Wednesday, August 31, 2016

අම්මාවරු සහ කැපකරු තාත්තා

පසුගිය අවුරුදු විස්ස තිස්සෙම ලංකාවේ හත්රදිග්බාගේ තියෙන ඉස්පිරිතාලවල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට විවිධ අන්දමේ උපකාර ඕනැ උනහම අදාළ වාට්ටු වලට කථා කරලා ලෙඩාවයි නෑදෑයන්වයි රෝහල් කාර්ය මණ්ඩලයයි සම්බන්ධීකරණය කරලා යම් සහනදායි වටපිටාවක් ගොඩනැගීම මගේ සිරිතක්. ඉහේ කෙස් ගානට කථා කලත් මගේ රත්තරන් නර්ස් නෝනලා  මට හැමදාම බොහොම ගෞරවයෙන් උදව් කරන්නේ බොහෝ රෝහල් වල මම මගේ රාජකාරිය සිංහයෝ තණකොළ කන්නේ නැති ලෙවල් එකෙන් ඉෂ්ඨ කරපු හින්දා කියලයි මම හිතන්නේ. “මම ඔයාලගේ හිටපු අරබෙගෙදර සර් ” කිව්වම “ ආ කොහොමද සර් ” කියලා අහලා ඇඳ ඉහපත ටෙලිපෝන් එකෙන්ම කියවල ලෙඩාගේ විස්තරේ පැහැදිලි කරනවා. පුළුවන් හැම වෙලාවකම වාට්ටුවේ දොස්තර මහත්තයාවත් දුරකථනයට සම්බධ කරලා දෙනවා. ඉස්පිරිතාල දහයක වැඩ කරපු එකේ වාසිය ඕකයි. මේ වගේ උදව්වක් කරලා හිතට දැනෙන සනීපෙ සල්ලි වලට ගන්න බැ. මේ බොහොමයක් ලෙඩ්ඩු මම ඇහැටවත් දැකලා නෑ. ඩේවිඩ් සීයාගේ කරත්තේ පස්සේ ඉස්කෝලේ ඇරිලා ගෙදර එනකොට මගේ හිතේ තිබුනේ ලොකු උනහම අසරණ මිනිස්සුන්ට උදව් කරන මෙන්න මේ ජාතියේ වීරයෙක් වෙන්නයි. මගේ වටේ ඉන්න සමහර එවුන් මට මේ කරන වැඩ වලට උපහාසයෙන් හිනා වෙන්නේ පුංචි කාලේ මාත් එක්ක ලියපු “මම වෛද්‍ය වරයෙක් උනොත් ” කියන රචනාව අමතක කරලා නලාව කරේ දා ගත්තට පස්සේ උන් ලියන්නේ අලුත් රචනාවක් හින්දයි. (ඔක්කොම නෙවෙයි ).
රාගම රෝහලේ වසර 2015-2016 කාලයේ සේවය කරන අතරතුර  තරුණ දුවලා දෙන්නෙක් ඉන්න අම්මා කෙනක් ඇස්  දෙකේ කඳුළු පුරෝගෙන මගේ නිවසට ආවා මාව හමුවෙන්න. මෙන්න මේකයි ඒ අම්මගේ කථාව. ඇගේ වැඩිමහල් දියණියට දෙවැනි දරුවා ලැබෙන්න ඇත්තේ තව සති තුනයි . මේ දක්වා දියණිය පුද්ගලික රෝහලක සායනයට සහභාගී වෙලා තියෙන්නේ දරුවා පුද්ගලික රෝහලේදීම ප්‍රසුත කරන අරමුණෙන්. එත් හදිසියේ සිදුවී ඇත්තේ හරිම අකරතැබ්බයක්. තරුණියගේ පවුලේ අය සමග ආරවුලක් ඇති කරගත් බැනා පොඩ්ඩ තරුණ අම්මාටත් පහරදී නිවසින් එලවා දමා තිබුනා. වැලේ ගෙඩි වැලට බර නෑ කියා මේ අම්මා දරු ප්‍රසුතියට ආසන්න දියණිය තම නිවසට භාර ගත්තා. එහෙත් කලින් සැලසුම් කල පරිදි පෞද්ගලික රෝහලේදී දරුවා ප්‍රසුත කරවීමට වත්කමක් ඇයට තිබුනේ නෑ. ඊට හේතුව බෑනා කිසිඳු උදව්වක් නොකර සම්පුර්ණයෙන්ම තම දරු පවුල නොසලකා හැරීමයි.එතරම් ආර්ථික ශක්තියක් නොවූ මේ අම්මා මගෙන් පිහිටක් ඉල්ලා සිටියේ රාගම රෝහලේදී  දරු ප්‍රසුතිය සඳහා උපකාරයක් කරන ලෙසයි. මෙම තරුණියට වූ අකරතැබ්බය පත්තරේ දැම්මා වගේ ප්‍රසිද්ධ වුවහොත් එය ඇගේ ආත්ම ගෞරවයට හානිකර බැවින් ඇය මගේ ඥාති සහෝදරියක් බැව් අන් අය ඉදිරියේ හඳුන්වාදීමට එකඟතාවයකට එළඹුණා. ඊට පස්සේ මෙහෙයුම පටන්ගත්තා. සායන සටහන් සියල්ල සැමියාගේ ගෙදර දමා ඇවිත් තිබු හෙයින් නැවැත්වූ තැන සිට මේ ගැබිණි මව බලා කියා ගැනීමට රාගම රෝහලේ කාරුණික වෛද්‍ය කණ්ඩායම එකඟ කර ගැනීමට කිසිඳු අපහසුවක් නොවුයේ සායන භාර හෙදි සොයුරිය සහ මේ කාර්ය සඳහා මා විසින් වගකීම භාර දුන් තවත් හෙදියන් දෙදෙනෙකු ඉතා කරුණාවෙන් මෙම කටයුත්තට මට දුන් සහයෝගය නිසයි. (මෙම හෙදියන්ට සහ සියලු වෛද්‍ය වරුන්ට මගේ ගෞරවය පුදන අතර ඔවුන්ගේ අවසරයකින් තොරව නම් සටහන් කලනොහැකිය ).  රාගම රෝහලේ විශේසඥ වෛද්‍ය වරුන්ගේ පෞද්ගලික කැපවීමෙන් ඉතා මනරම්ව තරු පහට (පෞද්ගලික රෝහල් වාට්ටු කැලේ ) පවත්වාගෙන යන බබාලා ලැබෙන වාට්ටුවේදී අපේ කථා නායිකාව කිසිඳු කරදරයකින් තොරව තම දෙවන දියණිය ප්‍රසුත කලාය. මවත් දරුවාත් බැලීමට වාට්ටුවට ගිය මට ඒ තරුණ මවගේ ප්‍රීතිමත් සිනහව දුටුවිට දැනුනේ අපමණ සතුටක්. යාන්තම් ඇති කියලා හිතාගෙන මම එදා ගෙදර ගියා. ඒත් ප්‍රශ්ණ ඉවර උනේ නෑ. දරුවාගේ ටිකට් කපා සතියකට පමණ පසු  රාත්‍රියක  මේ තරුණ කාන්තාවගේ අම්මා අලුත උපන් දරුවා සහ ඇගේ දියණිය සමග  ආයෙත් මාව හොයාගෙන මගේ නිවසට ආවේ අඬ අඬා. දැන් මොකක්ද ප්‍රශ්නේ ? මම ඇහුවා. අනේ බලන්නකෝ මහත්තයෝ දරුවාගේ තාත්තා උප් පැන්නෙට අත්සන් කරන්න බෑ කියනවනේ.   හරි , මිනිහට ඕනේ ” පියාගේ නම ඉරක් වුනේ කොහොමද අම්මේ ” කියන සින්දුව දරුවා ලවා කියවා ගන්න වෙන්න ඇතිනේ. බයවෙන්න එපා හෙට උදේ නවයට ඉස්පිරිතාලේ මගේ ඔෆිස් එකට ඇවිත් මාව හමුවෙන්න.  පසුදා රාගම රෝහලේදී උපත් හා මරණ රෙජිස්ට්‍රාර් වරිය හමුවී මගේ මේ ඥාති සොයුරියගේ අලුත උපන් දියණියව ඇගේ පියාගේ සහජාත භාවයත් සමග ලියාපදිංචි කර උප්පැන්නෙ ලබා දුන්නෙමි. (මෙහිදී  කිසිඳු වංචා සහගත දෙයක් සිදු නොකළ අතර පළමු දරුවාගේ උපතට අදාළ මුලාශ්‍ර  සහ තවත් නීත්‍යනුකුල ලේඛන ප්‍රයෝජනයට ගැනුණි. ඒ පිලිබඳ විස්තර සඳහන් නොකරන්නේ මේ වගේ අතරමගදී ලව් එක අමතක වෙන තාත්තලා තවත් මේ රටේ සිටිය  හැකි බැවින් මගේ ශිල්ප එවුන් දැනගැනීම නුසුදුසු නිසාය )

සමහරුන්ට මේක බොහොම සරළ දෙයක් ලෙස පෙනෙන්න පුළුවන්. ඒත් දෙමව්පියන්ගේ වැරදි නිසා උප්පැන්න ප්‍රශ්න හින්දා සදාකාලිකවම ජීවිතේ කාලකන්නි වුන චරිත අනන්තවත් ඉන්නවා . කොළඹ දිස්ත්‍රික්කයේ නාගරික පවුලක දරුවෙකුට තිබෙන ගැටලුව මේ තරම් උග්‍ර නම් සෙසු පළාත් ගැන කවර කථාද ? මේ දියණිය පාසැල් යන දා සිට ජීවිතයේ විවිධ කඩඉම් සඳහා ඉතා ආඩම්බරයෙන් තම උප්පැන්නය භාවිතා කරන හැම විටම ඇගේ උපතේ කැපකරු පියා මා බව කිසිවිටක නොදැන සිටිනු ඇත. ඇගේ අකීකරු තාත්තාට ඇණිය යුතු පොල් ටොක්ක මේ වන විට මා විසින් ඇන තිබේ. මා ඉතා වයෝවෘධ අයෙකු වී ඇය නව යොවුන් තරුනියකව මේ සමාජයේ ඉතා සතුටින් දිවි ගෙවන කලක මා නිසා ඇය ලබන සතුට මෙනෙහි කර මට කොතරම් සතුටු විය හැකිද ?

;ලි ; අලි දෙන්නම් කොටි දෙන්නම් කියා ලව් කරන කාලේ  පරසක්වල ගසන තරුණ නාම්බෝ, පැටව් එකා දෙන්නා පවුලට එකතු වෙන කොටම ගැහැණුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරනවානම් අහගනිල්ලා මම  ඒවටත් ඔට්ටුයි (මේ ලිපිය ලිව්වේ ඒ. ටී. සුදර්ශන නම් ලේඛකයා ය. (atsudarshana.blogspot.com ගියොත් පරණ ලියුම් කියවන්න පුළුවන් )

10 comments:

  1. //ඒ පිලිබඳ විස්තර සඳහන් නොකරන්නේ මේ වගේ අතරමගදී ලව් එක අමතක වෙන තාත්තලා තවත් මේ රටේ සිටිය හැකි බැවින් මගේ ශිල්ප එවුන් දැනගැනීම නුසුදුසු නිසාය//

    මරේ මරු

    ReplyDelete
    Replies
    1. අතරමගදී ලව් එක අමතක කරනවා විතරක් නෙවෙයි වෙඩි තියලා මරන්නත් හදනවා. මෙන්න ඇවිත් බලන්න.

      https://wicharaka.blogspot.com/2016/08/blog-post_31.html

      Delete
  2. ඇය නඩත්තු ඉල්ලා සිටියාද?
    ඔහු පීතෲත්වය අභියෝගයට ලක් කලාද?

    ReplyDelete
  3. මේ අටමගෙන් බේරිල්ලක් නැහැ මේ පැත්තට එන්න කියලා. ආව එක ගැන සතිටුයි. පෝස්ට් ටික කියවලා කමෙන්ට් කරන්නම්

    ReplyDelete
  4. තමනුත් මනුස්සයෙක් කියල හිතල අනුන්ට උදව් කරන්ඩ ඕනෙ. කොහොමත් මිනිස්සු තමන්ගෙ මට්ටටමට අනුව තමන් ඉන්න තැන අනුව කියල වෙනස් වෙන්නෙ නැ.මොකද දුකට පත්වෙච්චි මිනිස්සුන් තත්ත්වයක් ගැන හිතන්නෙ නෑ...හොයන්නෙ මනුස්සයින්...මොන තත්ත්වයක තරාතිරමක හිටියත් ඒ සියල්ල අබිබවා මනුස්සකම තියෙනවා....ඔබත් ඒ වගේ උත්තම ගණයේ මනුස්සයෙක් කියල හිතනවා........

    අටංපහුරට විශේෂ ස්තුතිය

    ReplyDelete
  5. ඔබ වැනි අය තව නැද්ද

    ReplyDelete
  6. අටම්ට පිංසිද්ද වෙන්න මේ ඔත්තුව ලැබුනා..ඔබ වැනි අය රාජ්‍ය සේවයේ ඉඳිම ගැන ආඩම්බරයි

    ReplyDelete
  7. ඇති යන්තං කියවන්න වටින බ්ලොග් එකක් හම්බ උනා. පහුගිය කාලේ බ්ලොග් පාදඩයන්ගේ හිරිකිත වැඩ , ලිපි සහ හැසිරීම් නිසා පැත්ත පළාතේ නෑවිත් හිටියේ අපි. ඒ පාදඩයෝ මෙහෙටත් හොස්ස ඔබයි ඉක්මනටම. (දෙතුන් දෙනෙක් දැනටමත් ඇවිල්ල ඉන්නේ ) දුරින්ම දුරුකරලා තබා ගත යුතු අමු තුච්ච හැත්තක්. ලං කරගැනීමෙන් වලකින්න.

    ෆේස් බුක් ලිපි කියවන්න හැමෝටම අවස්තාවක් නැති නිසා අන්තර්ජාලයේ මෙසේ පළකිරීම වටිනවා. අටම පාර පෙන්නුවා.

    ReplyDelete
  8. හොඳ හිතක් කියවන්න ලැබීම සතුටක් .ජය!

    ReplyDelete