ඇතුලත් කල පසු නෑදෑයන්ට රැදී සිටීමට ස්ථානයක් නොමැති බව මට නිරීක්ෂණය විය. කිසිදු රජයේ ප්‍රතිපාදනයක් නොමැතිව මහජනතාවට මගේ අරමුණ පැහැදිලි කර අසරණ මිනිසුන් වෙනුවෙන් මා දුටු සිහිනය සැබෑ කරගත් බව ලියන්න එපාද?

Customer Satisfaction මට්ටමට රෝහල ගෙනාව මම (වසර 100 ක් වූ  මෙම රෝහලේ සේවය කල හැමට හිමි  නිසි ගෞරවයට යටත්ව) මෙම අතිරේක පහසුකම සලකන්නේ Customer Delight සංකල්පයට රෝහල  රැගෙන ගිය බවයි. මෙවැනි අමතර පහසුකමක් කාසල් වීදියේ මාතෘ රෝහලේ තිබෙන අතර මා දන්නා පරිදි එය ඉදිකර ඇත්තේ රජයේ ප්‍රතිපාදන මගිනි. අහවල් සම්මාන ලාභී රෝහලේ උදවිය ඕවා ලියන්නේ නෑනේ. “මෙයා තමයි මේ චුට්ටන් රෙපෙයාර් වැඩ ගැන එක දෙක කරලා ලියන්නේ” එහෙම හිතෙනවානම් සොරි!

සංකල්ප ( Concepts) නොදැනීම

“කාර් පාස් එකක් ගෙනියන එක ලොකු වැඩක්ද? Dr. සුදර්ශන කරලා තියෙන්නේ රෝහල් ලේකම්ගේ වැඩ”
(මට ප්‍රශ්න 10 ක් ඉදිරිපත් කල සහෝදරයෙක් එම ප්‍රශ්න 10 ට තමන් විසින්ම සැපයු උත්තරයේ මගේ වැඩ ගැන ලියා තිබුනේ එසේයි. ඒ ගැන න්‍යායාත්මක පැහැදිලි කිරීමයි මේ.)

මානව සම්පත් කළමනාකරණයෙදී සැලකිලිමත් වන්නේ අනුගමනය කරණ ක්‍රමවේදයේ ලොකු කුඩා බව නොව, අදාළ ක්‍රමවේදය නිසා ඇති වන ප්‍රතිඵලයේ impact or effectiveness එකයි. ළමා රෝහලේ මහාචාර්ය වරයා වෙත කාර් පාස් එක රැගෙන ගොස් සංකේතාත්මකව මා මගේ සේවා කණ්ඩායම කුළු ගන්වන්නේ ආයතනය customer satisfaction සිට  customer delight දක්වා රැගෙන යා යුතු බවයි. මෙතැනදී රෝහල් පරිපාලකයා වූ මගේ customer වුයේ මහාචාර්යවරයායි.  රෝහල් ලේකම් හා රෝහල් අධ්‍යක්ෂ යන දෙදෙනාගේ job list දෙක හොඳ හැටි දන්නා මම, මෙහිදී කලේ තම customer වෙතට ගොස් සේවා සැපයීමේ ආදර්ශය ඉහලින් සැපයීමයි.

මේ රටේ ඉදිකිරීම් ක්ෂේස්ත්‍රයේ පතාක යෝධයෙකු වන එම්. ජී. කුලරත්න මහතා තම Management Style ගැන මෙසේ කියා තිබුණා. “ හැම තනතුරක්ම ස්ථානගත වෙලා තිබුනට, අවශ්‍ය වුනොත් මමත් වැඩේට බහිනවා. ආදර්ශයෙන් මෙහෙයවීමයි මගේ ක්‍රමය. (Lead by Example) හැබැයි ඒකෙන් කියන්නේ නෑ මං හැමදේටම ඇඟිලි ගහන කෙනෙක් කියලා.”

හැම දෙයක්ම අමුවෙන්, මතුපිටින් විග්‍රහ කරන මේ ඇත්තෝ සිදුහත් බෝසතාණෝ අභිනිෂ්ක්‍රමණය කල උතුම් අරමුණ නොවිමසා  “අනේ අපොයි කුලුඳුලේ පුතා ඉපදුන දවසේ පියාණන් වහන්සේ තම යුතුකම් අමතක කළැයි” නොකිව්වොත් නේ පුදුමේ.

අපි පොඩි කාලේ රවුම් තඹ තහඩුවක් අතට දීලා, කථා කරනකන් ඔන්න ඔහෙන් වාඩිවෙලා ඉන්න කියලා මකුණෝ කන වේවැල් පුටුව පෙන්නපු රාජ්‍ය බැංකු වලට තරු පෙන්නුවේ පෞද්ගලික බැංකු වල සල්ලි නෙවෙයි, Public Relationship, Customer Satisfaction වගේ අලුත් සංකල්ප.

අපි මුලින්ම Quality management එකට ආදර්ශෙට ගත්තේ Castle Street රෝහලේ විශේෂඥ වෛද්‍ය සිරිසේන මහත්තයාගෙ වාට්ටුවේ වැසිකිලිවල තිබු පිරිසිඳු භාවයයි. Castle Street රෝහල Quality සම්මාන දිනුවේ එකින් එක, ටිකෙන් ටික. අම්පාර රෝහල අපිට ආඩම්බරයක්. ඒ රෝහලත් මේ තත්වයට ආවේ 5S, KIZEN වගේ ක්‍රමවේදයන් අනුගමනය කරලයි. ඒ විතරක් නොවෙයි, මේ වනවිට ලංකාවේ සෑම රෝහලකම ආවරණය වන පරිදි මේ සංකල්ප ක්‍රියාවට නැන්වෙනේ සෞඛ්‍ය අමාත්‍යංශයේ Quality Secretariat එකේ අධීක්ෂණය යටතේ. පසුගිය දස වසර තුල වේගයෙන් ක්‍රියාත්මක වූ මේ ව්‍යාපෘතිය ගැන මෑතක මේ රටේ නොසිටි අය නොදැන සිටීම පුදුමයක් නෙවෙයි.


මම රෝහල් බොහොමයක් සංවර්ධනය කෙරුවේ සෞඛ්‍ය  අමාත්‍යාංශය අපිට ලබා දුන්න Quality Indicators වලට අනුවයි. එහි අවසාන ඉලක්කය වුයේ Quality Awards තරඟ වලට ඉදිරිපත් වී රෝහලේ කීර්තිනාමය ඉහල නැංවීම මඟින් මහජනතාවගේ විශ්වාසය දිනාගැනීමයි. ඊළඟ ඉලක්කය රෝහල් සංවර්ධනයට ප්‍රජා සහභාගිත්වය ලබා ගැනීමයි. දනට පිනට ලැදි ශ්‍රී ලාංකික ජනතාව පන්සලට පසු වැඩියෙන්ම පින් තකා ආධාර කරන්නේ රෝහලටයි. රජයේ මුල්‍ය ආයෝජනයට ප්‍රජා සහභාගීත්වය එක්වුනහම රෝහල් සංවර්ධනය ශක්තිමත් වෙනවා, ජනතාවට තම රෝහලේ ownership එකක් ලැබෙනවා. මිනිසුන් මෙයින් විශාල මානසික තෘප්තියක් ලබනවා. It is a thrilling experience.



මගේ වැඩ ගැන හරී... චුට්ටන් වැඩ, ඕවා ලියන්න තරම් ලොකු දේවල් නෙවෙයිනේ, කියමින් කුහකකමින් උපහාස කරණ, රටෙත් නැති ලොවෙත් නැති ලොවි ගහෙත් නැති අප්පුහාමිලාට කියන්න තියෙන්නේ මම කරපු හැම ව්‍යාපෘතියක්ම අවසන් ඉලක්කයක් අරමුණු කරගෙන සැලසුමක් ඇතිව සම්පුර්ණ කල ඒවා විනා, පැලැස්තර රෙපෙයාර් නොවන බවයි. මම කරපු චුට්ටන් වැඩ ගැන ලියන කොට මගේ ඇඟේ ලේ පිරිසිඳු වෙනවා. අනේ මගේ ඒ අහිංසක අයිතිවාසිකමට ගරහන්න එපා, සැප විඳින පින්වත් මහත්තයෝ!

Wednesday, August 31, 2016

අම්මාවරු සහ කැපකරු තාත්තා

පසුගිය අවුරුදු විස්ස තිස්සෙම ලංකාවේ හත්රදිග්බාගේ තියෙන ඉස්පිරිතාලවල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට විවිධ අන්දමේ උපකාර ඕනැ උනහම අදාළ වාට්ටු වලට කථා කරලා ලෙඩාවයි නෑදෑයන්වයි රෝහල් කාර්ය මණ්ඩලයයි සම්බන්ධීකරණය කරලා යම් සහනදායි වටපිටාවක් ගොඩනැගීම මගේ සිරිතක්. ඉහේ කෙස් ගානට කථා කලත් මගේ රත්තරන් නර්ස් නෝනලා  මට හැමදාම බොහොම ගෞරවයෙන් උදව් කරන්නේ බොහෝ රෝහල් වල මම මගේ රාජකාරිය සිංහයෝ තණකොළ කන්නේ නැති ලෙවල් එකෙන් ඉෂ්ඨ කරපු හින්දා කියලයි මම හිතන්නේ. “මම ඔයාලගේ හිටපු අරබෙගෙදර සර් ” කිව්වම “ ආ කොහොමද සර් ” කියලා අහලා ඇඳ ඉහපත ටෙලිපෝන් එකෙන්ම කියවල ලෙඩාගේ විස්තරේ පැහැදිලි කරනවා. පුළුවන් හැම වෙලාවකම වාට්ටුවේ දොස්තර මහත්තයාවත් දුරකථනයට සම්බධ කරලා දෙනවා. ඉස්පිරිතාල දහයක වැඩ කරපු එකේ වාසිය ඕකයි. මේ වගේ උදව්වක් කරලා හිතට දැනෙන සනීපෙ සල්ලි වලට ගන්න බැ. මේ බොහොමයක් ලෙඩ්ඩු මම ඇහැටවත් දැකලා නෑ. ඩේවිඩ් සීයාගේ කරත්තේ පස්සේ ඉස්කෝලේ ඇරිලා ගෙදර එනකොට මගේ හිතේ තිබුනේ ලොකු උනහම අසරණ මිනිස්සුන්ට උදව් කරන මෙන්න මේ ජාතියේ වීරයෙක් වෙන්නයි. මගේ වටේ ඉන්න සමහර එවුන් මට මේ කරන වැඩ වලට උපහාසයෙන් හිනා වෙන්නේ පුංචි කාලේ මාත් එක්ක ලියපු “මම වෛද්‍ය වරයෙක් උනොත් ” කියන රචනාව අමතක කරලා නලාව කරේ දා ගත්තට පස්සේ උන් ලියන්නේ අලුත් රචනාවක් හින්දයි. (ඔක්කොම නෙවෙයි ).
රාගම රෝහලේ වසර 2015-2016 කාලයේ සේවය කරන අතරතුර  තරුණ දුවලා දෙන්නෙක් ඉන්න අම්මා කෙනක් ඇස්  දෙකේ කඳුළු පුරෝගෙන මගේ නිවසට ආවා මාව හමුවෙන්න. මෙන්න මේකයි ඒ අම්මගේ කථාව. ඇගේ වැඩිමහල් දියණියට දෙවැනි දරුවා ලැබෙන්න ඇත්තේ තව සති තුනයි . මේ දක්වා දියණිය පුද්ගලික රෝහලක සායනයට සහභාගී වෙලා තියෙන්නේ දරුවා පුද්ගලික රෝහලේදීම ප්‍රසුත කරන අරමුණෙන්. එත් හදිසියේ සිදුවී ඇත්තේ හරිම අකරතැබ්බයක්. තරුණියගේ පවුලේ අය සමග ආරවුලක් ඇති කරගත් බැනා පොඩ්ඩ තරුණ අම්මාටත් පහරදී නිවසින් එලවා දමා තිබුනා. වැලේ ගෙඩි වැලට බර නෑ කියා මේ අම්මා දරු ප්‍රසුතියට ආසන්න දියණිය තම නිවසට භාර ගත්තා. එහෙත් කලින් සැලසුම් කල පරිදි පෞද්ගලික රෝහලේදී දරුවා ප්‍රසුත කරවීමට වත්කමක් ඇයට තිබුනේ නෑ. ඊට හේතුව බෑනා කිසිඳු උදව්වක් නොකර සම්පුර්ණයෙන්ම තම දරු පවුල නොසලකා හැරීමයි.එතරම් ආර්ථික ශක්තියක් නොවූ මේ අම්මා මගෙන් පිහිටක් ඉල්ලා සිටියේ රාගම රෝහලේදී  දරු ප්‍රසුතිය සඳහා උපකාරයක් කරන ලෙසයි. මෙම තරුණියට වූ අකරතැබ්බය පත්තරේ දැම්මා වගේ ප්‍රසිද්ධ වුවහොත් එය ඇගේ ආත්ම ගෞරවයට හානිකර බැවින් ඇය මගේ ඥාති සහෝදරියක් බැව් අන් අය ඉදිරියේ හඳුන්වාදීමට එකඟතාවයකට එළඹුණා. ඊට පස්සේ මෙහෙයුම පටන්ගත්තා. සායන සටහන් සියල්ල සැමියාගේ ගෙදර දමා ඇවිත් තිබු හෙයින් නැවැත්වූ තැන සිට මේ ගැබිණි මව බලා කියා ගැනීමට රාගම රෝහලේ කාරුණික වෛද්‍ය කණ්ඩායම එකඟ කර ගැනීමට කිසිඳු අපහසුවක් නොවුයේ සායන භාර හෙදි සොයුරිය සහ මේ කාර්ය සඳහා මා විසින් වගකීම භාර දුන් තවත් හෙදියන් දෙදෙනෙකු ඉතා කරුණාවෙන් මෙම කටයුත්තට මට දුන් සහයෝගය නිසයි. (මෙම හෙදියන්ට සහ සියලු වෛද්‍ය වරුන්ට මගේ ගෞරවය පුදන අතර ඔවුන්ගේ අවසරයකින් තොරව නම් සටහන් කලනොහැකිය ).  රාගම රෝහලේ විශේසඥ වෛද්‍ය වරුන්ගේ පෞද්ගලික කැපවීමෙන් ඉතා මනරම්ව තරු පහට (පෞද්ගලික රෝහල් වාට්ටු කැලේ ) පවත්වාගෙන යන බබාලා ලැබෙන වාට්ටුවේදී අපේ කථා නායිකාව කිසිඳු කරදරයකින් තොරව තම දෙවන දියණිය ප්‍රසුත කලාය. මවත් දරුවාත් බැලීමට වාට්ටුවට ගිය මට ඒ තරුණ මවගේ ප්‍රීතිමත් සිනහව දුටුවිට දැනුනේ අපමණ සතුටක්. යාන්තම් ඇති කියලා හිතාගෙන මම එදා ගෙදර ගියා. ඒත් ප්‍රශ්ණ ඉවර උනේ නෑ. දරුවාගේ ටිකට් කපා සතියකට පමණ පසු  රාත්‍රියක  මේ තරුණ කාන්තාවගේ අම්මා අලුත උපන් දරුවා සහ ඇගේ දියණිය සමග  ආයෙත් මාව හොයාගෙන මගේ නිවසට ආවේ අඬ අඬා. දැන් මොකක්ද ප්‍රශ්නේ ? මම ඇහුවා. අනේ බලන්නකෝ මහත්තයෝ දරුවාගේ තාත්තා උප් පැන්නෙට අත්සන් කරන්න බෑ කියනවනේ.   හරි , මිනිහට ඕනේ ” පියාගේ නම ඉරක් වුනේ කොහොමද අම්මේ ” කියන සින්දුව දරුවා ලවා කියවා ගන්න වෙන්න ඇතිනේ. බයවෙන්න එපා හෙට උදේ නවයට ඉස්පිරිතාලේ මගේ ඔෆිස් එකට ඇවිත් මාව හමුවෙන්න.  පසුදා රාගම රෝහලේදී උපත් හා මරණ රෙජිස්ට්‍රාර් වරිය හමුවී මගේ මේ ඥාති සොයුරියගේ අලුත උපන් දියණියව ඇගේ පියාගේ සහජාත භාවයත් සමග ලියාපදිංචි කර උප්පැන්නෙ ලබා දුන්නෙමි. (මෙහිදී  කිසිඳු වංචා සහගත දෙයක් සිදු නොකළ අතර පළමු දරුවාගේ උපතට අදාළ මුලාශ්‍ර  සහ තවත් නීත්‍යනුකුල ලේඛන ප්‍රයෝජනයට ගැනුණි. ඒ පිලිබඳ විස්තර සඳහන් නොකරන්නේ මේ වගේ අතරමගදී ලව් එක අමතක වෙන තාත්තලා තවත් මේ රටේ සිටිය  හැකි බැවින් මගේ ශිල්ප එවුන් දැනගැනීම නුසුදුසු නිසාය )

සමහරුන්ට මේක බොහොම සරළ දෙයක් ලෙස පෙනෙන්න පුළුවන්. ඒත් දෙමව්පියන්ගේ වැරදි නිසා උප්පැන්න ප්‍රශ්න හින්දා සදාකාලිකවම ජීවිතේ කාලකන්නි වුන චරිත අනන්තවත් ඉන්නවා . කොළඹ දිස්ත්‍රික්කයේ නාගරික පවුලක දරුවෙකුට තිබෙන ගැටලුව මේ තරම් උග්‍ර නම් සෙසු පළාත් ගැන කවර කථාද ? මේ දියණිය පාසැල් යන දා සිට ජීවිතයේ විවිධ කඩඉම් සඳහා ඉතා ආඩම්බරයෙන් තම උප්පැන්නය භාවිතා කරන හැම විටම ඇගේ උපතේ කැපකරු පියා මා බව කිසිවිටක නොදැන සිටිනු ඇත. ඇගේ අකීකරු තාත්තාට ඇණිය යුතු පොල් ටොක්ක මේ වන විට මා විසින් ඇන තිබේ. මා ඉතා වයෝවෘධ අයෙකු වී ඇය නව යොවුන් තරුනියකව මේ සමාජයේ ඉතා සතුටින් දිවි ගෙවන කලක මා නිසා ඇය ලබන සතුට මෙනෙහි කර මට කොතරම් සතුටු විය හැකිද ?

;ලි ; අලි දෙන්නම් කොටි දෙන්නම් කියා ලව් කරන කාලේ  පරසක්වල ගසන තරුණ නාම්බෝ, පැටව් එකා දෙන්නා පවුලට එකතු වෙන කොටම ගැහැණුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරනවානම් අහගනිල්ලා මම  ඒවටත් ඔට්ටුයි (මේ ලිපිය ලිව්වේ ඒ. ටී. සුදර්ශන නම් ලේඛකයා ය. (atsudarshana.blogspot.com ගියොත් පරණ ලියුම් කියවන්න පුළුවන් )

මට වෙච්ච දේ

සාමාන්‍යයෙන් බදාදා දින රාත්‍රී 8.30 වන තුරු සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවැත්වෙන, මුළු රටේම ඖෂධ සැපයුම් තත්ව සමාලෝචන රැස්වීමට සහභාගී වීම මගේ සුපුරුදු රාජකාරීයයි. එසේ ප්‍රමාදවී නිවසට පැමිණි මා බ්‍රහස්පතින්දා උදේ වැඩට යාමට නැගිට්ටේ ඉතා නිරෝගීවය.
උදේට කොළ කැඳ කෝප්පයක් පානය කරන මා හට එදින ඒ සඳහා ප්‍රියමනාප ගතියක් නොවුයෙන් ජීවනී වතුර බෝතලයක් හදාගෙන මගේ රියදුරා සමග වැඩට ගියේ ඖෂධ ෆයිල් 20 ක පමණ වැඩ කටයුතු නිම කිරීමට යොදාගෙන තිබුන බැවිණි.  උදේ වරුවේ කාර්යාලය තුලදී මට ඉතා දරුණු උදරාබාධයක් වැළඳුන අතර ඒ බව කිසිවෙකුට නොහඟවා මා විසින් සැලසුම් කරගත් වැඩ සියල්ල නිම කලෙමි.
උදරාබාධය කිසිලෙසකින් වත් අඩු නොවූ බැවින් රියදුරා සමග ආපසු නිවසට පැමිණි මා පැය කිහිපයක් නිදාගෙන ආපසු සවස් වරුවේ අන්තරායකාර ඖෂධ පිලිබඳ රැස්වීමට ඉතා අපහසුවෙන් සහභාගී වී සවස 5 ට පමණ නිවසට පැමිණ රියැදුරාව ආපසු පිටත් කර යැව්වෙමි.
උදේ පටන්ගත් උදරාබාධය වැඩි උනා මිස අඩුවුයේ නම් නැත. රාත්‍රී 7 ට පමණ මගේ රියදුරාට මා ජාතික රෝහලට රැගෙන යාමට පැමිණෙන ලෙස දැන්වුයෙමි. (මගේ අසනීප තත්වය ගැන දැනගත් මගේ ආයතන ප්‍රධානියා උදරාබාධ, හෘදයාබාධ වෙන්කර හඳුනා ගැනීමට නොහැකිව අලකලංචියක් ඇති වීමට ඉඩ නොදී වහාම රෝහල් ගත වන ලෙස මට උපදෙස් දුන්නේය. අසල්වාසී තරුණයෙකු මගේ ළඟ තනි රැකීමට ස්වේච්චාවෙන් ඉදිරිපත් වුයෙන් ඔහුත් කැටුව ජාතික රෝහලට ගියෙමි.  
ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වෙත මා රැගත් කැබ් රථය ඇතුල් කර විනාඩි කීපයක් බලා සිටියත් එතැන වාඩිවී සිටි 6 දෙනෙක් පමණ වූ සුදු ඇඳගත් පිරිමි සේවකයන් එකෙක්වත් නිකමටවත් මේ ආවේ බෝම්බ පටවපු වාහනයක් දැයි සිතා හෝ නැගිට්ටේ නැත. බැරිම තැන මා තනිවම වාහනයේ දොර ඇරගෙන එලියට බැස උන් හය  දෙනා ලඟට ගියෙමි. දෙයියම්පා! ඒත් උන් එකෙක්වත් වාඩිවී සිටි බංකුවෙන් නැගිට්ටේ නැත.
ඔන්න එතකොට තමයි මම දැරණියගල යකා මහත්තයාට ආරුඪ උනේ. (මෙහිදී උන්ගේ අම්මා මුත්තාගෙන් වත් නොඇසූ මම උන්ට කියූ දේ නොලියා සිටිමි) හය දෙනාම ඉද්ද ගැසුවා සේ නැගිට ඉතා වේදනාවෙන් වුවත් සිංහ පාර්ට් එකෙන් සිටි මාව රෝද පුටුවක තබා හදිසි ප්‍රතිකාර ඒකකය වෙත යොමු කලේ විදුලි වේගයෙන්. (මට  වගේ  සිවිල් බලයක් නැති සාමාන්‍ය මිනිසුන්ට තිස්තුන් කෝටියක් දෙවියන්ගේම පිහිටයි. මොකා තරහ උනත් මට වෙච්ච දේ ලියන්න මගේ කොන්ද පන තියෙනවා. මාත් එක්ක වාද නොකර වරද නිවැරදි කරපල්ලා, දෙයියන්ගේ නාමෙන්)
හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරයා ඉතා කාරුණිකයි, කාර්යක්ෂමයි. ඔහු මට වැළදී ඇත්තේ ගස්ට්‍රෛටිස් ද නැතහොත් හෘදයාබාධයක්ද යන්න වෙන්කර හඳුනා ගැනීමට අවශ්‍ය මුලික රෝග විනිශ්චය පියවර ගනිමින් සිටින බව වෛද්‍යවරයෙකු වූ මට දැනුනා.
ඒ එක්කම ඉතා තරුණ ලස්සන හෙදියක් ඉතා උස්‌ හඬින් මගේ නම අසාගෙන මා වෙත ආවේ යක්ෂ දිෂ්ටියෙන් .  “I am doctor A.T.Sudarshana, Deputy Director MSD ඇය වෙත දබර ඇඟිල්ල දිගුකර මගේ තාලෙන් මම ඇයට කිව්වා. ඊට පස්සේ යක්ෂ දිස්ටියේ ෆියුස් ගියා. ( මා ඇතුළු සාමාන්‍ය  ජනතාවට ආයෙත්  දෙවියන්ගේ පිහිටයි, වරද නිවැරදි කර ගනිල්ලා, නැතිනම් අපායේ පලයල්ලා )
ඊලඟට ආවේ මගේ පරණ පින් පලදෙන වාරේ. එදින කැෂුවල්ටි වාට්ටුවේ Senior Registrar මාව පරීක්ෂා කරන්න මා ලඟට ආවා. “සර් ගේ ලිපි මම  ෆේස් බුක් එකේ කියවල තියෙනවා. සර් කුලියාපිටිය ඉස්පිරිතාලේ හිටියා නේද?  සර් කුලියාපිටිය ඉස්පිරිතාලෙන් ගිය අලුත මම මාස හයක් කුලියාපිටිය ඉස්පිරිතාලේ පශ්චාත් උපාධි පුහුණුව ලැබුවා”. මේ තරුණ වෛද්‍යවරයා මුණ ගැසීමෙන් පස්සේ මගේ වේදනාවෙන් භාගයක් ඉබේම සුව උනා.   

හදිසි ප්‍රතිකාර නිම වීමෙන් පසු අංක 14 වාට්ටුවට ඇතුලත් වූ මා හට කිසිඳු ප්‍රමාදයකින් තොරව සියලු ප්‍රතිකාර ලැබුණු අතර එක දිගටම තිබු උදර වේදනාව යාන්තම් අඩු වූයේ පාන්දර යාමයේය. ඔන්න පාන්දර යාමේ ආයෙත් දිෂ්ටි වෙච්ච එකෙක් ආවා. මිනිහා ඊ. සී. ජී . පටියක් ගන්න ආපු තරුණ දිශ්ටියක්. අනෙක් රෝගීන්ට කතා කරන සුපුරුදු සද්දෙන් මට කතා කරපු මිනිහගේ දිෂ්ටියේ හුලන් බහින්න දබර ඇඟිල්ල දික් කරලා මම කවුද කියලා මිනිහට කියනවා ඇරෙන්න වෙන විකල්පයක් තිබුනේ නෑ. (අම්මපා මුන්ගේ මොළ හෝදන්න මට චාන්ස් එකක් ලැබෙන්නේ නැති හැටි ) මගේ ඇඟ පුරා ගාපු ජෙල් ටික පිහ දාන්න වාට්ටුවෙන් ගෝස් එකක් ඉල්ලගන්න කියලා ගෝලයත් එක්ක මිනිහා යන්න ගියා. ඒ ඇරුනහම වාට්ටුවේ කිසිවෙකු මා සිටින කාලේ දිෂ්ටි උනේ නෑ

දැන් කවුරු හරි කියයි, මේව හරි සුළු දේවල්නේ. ලියන්න තරම් දේවල්ද කියලා. එහෙනම් අහගනිල්ලා. බිලියන ගණන් නිදහස් සෞඛ්‍යට මහජනතාවගේ මුදල් යොදවන්නේ, සුපිරි සැලකිල්ලක් ලබන්න මිසක් එක එකාගේ අත පල්ලෙන් වැටුනා වගේ සැලකිලි ලබන්න නෙවෙයි. වාචික විනය නොමැති කම රජයේ ආයතන වල උපන්ගෙයි අයිතිවාසිකමක් වෙලා. ඉස්පිරිතාලේ ඒ ලෙඩේ සීයට අසුවයි.මගේ ලෙඩේ තවම නිට්ටාවට සුව වෙලා නැහැ. කොයි වෙලාවේ හරි ආයෙත් ඕනෑම ඉස්පිරිතාලෙකට එන්න ඉඩ තියෙනවා. මම අපේක්ෂා කරන වෙනස දකිනතුරු යකා මහත්තයාගේ රෝල් එක නවත්වන්නේ නැ. කවුරු කැමති  උනත් අකමැති උනත් කරන්න දෙයක් නෑ.


(අංක 14 වාට්ටුව ඉතා පිරිසිදුව පියකරුව පවත්වාගෙන යන වාට්ටු භාර හෙද සොයුරිය ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයට විශේෂ ප්‍රනාමයක් පුද කල යුතුයි).

විශේසඥ වෛද්‍යවරු සහ මම


මුලින්ම මම රෝහල් පරිපාලනයට සම්බන්ධ වුනේ කොළඹ ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වරයෙකු වශයෙනි. ඒ මම මගේ වෛද්‍ය පරිපාලන පස්චාත් උපාධිය සමත් වූ අලුතමය. (අවවාදයයි ! ඔබට නයා අරිනවා, පම්පෝරි ගහනවා වගේ හැගීමක් දැනෙයි නම් දැන්ම මෙම ලිපිය කියවීම නවත්වන්න. වෛද්‍ය පරිපාලනය මොනතරම් ත්‍රිලින් එක්ස්පීරියන්ස් එකක්  දැයි දැන ගැනීමට අවශ්‍ය නම් දිගටම කියවන්න )

විශේසඥ වෛද්‍යවරු සියයක් පමණ පිරිසක් සේවය කල මෙම ළමා රෝහලේ මගේ ගුරුවරුද වුහ. මහාචාර්ය ළමාබදුසුරිය මහතා එයින් එක් අයෙකි. රෝහලේ පරිපාලන කමිටුව සම්බන්ධීකරනය මා වෙත පැවරී තිබුන අතර මගේ පළමු කාර්ය වුයේ තම රථය ගාල් කිරීම සඳහා විශේසඥ වෛද්‍යවරුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමයි. රෝහල් අක් මුදල් වලින් කහ පාට තීන්ත ගෙන්වා රථ ගාලේ සීමා ඉරි ඇන්දේ රෝහල් සේවකයන්ම වූ අතර බොහෝ විට තීන්ත බාල්දිය අල්ලාගෙන සිටියේ මාය. (ඔන්න ගොන් පාට් එකක් දැම්මා කියා සිතෙන අය කියවීම නවත්වන්න. මට ඒක මාර ජොලි ටීම් වර්ක් එකක්)

වසර ගණනකින්, එතෙක් කල් යාවත්කාලීන කර නොතිබූ වෛද්‍යවරුන්ගේ කාර් පාස් එක මාසයක් ඇතුලත අලුතෙන් නිර්මාණය කල මා අයදුම් කර දින දෙකක් ඇතුලත, අදාළ  විශේසඥ වෛද්‍යවරයා වෙත තම කාර් පාස් එක ලැබීමේ ක්‍රමවේදයක් ඇති කෙරුවෙමි. පළමු කාර් පාස් එක මහාචාර්ය ළමාබදුසුරිය මහතා වෙත මා විසින්ම එතුමාගේ වාට්ටුව ගෙනගොස් භාර දුන් විට එතුමා කියූ දේ මට තවමත් මතකයි. “ Thank you very much you young guy, why don’t you take a seat and have a cup of tea? Today I am having a tea party by my students.”  මම ඉතා ගෞරවයෙන් එතුමාගේ තේ පැන් සංග්‍රහයද භුක්ති වින්දෙමි.

කෙටි කලක් තුල ළමා රෝහලේ ජනප්‍රිය වූ වරදට නොසිතු අවස්ථාවක හලාවත මහ රෝහලේ වෛද්‍ය අධිකාරී වරයා ලෙස උන්නු හැටියේ මතුවීමට සිදුවූ බව බොහෝ අය දන්නා කරුණකි.( atsudarshana.blogspot.com බලන්න)

කොළඹ සිට ඒ. සී. බස් එකේ පැය දෙකක් හලාවතට ගොස් රෝහලේ වැඩ භාර ගන්න ගිය දවසේ, ඉවසිය නොහැකි මුත්‍රා බරක් ඇතිවී ටොයිලට් එකට යාමට අවශ්‍ය වී ඒ සඳහා පාර ඇසු මට රෝහල් සේවකයා පෙන්වුයේ විශේසඥ වෛද්‍යවරුන්ගේ විවේක කාමරයයි. ටොයිලට් එකට ගිය මට තරු පෙනුනේ එහි දොරේ අගුල කැඩී ඇති බව දුටු විටයි. අගුල ලෙස භාවිතා කර තිබුනේ දොරේ ගැට  ගැසූ රෙදි පටියකි. මගේ අවශ්‍යතාවය ඉටුකරගත් පසු වෛද්‍ය අධිකාරී අසුනේ වාඩිවූ මා වහාම රෝහල් ලේකම් වරයා කැඳවූයෙමි. එදින සවස 2 වෙන විට අදාළ අගුල අලුත්වැඩියා කරන ලෙසත් එසේ නොමැතිනම් වෙනත් රෝහලක් සොයාගන්නා ලෙසත් ඔහුට පැවසුවෙමි එදින සවස 1 වන විට මාගේ පළමු රාජකාරී නියෝගය ඉටු වී තිබුණි.

හලාවත මහ රෝහලේ මට පෙර  වෛද්‍ය අධිකාරී වරයා ලෙස වැඩ බැලුවේ විශේසඥ වෛද්‍යවරකි. මගේ පත්වීම පිලිබඳ එතරම් කැමැත්තක් නොදැක්වූ ඔහු තම වාට්ටුවේ ගැටළු මා වෙත ලියා එවන විට මා ඇමතුවේ  Acting Medical Superintendent ලෙසය. එවැනි ආමන්ත්‍රණ සහිතව මා වෙත එවන ඉල්ලීම් වලට මා ළඟ විසඳුම් නැති බව පවසා එම ඉල්ලීම් ලියු පොත් ආපසු හරවා යැව්වෙමි. “ At the moment I am the proper leader in this hospital, there are no acting leaders”.  “මම මෙහි ආවේ හොඳ පරිපාලකයෙකු අවශ්‍ය බව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඔබ කල ඉල්ලීම නිසයි. ඔබ මගේ නායකත්වය පිළිගැනීමට අකමැති නම් මම අදම මෙම රෝහලෙන් ඉවත් වී යන්නම්. කල්යල් බලා මම මට කියන්නට අවශ්‍ය දේ විශේසඥ වෛද්‍යවරුන්ගේ පළමු රැස්වීමේදීම පැවසුවෙමි. ප්‍රශ්නය ඉතා සුහදව විසඳා ගැනුනේ එකිනෙකාට ගරුකිරීමේ වැදගත්කම හැමෝටම මතක් කරමිනි.

ජීවා ඩයස් මහතා කියන පරිදි  විශේසඥ වෛද්‍යවරුන්ගේ කිල්ලෝටවල හුණු හෙවීමට කාලයක් මට නොතිබුණි. ඒ වෙනුවට මට තිබුනේ ලෙඩ්ඩු වැඩි වූ ශල්‍ය වෛද්‍යවරයා හා විකලාංග වෛද්‍යවරයා අතර වලි බේරීමය. ඒ වෙන හේතුවක් නිසා නොව එක තියටර් ටේබල් එකේ දෙදෙනාගේ ශල්‍යකර්ම සිදු කිරීම සඳහා තියටර් ටයිම් මදිවීම නිසයි. ආයතනය තුල තාත්තා කෙනෙක් වගේ විශ්වාසය ගොඩනගා ගත් මා වෙත තම ගැටලුව විසඳා ගැනීමට සෑම විශේසඥ වෛද්‍යවරයෙක්ම පැමිණියා. ඉතා නිහතමානීව මගේ ආසනය ඉදිරියේ තිබු ආසනයේ වාඩිවුණා. විශේසඥ වෛද්‍යවරුන් තම ආයතන ප්‍රධානියාට නියමිත ගෞරවය දක්වනවා දුටුවාම රෝහලේ සෙසු සේවා කාණ්ඩ ඉබේම පාලනය වෙනවා. රෝහල තුල සාමුහිකත්වය ගොඩ නැගෙන විට වෘතීය සමිති භීතිය ඉබේම පහවෙනවා. සර්ගේ මූන බලාගෙන ස්ට්‍රයික් කරන්නේ කොහොමද කියලා හැමෝම අහන්න පටන් ගන්නවා.එහෙම කියලා පොදු එකඟතා මත අරගන්නා වෘතීය සමිති තීරණ වලට එරෙහි වෙලා බොරු වීරයෙක් වෙන්න යන්නෙත් නෑ. (කුණාටුවක් එනකොට බිම දිගා වෙයන් මල්ලියේ )

හලාවත රෝහලේ තැලසීමියා ඒකකය ඒ  වන විට වේගයෙන් දියුණු කර තිබුනේ අදාළ විශේසඥ වෛද්‍යවරයාගේ පෞද්ගලික උත්සාහය මතයි. විකලාංග දන්ත  විශේසඥ වෛද්‍යවරයා යන එන වෙලාව හොයන්න වෙලාවක් තිබුනේ නෑ. ඉස්සෙල්ලම ඔහුගේ සායනයට අරන් දුන්නේ පා පිස්නා. ඊළඟට එම ඒකකයට බොන්න, අත හෝදන්න වතුර. ඔන්න ඕකයි තත්වේ. ජීවා ඩයස් , ඔබ මේ වගේ දේවල් කර තිබෙනවාද?

තව එක විශේසඥ වෛද්‍යවරයෙක් මගෙන් කලේ අපුරු ඉල්ලීමක්. තමන්ගේ SHO ලා ON CLL දවසේ රෝහලෙන් බැහැරව සිටින එක නවත්වන ලෙසයි. එහෙම ඉල්ලීම් කරන විශේසඥ වෛද්‍යවරුන්ගේ යන එන වෙලාව ගැන මම මොකටද සැකෙන් බලන්නේ? (මම හැම විටම මගේ සේවක මණ්ඩලය විශ්වාස කරන බව හැමෝටම කියනවා. ඒ වගේම වැරදි කරලා මගේ විශ්වාසය පලුදු කරගන්න එපා කියලා ප්‍රසිද්ධියේ කියනවා. ලජ්ජා බය තියෙන අය ඉබේම මගේ ක්‍රමයට හැඩ ගැහෙනවා. ( ජීවා ඩයස් මහතාණෙනි, මම කියන්නේ මගේ නැව ගැන පමණයි. අනිත් නැව් ඇතුලේ සිද්ධ වෙන දේවල් මට අදාළ නෑ)

මාරවිල රෝහලේ අක්ෂි වෛද්‍ය විශේසඥවරිය මගෙන් ඉල්ලා සිටියේ තමන්ගේ රෝගීන්ට ඇස් වාට්ටුවක් සාදා දෙන ලෙසයි. එතෙක් ඇයට ලබාදී තිබුනේ ශල්‍ය වාට්ටුවේ ඇඳන් 4 ක් පමණි. මම ඉතින් ඇයට ඇස් වාට්ටුවක් හදලා දුන්නා. ඇය බොහොම සතුටින් නවීන ෆෙකෝ ක්‍රමයට ශල්‍යකර්ම සිය ගණනක් කළා. ඉතින් මට කියන්නේ එයා හරියටම උදේ 8 ට වැඩට එනවද කියලා චෙක් කරලා, ඕ. ටී. කපලා ,විනය පරීක්ෂණයක් කරන්න කියලද?

කුලියාපිටියේ VOG මහත්තයා විශේසඥ වෛද්‍ය පතිනිසේකර. ඔහු වැඩ භාරගන්න දවසේ මගෙන් එක ඉල්ලීමක් කළා. “අනේ සුදර්ශන, මම ආවේ කෑගල්ල රෝහලේ ඉඳලා. ඒ රෝහල හරිම ලස්සනයි. ඔයාට පුලුවන්නම් මේ රෝහලේ පරිපාලන ගොඩනැගිල්ලේ, හිරගෙදර ගේට්ටුව වගේ තියෙන මූසල ගේට්ටුව වෙනස් කරන්න.” මම ඒක තරු පහේ හෝටලයක පෙනුමට වෙනස් කළා. ඔහුගේ වාටුවේ තිබු අඩුපාඩු සියල්ල හදලා දුන්නා. ඔහුගේ වාට්ටුවේ HO DUTY ROOM එක මාසෙකින් හදලා දුන්නේ තමන්ගේ වෛද්‍යවරු නිතරම වාට්ටුවේ රඳවා ගැනීමට ඔහු තුල වූ උනන්දුව එතරම් බලවත් නිසයි. දැනට කුලියාපිටියේ තියෙන ICU එක තනිකරම ගොඩනැගුනේ විශේසඥ වෛද්‍ය වනිගසේකර මහතාගේ උනන්දුව නිසාමයි. ICU  එකේ වෛද්‍යවරු 6 දෙනෙකුට එකවර ස්ථානමාරු ක්‍රියාත්මක කිරීම මම ප්‍රතික්ෂේප කලවිට GMOA එක මගේ තීරණයට එකඟ වුණා. තැන් තැන් වල හිරවී හිටපු වෛද්‍යවරු මගේ රෝහලට ගෙන්වා ගැනීමට උදව් කල GMOA එක එක්ක මම මොකටද හතර මායිම් කතා කරන්න යන්නේ?

කුලියාපිටිය රෝහලට එකවරම විශේසඥ ශල්‍ය වෛද්‍යවරු දෙන්නෙක්  ආවා. එක නිලනිවාසේ දෙකට බෙදාගෙන ජීවත් වෙන්න ඔවුන් කැමති උනා. මාසයක් ඇතුලත මම එම නිල නිවාසය සම්පුර්ණයෙන්ම අලුත්වැඩියා කරලා දුන්නා. වල් වැදුන නිලනිවාස සුද්ද කරන ශ්‍රමදානේ මයියොක්කා මාත් රසවින්දා. මම ලියන පොර ටෝක් වලින් වැඩිපුරම කරන්නේ දොස්තරලා කරන භයානක මගඩි අමතක කරන්න පොඩි පොඩි මෝඩ පාට් ඉස්මතු කිරීමයි, නයා ඇරීමයි කියලා කමෙන්ට් කරපු ජෙන්ටල්මන්ට් ට මට කියන්න තියෙන්නේ මෙච්චරයි. හිතවත් මහත්මයා! බුද්ධ කාලෙත් සාසනේ දුස්සීල භික්ෂුන් හිටියා නොවැ. මගේ නැව් වලදී හමුවුන බහුතරයක් විශේසඥ වෛද්‍යවරු තමන්ගේ රාජකාරිය ආයතනයට පැමිණෙන රෝගීන්ගේ අභිවෘධිය සඳහා උපරිම අයුරින් ඉටු කළා. නිවාඩු යනකොට මට කියලා ගිය නිසා හොරෙන් ගියාද කියලා හොයලා බලන්න උනේ නෑ. රාජකාරී වෙලාවේ පුද්ගලික රෝහලක ශල්‍යකර්මයක් සිදුකරන්න යනකොට ලීව් ෆෝම් එක මගේ අතටම දීල ගියා. මුහුදේ අනිත් නැව් වල අංජබජල් වැඩ වෙන එකට මම වොරි වෙන්නේ මොකටද ජීවා ඩයස් මහත්තයෝ. ඒවා එහෙම උනා කියල මගේ අය ගැනත් එහෙම හිතන්න කියලද මට කියන්නේ?

සවස් වරුවේ රෝහල තුල විශේසඥ වෛද්‍යවරු රැඳෙන්නේ නැති එක නෙවෙයි මට තිබුන ගැටලුව. ඉන්න තැනකින් හදිසි ඇමතුමකට රෝහලට කඩිනමින් එනවිට වාට්ටුව ඉස්සරහ ඇක්සෙස් එක ක්ලියර් කරලා පාකින් ෆ්‍රී තියන්න කියලයි. ඉතින් මට කියන්නේ ඒ වගේ අයට පැය භාගයක් කලින් ගියාද  කියලා හොයල බලලා විනය පරීක්ෂණයක් කරන්න කියලද? බේස් හොස්පිටල් වල විශේසඥ වෛද්‍යවරු මහා රෝහල් වලට වඩා ඉතා අමාරු බව ජීවා ඩයස්ගේ ප්‍රකාශය සම්පුර්ණයෙන්ම වැරදියි. තම චැනල් සේවාව අවසන් කල පසු පර්යන්ත නගරයේ ඔවුන් කොහේ යන්නද? සති අන්තයේ මහ ගෙදර යනතුරු නිල නිවාසයට එනවා මිස? හැබැයි විශාල උප නගර ආශ්‍රිතව චැනල් සේවාවන්  අධික බැවින් ඒ ප්‍රදේශවල මා හිතවත් විශේසඥ වෛද්‍යවරුන්ගේ විවේක බුද්ධිය පිලිබඳ මටත් විශාල කනස්සලු ගතියක් තියෙනවා.

දැන් ඉතින් කියයි, පනින උදවියට ඉනිමං තියනවා කියලා. පරිපාලකයෝ වන අපි  විශේසඥ වෛද්‍යවරු දිහා මේ තරම් විශ්වාසයෙන් හා ගෞරවයෙන් බලනවා කියලා මගේ මේ ලිපිය කියෙව්වම පොඩ්ඩක් හරි සිල් බිඳින ඇත්තොත් යහමගට හැරෙයි කියලා අපි දැඩි අධිස්ටානයක් ඇති කර ගතයුතුයි. මිනිසුන් නිවැරදි කල හැක්කේ ඔවුන්ට අපහාස කිරීමෙන් නොව, ඔවුන් අපට කොතරම් වටිනවාද යන්න ඒත්තු ගැන්වීමෙන් බවයි මම විශ්වාස කරන්නේ. අරමුණ ඉටුවෙනතුරු මම විශ්වාසය අතහරින්නේ නෑ.






Tuesday, August 23, 2016

උඩු ගං බලා පිහිනීම


ශ්‍රී ලංකාවේ ඉස්පිරිතාලෙකට, පොලීසියකට, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට ගොස් වැඩක් කර ගැනීමට නම් (රස්තියාදුවකින් තොරව ) දන්නා හඳුනන කෙනෙක් අනිවාර්යයෙන්ම සිටිය යුතු බව බහුතර ජනතාවගේ පිළිගැනීමයි. අනෙත් ආයතන ගැන ඉන්තේරුවෙන්ම කීමට නොහැකි වුවත් රෝහල ආශ්‍රිතව තත්වය එය බව මම ඉඳුරාම කියා සිටිමි. (රෝහල් සේවයේ මොකා නැට්ට කෙලින් කරගෙන මට දෙස් දෙවොල් තිබ්බත් ඇත්ත ඕක තමයි ). රජයේ රෝහල් වල සේවකයන්ගේ සැර පරුෂ බව, ආඩම්බර ගතිය ගැන, වෙලාවට වැඩ නොකරන බව, කියන්නේ කවුද? එසේ කියන්නේ රෝහල් සේවකයන් නොවන  අයයි.  දැන් ඉතින් මේ රෝහල් සේවකයන් නොවන අය රෝහල් පත්වීමක් ලැබුනහම ඉතා කරුණාවෙන් කතා කරන, නිහතමානී ගති ඇති, වෙලාවට වැඩ කරන, කිසිදා වැඩ වර්ජනය නොකරන, බෝ පැල වගේ එවුන් වෙනවද?  මොන පිස්සුද? රස්සාව ලැබුණ ගමන් උන්ට වෙස් පෙරළෙනවා. මොකක්ද ඒකට හේතුව? සමස්ත සමාජයම වෙලා ගත් අධ්‍යාත්මික පිරිහීමයි.

පාරේ වාහනයක් එලවනකොට මලාට අනිත් එකාට ඉඩ නොදෙන (අඳුරන එකෙක් දැක්කොත් ලජ්ජාවට ඉඩ දෙන), අඳුරන්නේ නැති කෙනෙක් ඇඟේ හැප්පුනොත් කෝපාවිෂ්ඨ වෙන, (අදුරනවානම් සොරි මචං කොහෙද යන්නේ කියලා අහන ), හැකි හැම විටම පෝලිම පනින, පන්සලේදී කුඩය සහ සෙරෙප්පු කුට්ටම නැති වේදෝයි දෙගිඩියාවෙන් මල් පහන් පුජා කරන ලෝකෙන් උතුම් රට , බුදුන් උපන් දේශය ආදී වශයෙන් තමාම හඳුන්වා ගන්නා ජාතියක්, තමන්ට අවස්තාව ලැබුනහම නොකරන දේවල් අනුන්ගෙන් අපේක්ෂා කිරීමේ ඛේදවාචකය නොවෙයිද මේ?
උන්න හිටිය ගමන් මේ වගේ ලියවිල්ලක් ලිව්වේ මොකද කියලා හැමෝටම හිතෙන්න පුළුවන්. හැම දවසකම අඩුම ගනනේ පස් දෙනෙකුටවත් රෝහල් ආශ්‍රිත  උදව්වක් කරන්න මට සිදු වෙනවා. (නිවන් යන්න මීට වඩා පහසු ක්‍රමයක් නැති නිසා මම මේ සියල්ල කරන්නේ ඉතා සතුටින්. ඒ වගේම මට ලැබී තිබෙන සිවිල් බලය ගැන බොහොම අභිමානයෙන් ) ඒත්  මට හැම විටම හිතෙනවා මේ ටික ස්වේච්චාවෙන් ඉටු කෙරෙනවනම් අපි මොන තරම් වාසනාවන්ත ජාතියක්ද කියලා. දැන් ඉතින් කියයි මොන පිස්සුද අපේ ළඟ නම් කරුණාව දයාව බේරෙනවා කියලා. ඔව් එහෙම වෙනවා, සීයට විස්සක් විතර. දැන් ඉතින් මේක සීයට අසූව කරන්නේ කොහොමද? මාර සිම්පල්.
මේ දවස් වල ඒ ලෙවල් ,ඕ ලෙවල් කරන කොල්ලෝ කෙල්ලෝ සෙට් වෙයල්ලා. සෙට් වෙලා මෙන්න මෙහෙම අධිෂ්ඨානයක් ඇති කර ගනිල්ලා. මම රෝහල් සේවකයෙක් වුණ දවසට,
  • 1.       හැම ලෙඩාටම අයුබොවන්, කොහොමද සැප සනීප කියලා අහනවා.
  • 2.       කිසි දවසක උස්‌ හඬින් රෝගීන්ට කථා කරන්නේ නෑ
  • 3.       කරුණා කරලා වාඩි වෙන්න, කරුණාකරල  නම කියන්න ආදී වශයෙන් කතාකරනවා
  • 4.       උදේ අට නම් හරියට අටට සායනයට එනවා. හවස හතර වෙනකම් ගෙදර යන්නේ නෑ
  • 5.       පත්වීම ලැබුණ දා ඉඳලා ගේ ළඟ ඉස්පිරිතාලෙට මාරු වෙන්න ට්‍රයි කරන්නේ නෑ.
  • 6.       බෙහෙත් කවුන්ටර් පහෙන් තුනක් වහලා, පංගු පේරුවට වැඩ කරලා ලෙඩ්ඩුන්ට දස වධ දෙන්නේ නෑ
  • 7.       ලෙඩා පුටුවේ වාඩි වෙන්නත් ඉස්සර වෙලා බෙහෙත් ලියන්නේ නෑ.
  • 8.        ලෙඩ්දුන්ගේ නම් අඬගහන කොට, හිරකාරයන්ට වගේ සිරිපාල..... ආරියවතී..... කියන්නේ නැතිව ආරියවතී මහත්මිය, සිරිපාල මහතා ආදී වශයෙන් ගෞරවයෙන් අමතනවා.
  • 9.       රෝහල තුල කරන්නේ රැකියාවක් නොව, සේවයක් බව සිතාගෙන ජීවිතය ඒ සඳහා කැප කරනවා.
  • 10.   තමන් හැදු වැදු මව් පියන්ට පින් පුරන ගුණ ගරුක සේවකයෙක් ලෙස මහජනතාවගේ  පැසසුම් ලබන චරිතයක් වෙනවා.


දැන් ඉන්න උදවියට දොස් නොකියා තමන්ට හැන්ද ලැබුනහම පුලුවන්නම් කරලා පෙන්නපල්ලා.

එතකොට දැන් හොඳට වැඩ කරන සීයට විස්ස කෙලින්ම අසුව වෙයි. එදාට ඉතින් පැන්ෂන් ගිය අපිට ලෙඩ නැතත් ඉස්පිරිතාලේ ඇවිත් යන්ඩ හිතෙයි. අප්පුලා මැණිකෙලා අහන්ඩ ඉඩ තියෙනවා මේ ලියපුවා මම කොරාද කියලා.මේක මගේ රුටීන් එක. ඔන්න මම මගේ රචනාව ලිව්වා. දැන් උඹලගේ වාරේ.