Tuesday, August 23, 2016

උඩු ගං බලා පිහිනීම


ශ්‍රී ලංකාවේ ඉස්පිරිතාලෙකට, පොලීසියකට, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට ගොස් වැඩක් කර ගැනීමට නම් (රස්තියාදුවකින් තොරව ) දන්නා හඳුනන කෙනෙක් අනිවාර්යයෙන්ම සිටිය යුතු බව බහුතර ජනතාවගේ පිළිගැනීමයි. අනෙත් ආයතන ගැන ඉන්තේරුවෙන්ම කීමට නොහැකි වුවත් රෝහල ආශ්‍රිතව තත්වය එය බව මම ඉඳුරාම කියා සිටිමි. (රෝහල් සේවයේ මොකා නැට්ට කෙලින් කරගෙන මට දෙස් දෙවොල් තිබ්බත් ඇත්ත ඕක තමයි ). රජයේ රෝහල් වල සේවකයන්ගේ සැර පරුෂ බව, ආඩම්බර ගතිය ගැන, වෙලාවට වැඩ නොකරන බව, කියන්නේ කවුද? එසේ කියන්නේ රෝහල් සේවකයන් නොවන  අයයි.  දැන් ඉතින් මේ රෝහල් සේවකයන් නොවන අය රෝහල් පත්වීමක් ලැබුනහම ඉතා කරුණාවෙන් කතා කරන, නිහතමානී ගති ඇති, වෙලාවට වැඩ කරන, කිසිදා වැඩ වර්ජනය නොකරන, බෝ පැල වගේ එවුන් වෙනවද?  මොන පිස්සුද? රස්සාව ලැබුණ ගමන් උන්ට වෙස් පෙරළෙනවා. මොකක්ද ඒකට හේතුව? සමස්ත සමාජයම වෙලා ගත් අධ්‍යාත්මික පිරිහීමයි.

පාරේ වාහනයක් එලවනකොට මලාට අනිත් එකාට ඉඩ නොදෙන (අඳුරන එකෙක් දැක්කොත් ලජ්ජාවට ඉඩ දෙන), අඳුරන්නේ නැති කෙනෙක් ඇඟේ හැප්පුනොත් කෝපාවිෂ්ඨ වෙන, (අදුරනවානම් සොරි මචං කොහෙද යන්නේ කියලා අහන ), හැකි හැම විටම පෝලිම පනින, පන්සලේදී කුඩය සහ සෙරෙප්පු කුට්ටම නැති වේදෝයි දෙගිඩියාවෙන් මල් පහන් පුජා කරන ලෝකෙන් උතුම් රට , බුදුන් උපන් දේශය ආදී වශයෙන් තමාම හඳුන්වා ගන්නා ජාතියක්, තමන්ට අවස්තාව ලැබුනහම නොකරන දේවල් අනුන්ගෙන් අපේක්ෂා කිරීමේ ඛේදවාචකය නොවෙයිද මේ?
උන්න හිටිය ගමන් මේ වගේ ලියවිල්ලක් ලිව්වේ මොකද කියලා හැමෝටම හිතෙන්න පුළුවන්. හැම දවසකම අඩුම ගනනේ පස් දෙනෙකුටවත් රෝහල් ආශ්‍රිත  උදව්වක් කරන්න මට සිදු වෙනවා. (නිවන් යන්න මීට වඩා පහසු ක්‍රමයක් නැති නිසා මම මේ සියල්ල කරන්නේ ඉතා සතුටින්. ඒ වගේම මට ලැබී තිබෙන සිවිල් බලය ගැන බොහොම අභිමානයෙන් ) ඒත්  මට හැම විටම හිතෙනවා මේ ටික ස්වේච්චාවෙන් ඉටු කෙරෙනවනම් අපි මොන තරම් වාසනාවන්ත ජාතියක්ද කියලා. දැන් ඉතින් කියයි මොන පිස්සුද අපේ ළඟ නම් කරුණාව දයාව බේරෙනවා කියලා. ඔව් එහෙම වෙනවා, සීයට විස්සක් විතර. දැන් ඉතින් මේක සීයට අසූව කරන්නේ කොහොමද? මාර සිම්පල්.
මේ දවස් වල ඒ ලෙවල් ,ඕ ලෙවල් කරන කොල්ලෝ කෙල්ලෝ සෙට් වෙයල්ලා. සෙට් වෙලා මෙන්න මෙහෙම අධිෂ්ඨානයක් ඇති කර ගනිල්ලා. මම රෝහල් සේවකයෙක් වුණ දවසට,
  • 1.       හැම ලෙඩාටම අයුබොවන්, කොහොමද සැප සනීප කියලා අහනවා.
  • 2.       කිසි දවසක උස්‌ හඬින් රෝගීන්ට කථා කරන්නේ නෑ
  • 3.       කරුණා කරලා වාඩි වෙන්න, කරුණාකරල  නම කියන්න ආදී වශයෙන් කතාකරනවා
  • 4.       උදේ අට නම් හරියට අටට සායනයට එනවා. හවස හතර වෙනකම් ගෙදර යන්නේ නෑ
  • 5.       පත්වීම ලැබුණ දා ඉඳලා ගේ ළඟ ඉස්පිරිතාලෙට මාරු වෙන්න ට්‍රයි කරන්නේ නෑ.
  • 6.       බෙහෙත් කවුන්ටර් පහෙන් තුනක් වහලා, පංගු පේරුවට වැඩ කරලා ලෙඩ්ඩුන්ට දස වධ දෙන්නේ නෑ
  • 7.       ලෙඩා පුටුවේ වාඩි වෙන්නත් ඉස්සර වෙලා බෙහෙත් ලියන්නේ නෑ.
  • 8.        ලෙඩ්දුන්ගේ නම් අඬගහන කොට, හිරකාරයන්ට වගේ සිරිපාල..... ආරියවතී..... කියන්නේ නැතිව ආරියවතී මහත්මිය, සිරිපාල මහතා ආදී වශයෙන් ගෞරවයෙන් අමතනවා.
  • 9.       රෝහල තුල කරන්නේ රැකියාවක් නොව, සේවයක් බව සිතාගෙන ජීවිතය ඒ සඳහා කැප කරනවා.
  • 10.   තමන් හැදු වැදු මව් පියන්ට පින් පුරන ගුණ ගරුක සේවකයෙක් ලෙස මහජනතාවගේ  පැසසුම් ලබන චරිතයක් වෙනවා.


දැන් ඉන්න උදවියට දොස් නොකියා තමන්ට හැන්ද ලැබුනහම පුලුවන්නම් කරලා පෙන්නපල්ලා.

එතකොට දැන් හොඳට වැඩ කරන සීයට විස්ස කෙලින්ම අසුව වෙයි. එදාට ඉතින් පැන්ෂන් ගිය අපිට ලෙඩ නැතත් ඉස්පිරිතාලේ ඇවිත් යන්ඩ හිතෙයි. අප්පුලා මැණිකෙලා අහන්ඩ ඉඩ තියෙනවා මේ ලියපුවා මම කොරාද කියලා.මේක මගේ රුටීන් එක. ඔන්න මම මගේ රචනාව ලිව්වා. දැන් උඹලගේ වාරේ.









13 comments:

  1. අනේ මන්දා, හමුදා සොල්දාදුවන්ට (නිලධාරීන්ට) එක වරක් කිව්වම වැඳලා ඉඹලා පිළිගනු කියලා, එහෙම කරනවා. පයින් ගහලා පිළිගනු කිව්වොත් ඒකත් කරනවා. තත්වානුරූපව හැඩගැහීම ඔවුන්ගේ පුහුණුව තුලින් ලබන හොඳ ශික්ෂණයක්. මේ ශික්ෂණය, හමුදාවේදී වගේ දැඩි ක්‍රියාමාර්ග නොගෙන, මනෝවිද්‍යාත්මක උපක්‍රම වලින් ආරෝපණය කරවන්න බැරිද?

    ReplyDelete
  2. ගෙදරකට ගිහින් ආපහු එනකොට ඒගෙදර බල්ලා පූසා හැර අනිත් ඔක්කොටම වඳිනවා,
    පාරට ඇවිල්ල නාකි ගෑණු මිනිස්සු පෙරලගෙන බස් එකට නගිනවා

    ReplyDelete
    Replies
    1. බස් එකට නගින්ඩ එන ටිකට අර ගෙදර එවුන් ට බනිනවා

      Delete
  3. මම දන්න කෙනෙක් ලඟදි ක්ලිනික් එකක තොරතුරැ දැනගන්න ජාතික රෝහලේ තැනකට කථා කරලා තිබුණා. විස්තර කියලා අවසානයට කියලා තියෙන්නේ හුඟක් අය එනවා ක්ලිනික් එකට. සමහරැන්ට නොම්මර ගන්න බෑ පරක්කු වෙලා එන නිසා. එහෙම අය වෙන දවසක එන්න ඕන. හැබැයි නොම්මරයක් අරන් තියන්න පුලුවන්. ආවාම පොඩි සැළකිල්ලක් කරන්න. ඕන නම් මගේ ෆෝන් නම්බර් එක දෙන්නම් කියලා. මගේ යාලුවා කෝකටත් උදෙන්ම ගිහින්. නොම්මරයක් අරගෙන. එතනින් එහාට රෝහල් සේවකයින් ගැන මේ ලිපියේ තියෙන දේවල් සියල්ල ඇත්ත.
    හැබැයි මගේ යාලුවා පොඩි වෙනස් දෙයක් කරලා. ඒකා එතන සුලු සේවකයාට කථා කරලා තියෙන්නේ මහත්තයා කියලා. සුලු සේවිකාවන්ට කථා කරලා තියෙන්නේ මිස් කියලා. අනිත් අයට බොහොම සැරෙන් බැනපු අය මගේ යාලුවට හොඳට සළකලා. වැඩෙත් කරලාදීලා.

    මේ වගේ තනතුරැවල ඉන්න හුඟ දෙනෙක් නූගත්. අඩු අධ්‍යාපනයක් ලබපු අය. හරිහමන් පවුල්, සමාජ පසුබිමක් නැති අය. කාගේ හරි පස්සෙන් ගිහින් ඡන්දයකට වැඩකරලා රස්සාවක් ගන්නවා. ඊට පස්සේ යූනියන් එකකට බැඳෙනවා. මෙයාලට මහජන සම්බන්ධතා ගැන අබමල් රේණුවක දැනුමක් නෑ. අඩුම තරමින් මේ ගන්න පඩිය ලැබෙන්නේ මේ රටේ බදු ගෙවන මිනිස්සු නිසා කියලාවත් මෙයාලට තේරෙන්නේ නෑ.

    ReplyDelete
  4. ලියවිල්ලෙන් වැඩක් නෑ , “මම රෝහල් සේවකයෙක් වුණ දවසට“ කියලනේ පටන් අරගෙන කියෙන්නේ මේක කියවන අය කවුරුවත් ‘මම රෝහල් සේවකයෙක්‘ කියා හිතන්නේ නෑ, ‘මම රෝහලේ සේවකයෙක්‘ කියා හිතන කෙනෙක් මේක කියවන්නේ නෑ.

    ReplyDelete
  5. සහතික ඇත්ත.. ලෙඩ වෙලා ඒ අමාරුව අපහසුතාවයත් විඳගන ඉන්නකොට ඒ දාන සැර පාට් වලට ඇස්වලට කඳුළු එන එක වලක්වන්න සක්කරයට වත් බෑ.. අනික ලෙඩ්ඩුන්ට තාක්ශණික වචන දාල බකබකස් ගාල එකපාරක් විතරක් දෙන උපදෙස් තේරෙන්නෙත් නෑ.ඌ උඩ බිම බලල ආයෙ අහනකොට බඩු බනිස්..
    ජයවේවා..!!

    ReplyDelete
  6. ලංකාවේ රජයේ රෝහල් වල මට තිබූ මූලික ප්‍රශ්නය මැස්සන්‍ ය​. වරක් මාතලේ මූලික රෝහලේ මෝචරියේ එකල ඩී.එම්.ඕ වූ වෛද්‍ය සිරිමල් ජයසිංහ මිනියක් කපමින් සිටියේය​. රෝගියා අපේ වාට්ටුවේ නිසා මටද පශ්චාත් මරණයට සහභාගි වන ලෙසට නියෝග ලැබුණි. මමද වෛද්‍ය සිරිමල් ජයසිංහට මිනිය කැපීමට සහය වූයෙමි. රෝගියාගේ වකුගඩු වල සැරව පිරී තිබුණි. මැස්සෝ තොග ගනනේ අප වටා පියාසර කරමින් සිටියහ​. මාගේ විශාලතම බිය සහ පිළිකුල වූයේ ශීතකරණ නොමැති නිසා අඩක් කුණුවූ ඕජස් ගලන මෘත ශරීරයේ වසන මැස්සන් යළිත් මගේ කටේ හෝ තොල් මත වසයි ද යන්නයි.

    රෝහල් වාට්ටුවල මැස්සන්ට ක්‍රමක් ක්‍රමයෙන් මම පුරුදු වූයෙමි. කළුබෝවිල රෝහලේ රෝහල් බිම ගිනි වතුර දමා සෝදන නිසා උදේ කාලයට මැස්සන් මඳක් අඩු විය​. නමුත් දහවල් වන විට මැස්සෝ වාට්ටු ආක්‍රමණය කරති. කළුබෝවිල රෝහලේ ශල්‍යාගාරයේ මැස්සන් සිටීම ශල්‍ය වෛද්‍ය රාජන් නයිල්ස් මහතාට පෙනෙන්නට බැරිය​. ශල්‍යාගාරයේ මැස්සන් පියාඹන විට වෛද්‍ය නයිල්ස් ශල්‍යකර්මය අතරමග නවතා මැස්සන් අල්ලයි. මෙය අපට විනෝද ජනක විය​. වෛද්‍ය නයිල්ස් මැස්සන් ඇල්ලීමේ රුසියෙකි. ඔහු සමහර විට උඩ පැන මැස්සන් ඇල්ලීය​.

    Read More : http://transyl2014.blogspot.ca/2016/01/blog-post_18.html

    ReplyDelete
  7. මයිනර් ස්ටාෆ් අයට සර් මිස් කියලා ඇමතීම බොහොම ප්‍රතිඵලදායි ගොඩක් වෙලාවට වැඩේ කෙරෙනව :D

    ReplyDelete
  8. ලංකාවේ විතරක් නෙවේ, ඇමරිකාවේ පවා ලංකාව නියෝජනය කරන ඉහල තැන් වල දන්නා හඳුනන කෙනෙක් සිටීමේ බලය කොයි තරම්ද කියා ඊයේ පෙරේදා දිනක අහම්බයෙන් අත්විඳින්නට ලැබුනා...

    ඔබේ සටහනේ ඇති සියල්ලටම එකඟයි...බුදුන් උපන් සිටින දේශයේ සිටින අපේ මිනිසුන් බහුතරයක් තරම් මමත්වය මුල් කරගෙන මානයෙන් සහ අනිකුත් සියලුම කෙලෙසුන් මුල් කරගෙන කටයුතු කරන ජාතියක් නැතුව ඇති...

    මා ඔබේ ලිපිය කියවා කල්පනා කරන්නේ ඔය කරුණු දහයම ඇතුලත් වෛද්‍යවරයෙක් මට මුණ ගැහිලා තියනවද යන්න...මට නම් කරන්න පුළුවන් මහාචාර්ය අර්ජුන ඩි සිල්වා මහත්මයාව...ඔහු ඔය ඔබ කියන විදියේ බොහොම ඉවසීමකින් රෝගියා සමඟ කතා බහ කරලා රෝග විනිශ්චය කරන වෛද්‍යවරයෙක්...මේ දැනට අවුරුදු දහයකට පමණ පෙර අත්දැකීමක්...

    කොළඹ වෛද්‍ය පීටයේ අවුරුදු හතක් තිස්සෙම මා දුටු වෛද්‍ය ශිෂ්‍යයින් සිටියේ තරඟයකට අවතීර්ණ වුන අය වගෙයි...ඉතා විශාල මානසික ආතතියක් දරාගෙන...සීමා වාසික කරන බොහොමයක් පිරිසකගේ මුහුණු තුල දකින්න තුබුනෙත් ඒ වගේම පීඩනයක්...ඒ වගේම සමහරු උන්නේ තමා පිලිබඳ මහත් ආඩම්බරයකින්...මහ පොළොවේ පය ගහල උන් දරුවෝ දැකල තියෙන්නේ දෙතුන් දෙනයි ඒ කාලය තුලම...ඉතින් මේ දරුවන්ට ඇත්තෙන්ම තමන්ගෙන් ඉටු විය යුතු කාර්යභාරය පිළිබඳව පැහැදිලි අවබෝධයක් තිබෙනවද කියල හිතන්න අමාරුයි...එහෙම උනාම අනිකුත් රෝහල් සේවකයින් ගැන කුමන කථාද...

    රෝහලක සිටින වෛද්‍යවරයාගේ පටන් අනිකුත් සියලුම සේවකයින් රෝගීන් දිහාවේ බලන්නේ තමන්ගේ එදිරිවාදියෙක් දිහාවේ බලන විදියට...අනිත් එක තමයි ඔවුන් හිතන්නේ රෝහලට එන සියලුම රෝගීන් අට පහ නොදත් නූගතුන් වග...

    බොහොම වටිනා ලිපියක් එක් අයෙක් හරි ඔබතුමාගේ මේ ලිපිය කියවලා දෙයක් ඉගන ගනීවි කියල හිතනවා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට

      Delete