Thursday, August 4, 2016

බන්ඩාර ඇලෙන් නාගෙන පාන් කරත්තෙන් ගෙදර ඒම

මේ ළඟඳී දවසක මගේ එෆ් බී මිතුරියක් ඉතා ආදරණීය අවවාදයක් කළා. “ ඔබතුමාගේ අතීතය වැඩිය විවෘතව ලියන්න එපා. ඇතැම් මිනිසුන් ඒ තොරතුරු ඔබට අපහාස උපහාස කරන්න පාවිච්චි කරයි” කියලා. මේ මිතුරිය මා ගැන දැක්වූ පරෙස්සම පිලිබඳ මම ඇයට ආයෙත් ගෞරව කරනවා. මේ සටහන ලියන්නෙත් ඇය වෙනුවෙන්මයි. එහෙනම් මයේ මැණිකෝ මේ අහගන්න. මට අයිසින් කරලා මේක් අප් දාපු හිස්ට්‍රි එකක් නෑ. එහෙම වෙන්න මට ඕනැත් නෑ. චිත්‍රපටි ටෙලි නාට්‍ය වල නැති මේ සිදුවීම් ලිව්වේ නැතිනම් වැඩකුත් නෑ. ෆොටෝ වලට ලයික් දාලම් ඉවරයක් නැති එෆ් බී එකට විඩාව සංසිදෙන්න කියවල බලන්නකෝ මේ කතාව.
බොහෝ දෙනෙක් දන්නවා මම අටේ පන්තිය දක්වා ජීවත් වුනේ මහනුවර දිස්ත්‍රික්කයේ වාවින්න ,වත්තේගම, වලල ආශ්‍රිත සුන්දර ප්‍රදේශයක බව . අපි ඒ කාලේ පදිංචි වෙලා හිටියේ වාවින්න සමුපකාරය ඉස්සරහා පේලි කුලී ගේක. අල්ලපු ගෙදර උදවිය දෙමල. තන්ගච්චියි, තම්බියි, බාලයි තමා අපේ යාලුවෝ. මහනුවර සිට කබරගල ,බඹරැල්ල, පන්විල ආදී  බස් යන්නේ වාවින්න හන්දියේ මහ වංගුව හරහායි. වාවින්න හන්දියෙන් පටන්ගන්නා කඳු නැග්ම එක සීරුවට කබරගල දක්වාම යනවා. (කබරගල ඉඳලා වාවින්නට එන්න නම් බයිසිකලේට පැඩල් ඕනේ නෑ) මේ පළාතේ කිසි කෙනෙක් ඒ කාලේ අටෑච් බාත් රූම් වලින් නාලා නෑ . වෙල් යාය මැද තිබු නාන ළිං දෙකෙන් තමයි මුළු ගමම නැවේ. බාල්දියෙන් ගණන් කරලා නාන ගමන්  තමයි පොඩි එවුන් ගණිතයට අත් පොත් තිබ්බේ. ඇවිදින්න පුළුවන් වයසේ එකාගේ ඉඳලා කොල්ලෝ කුරුට්ටෝ ඔක්කොම බණ්ඩාර ඇලෙන් නාන්න යන්නේ රෝද ගහලා, ගුඩු ගහලා බට්ටා පැනලා ඉවර වෙලා වැද්දෝ ගානට ජංගි බාග ඩිස්කලර් උනාට පස්සේ තමයි. ටියුෂන් පන්ති කියන නමවත් අහලා නොතිබුන එවුන්ට මොන හෝම් වර්ක්ද?  රංචුවේ සාමාජිකයන් පිළිබඳව නිශ්චිතව කිව නොහැක්කේ සෙල්ලමට ආපු එවුන් හිතුන ගමන් නාන්නට යනවා විනා ගෙදර ඉන්න එවුන් නෑවීමේ උනන්දුවක් එකෙකුටවත් නැති හෙයිනි.
බණ්ඩාර ඇල යනු කිලෝමීටර් 10 ක් පමණ දිව යන මනාව ඉදිකළ වගා ඇලකි. තනිකර කළු ගලෙන් හා ශක්තිමත් යකඩෙන් තැනූ මෙම ඇල මාර්ගය මා මෙතෙක් දුටු ඉතා රමණීය නිර්මාණයකි. මහනුවර භූ විෂමතාවයට අනුකුලව තැනින් තැන තනි කළු ගලෙන් තැනූ ගල් පඩි 20 ක් පමණ වූ කොටස් 3ක් පමණ මෙම ඇල මාර්ගයේ තිබෙන අතර අපිට තියෙන්නේ පඩිපෙළේ වාඩි වී සිටීම පමණයි. මීටර් නැතිව ඕනෑ තරම් නා ගත හැකි වුවත් අපි වරින් වර ගොඩට එන්නේ නුවර පළාතේ ස්වභාවික හීතල අස්සේ එක දිගට වතුරේ සිටීම අපහසු බැවිණි. බෙහෙතකටවත් අත් ඔරලෝසු දැක නැති වුවත් ටක්කෙටම වෙලාව කියන්නේ කබරගල, බඹරැල්ල , මඩොල්කැලේ , පන්විල ආදී ලංගම බස් රථ යන එන වෙලාව අනුවය. ඇලේ ඉහල කෙලවරින් නෑම අරඹා ටිකෙන් ටික පහලට් ඇවිත් බස් පාර අසල දිය බුන් ගහන තැනට එන විට ගල්පිහිල්ල බේකරියේ පාන් කරත්තය එන වෙලාව ලං වෙන බව දන්නා කොලු රංචුව හනි හනිකට ගොඩට එන්නේ කන්දේ සිට පල්ලමට වේගයෙන් දිවෙන කරත්තය පිටුපස එල්ලී වාවින්න හන්දියටම නොමිලේ ලිෆ්ට් එකක් ලබා ගත හැකි බව දන්නා නිසාය. අත දැම්මාට කරත්තය නවත්වන්නේ නැති නිසාත්, පෙර සූදානමින් නොසිටියොත් වේගයෙන් පල්ලමට යන කරත්තයේ එල්ලීම අපහසු නිසාත් කරත්තය ඇස ගැටුණු  ගමන් කොලු රංචුව පාරට දිව එන්නේ ඇඳුම් මාරු කිරීම තෙත පිහදා ගැනීම ආදිය ඉතා අනවශ්‍ය කාරනා ලෙස සලකාය.
මෙම කරත්ත විශේෂය මහනුවරින් කොළඹ ආ පසු මා කිසි දිනෙක දැක නැත. රෝද හතරක් සහිත මෙහි පිටුපස රෝද දෙක මත බක්කියේ බර දරන අතර ඉදිරිපස රෝද දෙක ඇක්සලයක ආධාරයෙන් අඩි හතරක පමණ පරතරයකින් එකිනෙකට සම්බන්ධ කර  එම ඇක්සලයේ හරි මැදින් ,ශක්තිමත් ලීයක ආධාරයෙන් බක්කියට සවිකර තිබේ. වත්මන් අත් ට්‍රැක්ටරයකට වඩා මදක් මිටි වූ මෙහි බක්කිය පිටුපස සවිකර ඇති ඇන්දේ ආධාරයෙන් කරත්තය ඉදිරියට තල්ලු කෙරේ. දුවන කරත්තය පිටුපස කොල්ලෝ එල්ලෙන්නේ මෙම ඇන්දේ වන අතර කකුල තබා  ගැනීමට අඟල් 4 ක පමණ පළල පටියක් සවි කර තිබේ.

ඇතැම් කරත්ත කරුවන් කොල්ලෝ කරත්තයේ එල්ලෙනවාට ඉතා අකමැතිය. ඊට හේතුව සමහර අසමජ්ජාති එවුන් පාන් ගෙඩියක් දෙකක් හොරෙන් ගෙන, දුවන කරත්තෙන් බිමට පනින නිසාය. පාන් කරත්තය හසුරුවන පාන් මාමා වයස අවුරුදු 60 ක් පමණ වන ඉතා නිරෝගී අයෙකි. අපි පාන් මාමාව යාලු කර ගන්නේ වාවින්න හන්දියේ සිට ආපසු කන්ද නගින හිස් පාන් කරත්තය මද දුරක් තල්ලුකරගෙන යාමට උදව් කිරීමෙනි. කුඩා කල සිටම හොරකම් කිරීම පිළිකෙව් කල මා කිසිදාක මා සමග ඉන්න එවුන්ට් පාන් සොරකම් කිරීමට ඉඩ නොදෙන අතර හදිස්සියේ මොකෙක් හෝ පාන් ගෙඩියක් හොරෙන් ගෙන කරත්තෙන් බැස්සොත් “මාමේ මෙන්න මූ පාන් ගෙඩියක් ඉස්සුවෝ” කියා ගමටම ඇසෙන්නට කෑ ගසන්නේ කරත්තය ඉදිරිපස වාඩිවී සිටින පාන් මාමාට පාන් ලෝඩ් එක නිසා පිටුපස කිසිවක් නොපෙනෙන බැවිණි. බෝතල් අඩි කන්නාඩි දෙකක් ලා සිටි පාන් මාමා පාන් හොරුන්ට ඉතා රෞද්‍ර වන අතර කරත්තය තල්ලු කරන්නට ස්වේච්චාවෙන් පැමිණෙන අපිට බක්කි කරත්තයේ ඉටි කොලේ අස්සෙන් ගත් රෝස් පාන් ගෙඩි කීපයක් බෙදා දෙන්නේ බුලත් කහට රැඳී දත් අතර වූ  “ගංගා බීඩිය” උරාගෙන උරාගෙන ගොස් අකුලට විසි කරන ගමන්ය.



14 comments:

  1. කරත්තයට නගින කතන්දරය වෙනුවට අපට තිබුනෙ ට්‍රැක්ටර ට්‍රේලරයේ එල්ලීම.

    ReplyDelete
  2. ඔය උඩ කමෙන්ට් එක දාලා තියන රාජ් තමයි මෙහාට එන්න පාර කිව්වේ. බොහොම රසවත් අත්දැකීම්. මම මේ අඩවිය මගේ බ්ලොග් රෝලටත් දාගත්තා.

    සුබපැතුම්! දිගටම ලියන්න.

    ReplyDelete
  3. රාජ් මාතලන් බ්ලොග් එකෙන් පාර කිව්වා.. අපි පිම්මේ ආවා. අගේ ඇති බ්ලොග.ෆලෝවර් ගැජට්ටුව එල්ලගත්තනම් අපට ආපහු එන්න ගොඩක් ලේසියි.මොකද ඔබ ලියනකන් අපි එනව කියවන්න.
    ජයවේවා..!!

    ReplyDelete
  4. රාජ් තමයි පාර කිව්වේ.. ලිවීම රහයි.. ඒත් පිලිවලක් නෑ.. ඡේදයන් වෙන් කර කෙනෙකුගේ නෙතට ප්‍රිය උපදවන ලෙස ලියන්න.. සුපැතුම්.. ජයවේවා...!

    ReplyDelete
    Replies
    1. මාතලන් ගේ මේ අදහස් සමග එකඟ වෙනවා. බ්ලොග් එකේ නමත් වෙනස් කරනවානම් හොඳයි. නිකම්ම තමන්ගේ නම බ්ලොග් එකට දැමීම සුදුසු මදි.

      Delete
  5. බ්ලොගර් ෆලෝවරය එකතු කරන්න

    ReplyDelete
  6. මාතලන්ගේ ලිපිය හරහා රාජ් ගෙන් පාර අහගෙන තමයි ආවේ...අව්‍යාජ සහ රසවත් ලියමනක්...දිගටම කියවන්න බලාපොරොත්තු වෙනවා...

    ඔබට ජය !!!

    ReplyDelete
  7. එලම කිරි! ගමේ පොඩි කාලෙට ආපහු ගියා වගේ.. දිගටම ලියමු. ජය වේවා!

    ReplyDelete